Main Logo

Saturday 27 February 2021

පාස්කු වාර්තාව ගැන තවදුරටත්

 

පාස්කු වාර්තාව ගැන තවදුරටත්

 

පාස්කු කොමිසම් වාර්තාව ගැන මෙතෙක් කිසිම දේශපාලන පක්‍ෂයක් හොඳක් කියල නැහැ. හැමෝම වගේ කියන්නෙ වාර්තාව අසම්පූර්ණයි කියන එක. පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් ගැන කියා නැති එක අඩුපාඩුවක් කියල තමයි කියන්නෙ.  ඒ ගැන නම් මට ප්‍රශ්නයක් නැහැ. කොමිසමකට එවැන්නක් හොයා ගන්න පුළුවන් කියල මා හිතන්නෙ නැහැ. මෛත්‍රිපාල ජනාධිපති කොමිසම පත් කෙළෙ ඒ ගැන දැන ගැනීමට නම් ඒක ඔහුගෙ ප්‍රශ්නයක් මිස කොමිසමේ ප්‍රශ්නයක් නො වෙයි. ඔය ඉන්න හැම දෙයක් ම දන්න මාක්ස්වාදී යැයි කියා ගන්නා දේශපාලනඥයන් ටික දන්නෙ නැද්දෙ පාස්කු ප්‍රහාරය පිටුපස හරි ඉදිරියෙන් හරි ඉන්නෙ කවුද කියල.

 

පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙ ඊනියා යහපාලන ආණ්ඩුව කාලෙ. ඒ ගැන කොමිසම පත් කෙළෙත් ජනාධිපති මෛත්‍රිපාල. අද එතුමාගෙ ම පක්‍ෂෙ අය කියනවා වාර්තාව මල්ලෙ පොල් වරගයෙ එකක් කියල. කොමිසම් හා වාර්තා ගැන මගේත් අත්දැකීම් තියෙනව. එවකට තිබුණු ජාතික ඒකාබද්ධ කමිටුවේ දි සිංහල කොමිසම පත් කළ යුතු ය කියා යෝජනා කෙළෙ මම. එහෙත් ඒකෙ වාර්තාවෙ ලියැවුණෙ සංධීය රාජ්‍යයක් පිහිටුවන්න ඕන කියල. වාර්තාව නිකුත් වෙන්න ඉස්සෙල්ල මට කියවන්න ලැබුණු නිසා වාර්තාව නිකුත් වෙන්න තිබුණු දිනයෙ ම එයට විරුද්ධ වෙන්න අපට හැකි වුණා. එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙස අප කිහිප දෙනකු ජාතික ඒකාබද්ධ කමිටුවෙන් පන්නනු ලැබුවා.

 

අර උගත් පාඩම් කමිටුවට මාත් සාක්‍ෂි දෙන්න කියා. කාදිනල්තුමාත් එයට සාක්‍ෂි දෙන්න ගියා. එතුමාගේ සාක්‍ෂිය මගේ සාක්‍ෂියට බෙහෙවින් වෙනස්. මා පෙන්නා දුන්නෙ දෙමළ ජනයාට දෙමළ වීම නිසා  ම සිදුවන අසාධාරණයක් නැහැ කියල. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටු සාමාජිකයකු කිවුවේ ඒ වුණත් අප දෙමළ ජනයාට යම් කිසි දෙයක් දෙන්න ඕන කියල. කොමිසම්වල කමිටුවල වාර්තා ගැන මට ඇති විශ්වාසය බොහොම අඩුයි.

 

පාස්කු කොමිසම් වාර්තාව තවම කාදිනල්තුමාට දීල නැද්ද? එතුමා එය ඉල්ලා තියෙනවා. ඉල්ලන ඕන කෙනකුට වාර්තාව ලබා දෙනව ද? මා දන්නෙ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය ඉතා විශාල පිරිස කතෝලිකයන්. ඒ නිසා කාදිනල්තුමාට ඒ ගැන විශේෂ උනන්දුවක් ඇති. කොටි ප්‍රහාර නිසා පමණක් නොව ජ වි පෙ ප්‍රහාර නිසාත් වැඩියෙන් මිය ගියෙ බෞද්ධයන්. ජ වි පෙරමුණත් භික්‍ෂූන් වහන්සේ ඝාතනය කළා. අරන්තලාව ඝාතනය කොටින්ගෙ වැඩක්. ඒක කෙළෙ අහවල් පුද්ගලයා ද කියන එක නොවෙයි ප්‍රශ්නය. මොන සංවිධානයෙ වැඩක් ද කියන එකයි ප්‍රශ්නය.

 

බෞද්ධයන් බහුතරය ලෙස ඝාතනය වූ අවස්ථාවල ඒ ප්‍රහාර ගැන හොයන්න කොමිසම් පත් කළා ද කියල මට නිච්චියක් නැහැ. එසේ පත් කළත් ඒ ආදළ වාර්තා මහානායක හිමිවරුන් ඉල්ලූ බවක්වත් උන්වහන්සේට දුන් බවක්වත් මට මතක නැහැ. පාස්කු ප්‍රහාරය සාම්ප්‍රදායික පල්ලිවලත් හෝටල්වලත් කෙරුණා. මා දන්නේ නැහැ හෝටල් හිමියන් වාර්තාව ඉල්ලල තියෙනව ද කියා.

 

පාස්කු ප්‍රහාරයෙන් ඝාතනය වුණු බහුතරය කතෝලික බව ඇත්ත. බෞද්ධයකු ලෙසත් මා ඒ ගැන කණගාටු වෙනවා. මඩකලපුවේ ප්‍රහාරය කතෝලික පල්ලියක නො වෙයි. මා කියන දේ වැරදියට වටහා ගන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මා කියන්නේ පාස්කු ප්‍රහාරය හුදෙක් කතෝලිකයන්ට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු නොකළ යුතු බවයි. පාස්කු කොමිසම ගැන කතෝලික සභාවත් ප්‍රකාශ නිකුත් කළා.

 

පාස්කු ප්‍රහාරය කතෝලිකයන්ට එරෙහි ව එල්ල වූ ප්‍රහාරයක් ලෙස පමණක් කියන මතයක් ඇති වෙලා තියෙනවා.  එය වැරදියි. අර බටහිරයන් යොදා ගන්න ව්‍යාජ වචන යොදා ගනිමින් මා කියන්නෙ නැහැ ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ ප්‍රහාරයක් කියල. එය යොදා ගන්න ම ඕන නම් මා කියනවා පහුගිය අවුරුදු පන්සීයක පමණ කාලයෙහි බටහිරයන් මනුෂ්‍යත්වයට එරෙහි ව ප්‍ර්‍රහාර පමණයි එල්ල කරල තියෙන්නෙ කියල.

 

මා අර පඬි නැට්ටන් හා වෙනත් අය අනුව යමින් පාස්කු ප්‍රහාරයෙහි ඊනියා භූදේශපාලන හේතු හොයන්නෙත් නැහැ. මේ ලෝකයේ තියෙන්නෙ භූදේශපාලනයක් මිස ආකාශදේශපාලනයක් නො වෙයි. ඒක පොළොව මත තියෙන යථාර්ථය වගේ කතා කියන්නත් මා ඉදිරිපත් වෙන්නෙ නැහැ. සමහරු අහසෙ සිහින මවනව වෙන්න පුළුවන්. මා ආකාශවස්තු ගැනත් අවධානයෙන් පසු වෙනවා. බටහිර විද්‍යාවෙ ආකාශ වස්තු ගැන කියන ඇතැම් දේ මා ප්‍රතික්‍ෂෙප  කරනවා.

 

පාස්කු ප්‍රහාරයට සිංහලයන් ප්‍රතිචාර දැක්වූවා නම් මොකක් ද වෙන්න තිබුණෙ කියල මා කල්පනා කරනවා. එය පඬියන් කියන්න වගේ උපන්‍යාසීය (hypothetical)  නැත්නම් කල්පිත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ඒවත් වැදගත් ප්‍රශ්න. පාස්කු ප්‍රහාරයෙන් වාසියක් වුණෙ පොදු ජන පෙරමුණට ඒ නිසා එය පොදු ජන පෙරමුණේ වැඩක් කියල කවුරු හරි කිවුවොත් මා පුදුම වෙන්නෙත් නැහැ. මුස්ලිම් අන්තවාදය අතිසංකීර්ණයි. මුස්ලිම් අන්තවාදය පිටුපස තියෙන්නෙත් බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සංස්ථාපනය වීම ඊට හේතුවයි. අද වන විට වහාබ්වාදය පිටුපස ඉන්නෙත් බටහිරයන්. ඒ ගැන මා කලින් ලිපිවල කියා ඇති.