Main Logo

Monday 15 February 2021

පැනි පරීක්‍ෂාවෙ ප්‍රතිඵල කෝ

 පැනි පරීක්‍ෂාවෙ ප්‍රතිඵල කෝ


අර බටහිර වෙද මහත්තුරුන්ගෙ පැනි පරීක්‍ෂාවට මොකද වුණෙ. මහා ඝෝෂාවක් කරල ආයුර්වේද සූත්‍ර කමිටුවෙන් ඖෂධයක් ලෙස අනුමත කරල බටහිර රසායන විද්‍යා මහාචාර්යවරියක වූ ප්‍රියානි පරණගම ප්‍රධාන කමිටුවෙන් පැනිය වසක් විසක් නැති බවට සහතික කර ගෙන රජරට විශ්වවිිද්‍යාලයේ බටහිර වෛද්‍ය පීඨයේ ආචාර ධර්ම කමිටුවෙන් ද අනුමත කෙරිල අනුරාධපුරයෙ හමුදාව මගින් පවත්වාගෙන යන ආයතනයක පැනිය සායනික නැහැසුම් සඳහා යොමු කෙරුණා. ඉන් පස්සෙ ඒකට වෙච්ච දෙයක් ගැන දැන ගන්න නැහැ. පැනිය මල්වතු ඔයට දැම්ම ද?


ඔය සායනික නැහැසුම් කරන්න ඉස්සෙල්ල බටහිර රෝහලක පැනිය පීසීආර් ධන වෙච්ච විසිපස් දෙනකුට පමණ දීල ඔවුන් පීසීආර් සෘණ වුණා කියල දැන ගන්න ලැබුණා. ඒ බටහිර වෙද මහත්තුරු මගේ ගෝලයන් නම් නො වෙයි. ඔවුන් මගේ ලෝකය කියවල ද කියා දැන ගන්න විධියක් නැහැ. ඔවුන් මගේ ඊනියා අවසන් ලිපිය කියෙව්ව ද දන්නෙ නැහැ. මා තවම අවසන් ලිපිය  ලිව්වෙ නැහැ. අද හෙට මගේ මරණය පතන අය ද මගේ අවසාන ලිපියක් ගැන කියන්නෙ. ඒ බටහිර වෙද මහතුන් ගැන මා දන්නෙ ආරංචි මාත්‍රයෙන් පමණයි. තව ටිකෙන් ඔවුන්ට ප්‍රශ්න ඇති කරන්න ඉහළ තනතුරක් දරණ බටහිර වෙද හාමිනේ කෙනෙක් සූදානමින් සිටි බව නම් ආරංචි වුණා. 


මට ඒ වෙලාවෙ මතක් වුණෙ අවුරුදු තිහකට පමණ උඩ දි සිදු වුණු දෙයක්. මොකක් දෝ හේතුවකට හරි අහේතුවකට හරි මට එංගලන්තෙ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන්  විශ්වවේදය සඳහා ලැබුණු ආචාර්ය උපාධියක් තියෙනවා. ඒ වගේ ම ලංකා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු විද්‍යාවේදී උපාධියකුත් තියෙනවා. ඒව තිබියදිත් පේරාදෙණියෙන් මා ආචාර්යකමට නුසුදුස්සෙක් බවට තීරණය කරල තියෙද්දිත් 1979 අවුරුද්දෙ මට කොළඹ විශ්වවිිද්‍යාලෙ උගන්වන්න ලැබුණා. ඒ ස්ටැන්ලි විජේසුන්දර මහතාට පින් සිදු වෙන්න. 


මා එංගලන්තෙ ගියෙ බටහිර විද්‍යාඥයෙක් වීමේ අරමුණින්. ඒත් මා දක්‍ෂයෙක් නොවෙයි. ඒ කියන්නෙ මා බටහිර චින්තනයෙ දක්‍ෂයෙක් නො වෙයි. ආචාර්ය උපාධියක් ලබා ගන්න එක මහා ලොකු වැඩක් නො වෙයි. ඇතැම් බටහිර වෙද මහත්තුරු කියන විධියට නම් මෝඩයන්ටත් ලබා ගන්න පුළුවන් එකක්. නෑ මා කිව්වෙ බටහිර වෙද මහත්තුරු මෝඩයන් කියන එක නොවෙයි. ඔවුන් ඇතැමකුට අනුව අප මෝඩයන් කියන එක. මට බටහිර විිද්‍යාඥයෙක් වෙන්න බැරි වුණාට ස්ටැන්ලි විජේසුන්දර මහතා හා පාලක මණ්ඩලය මා බටහිර විද්‍යා පීඨයේ ගණිත අංශයට පත් කළා.


කොහොම හරි කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන අතරෙ මට තේරෙන්න පටන් ගත්ත බටහිර විද්‍යාවෙ රඟේ. එක සැරේට නැති වුණත් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මට ටිකෙන් ටික වැටහුණා. මා කියන්නෙ බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක නොවෙයි. ඒක බටහිර විද්‍යාවක්වත් නො වෙයි. ඒක තාක්‍ෂණවේදයක්. ඔය බටහිර වෙදමහත්තුරුන්ට ඩොක්ටර් කියන්න පටන් ගත්තෙ කොහොම ද කියන එක  ගැන මා ලියල ඇති. ඩොක්ටර් කියල කිව්වෙ උගන්වන අයට. අර බයිබලයෙ තියෙන ඩොක්ට්‍රින් ඉගන්වන අයට. 


ඇතැම් බටහිර වෙද මහතුන්ට අනුව මෝඩයකු වුණත් මගේ අදහස් මොනව වුණත් මා කොළඹ ගණිත අධ්‍යනංශයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණා. ඒ නිසා මට සනාතන මණ්ඩල සාමාජිකත්වය හිමි වුණා. එහි ප්‍රශ්නයක් පැන නැගුණ ආයුර්වේද වෛද්‍ය ආයතනයේ බටහිර වෙද මහතුන්ට ඉගැන්වීම ගැන. සනාතන මණ්ඩලයෙ හිටිය බටහිර වෛද්‍ය පීඨ ප්‍රධානීන් කියා හිටියෙ තමන්ට බටහිර නොවන වෛද්‍ය විද්‍යාලයක උගන්වන්න බැහැ කියල. විශ්වවිද්‍යාලය ඔවුන්ට කිව්වෙ ආයුර්වේදෙ උගන්වන්න නොවෙයි. බටහිර වෙදකම උගන්වන්න. වෛද්‍ය පීඨයෙ ප්‍රධානීන් කියා හිටියෙ ඔවුන්ගෙ වෛද්‍ය සභාවෙන් ඒ ඉගැන්වීමට අවසර නොදෙන බව. මෙවැනි අවස්ථාවල සුපුරුදු පරිිදි කාලෝ ෆොන්සේකා හා නන්දදාස කෝදාගොඩ නිහඬ වෙනවා. ඔවුන් බුද්ධිමත්.


මා කියා හිටියේ බටහිර වෛද්‍ය පීඨ ගුරුවරුන් විශ්වවිද්‍යාල සේවකයන් නිසා ඔවුන් විශ්වවිද්‍යාලය කියන පාඨමාලා ඉගැන්විය යුතු ය කියා. ඔවුන්ගේ ප්‍රමුඛ බැඳීම විශ්වවිද්‍යාලයට මිස වෛද්‍ය සභාවට නොවන බවත් මා කියා හිටියා. අවසානයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති බටහිර ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ ආයුර්වේද වෛද්‍ය වි්‍යාලයේ උගන්වන්න ඉදිරිපත් වුණා. අර බටහිර වෛද්‍ය පීඨ ප්‍රධානීන්ගෙ හුළං බැස්සා. 


පැනි පරීක්‍ෂාවට විරුද්ධ වුණත් අපට එහි ප්‍රතිඵල දැන ගන්න ඕන. ධම්මික වෙද මහතාගෙ පැනිය බටහිර වෙදකමේ නියම කරන්න කියල අපි බටහිර වෙද මහතුන්ට කියන්නෙ නැහැ. ඒ පරීක්‍ෂාවෙ ප්‍රතිඵල කියන්න. ධම්මික වෙද මහතා මොන ක්‍රමයකින් හරි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාරයක් කියල. ඔය බටහිර වෙද මහත්තුරු මොනව ද කරල තියෙන්නෙ. මා කියන්නෙ පහුගිය අවුරුදු 150 ම. පාරම්පරික වෙදකම අනුව කොවිඩ් 19 වයිරසය නිසා සෙම කෝප වීමක් සිදු වන්නෙ. බටහිර වෙද මහත්තුර මේ රෝගය හඳුනගෙන තියෙනවා ද? මා කියන්නෙ බටහිර ම ඉන්න බටහිර වෙද මහත්තුරු. පීසීආර් ධන වෙනව කියන්නෙ රෝගය වැළඳිලා කියන එක ද? එහෙම නැත්නම් වයිරසය ඇඟේ තියෙනව කියන එක ද? අපේ ඇඟේ ඒ වයිරස හැරෙන්න වෙනත් වයිරස තියෙනවා ද? එහෙම තියෙනවා නම් ඒවට මොකද කරන්නෙ. 


පැනි පරීක්‍ෂාවෙ ප්‍රතිඵල නොදෙන්න හේතුවක් තියෙනවා ද? පීීසීආර් ධන අයට පැනිය දුන්න ම පීසීආර් සෘණ වෙනවා ද? කී දෙනකුට පැනිය දුන්න ද? පැනිය ඇත්තක් ද? ඇත්තක් කියන්නෙ මොකක් ද? ඇත්තක් කියල දෙයක් තියෙනවා ද? බුදුදහමේ ඇත්තක් ගැන කියනවා ද? බුදුහාමුදුරුවන් ඇත්තක් සොයා ගියේ ද? කිං සච්ච ගවෙෂි යන්න සූත්‍රවල තියෙනවා ද? කිං කුසල ගවෙෂි කියන්නෙ මොකක් ද? බුදුදහමේ ආර්ය සත්‍යය මිස සත්‍ය ගැන කියැවෙන්නෙ නැහැ. ආර්ය සත්‍ය කියන්නෙ ආර්යයකු වීම සඳහා ඇති දේ මිස සන්දර්භයෙන් තොර ඇත්තක් නො වෙයි. බටහිර දර්ශනයට ඇත්ත නිර්වචනය කරන්න පුළුවන් ද? 


ඒ කතාවලින් වැඩක් නැහැ. අනුරාධපුර පැනි පරීක්‍ෂාවෙ ප්‍රතිඵල කියන්න. පරීක්‍ෂාව කෙරුණෙ බටහිර වෙද මහතුන්ගෙ අධීක්‍ෂණය යටතේ.