Main Logo

Wednesday 24 February 2021

දැනුම ස්වෛරීභාවය හා තානාපතිවරු

 

දැනුම ස්වෛරීභාවය හා තානාපතිවරු

 

රටක ස්වෛරීභාවය කියන්නෙ මොකක් ද කියන එක හැට ගණන්වලින් පස්සෙ ලෝකයේ කතා කරන මාතෘකාවක් වෙලා. බටහිරයන් එයට තමන්ට සරිලන විවිධ අර්ථකථන දෙනවා. බටහිරයන් හතළිස් ගණන්වල ආසියාවටත් හැට ගණන්වල අප්‍රිකාවටත් යම් දේශපාලන නිදහසක් දුන්න. ඒත්  ආර්ථික නිදහසක් විශේෂයෙන් සංස්කෘතික නිදහසක් දුන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය තම දැනුම් ආධිපත්‍යය මගින් ලොව ම පලනය කරනවා.

 

බටහිරයන් ම අපට පසු කලෙක සංකල්පයක් හදල දුන්න නව යටත්විජිතවාදය කියල. නව යටත්විජිතවාදය පැරණි යටත්විජිතවාදයෙන් වෙනස් වෙන්නෙ සූරාකෑම අතින් නො වෙයි. පැරණි යටත්විජිතවාදයේ යටත්විජිත දේශපාලන වශයෙනුත් පාලනය කෙරුණෙ වෙනත් රටකින්. ඒ වෙනත් රටේ පාලකයන්ගෙ, රජුගෙ ජනාධිපති හරි අගමැති හරි ප්‍රමුඛ පාලකයන්ගෙ නියෝජිතයන් යටත්විජිතය දේශපාලනික ව පාලනය කළා. අපේ රට ගත්තොත් එංගලන්තෙන් පත්කරපු රජුගෙ ආණ්ඩුකාරයෙක් හිටිය. තව නිලධාරීන් හිටියා. ඒ මදිවට විදුහල්පතිවරුන් ගුරුවරුන් හිටිය. හමුදා හා පොලීසිය එංගලන්තෙන් මෙහෙයවුණෙ. ආර්ථිකය හා සංස්කෘතිකය ගැන කියන්න දෙයක් තිබුණෙ නැහැ.

 

ඊනියා නිදහසෙන් පස්සෙ අර දේශපාලන අධිකාරිය යම් ප්‍රමාණයකට නැතිව ගියා. ඒත් ලංකාවෙ උගතුන්ට පින්සිදුවන්නට  එකී දේශපාලන අධිකාරිය එංගලන්තෙ රජු හරි රැජන හරි හරහා පවත්වාගෙන ගියා. ඒ කාලෙ දේශපාලන නඩු දැම්මෙ රැජනට විරුද්ධ ව සටන් කළාට. විජේවීරට 1971 දිත් නඩු දැම්මෙ රැජනට විරුද්ධ ව යුද්ධ කළාට. එයටත් හපන් මෙරට අධිකරණ තීන්දුවලට විරුද්ධ ව එංගලන්තෙ ප්‍රිවි කවුන්සිලයට නැත්නම් සාමි මන්ත්‍රී මණ්ඩල අධිකරණයට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණා. 1962 බණ්ඩාරනායක මැතිණියගෙ රජයට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ අබෞද්ධ හමුදා හා පොලිස් නිලධාරීන් මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් වුවත් එංගලන්තෙ සාමි අධිකරණයෙන් යම් තාක්‍ෂණික කරුණක් මත නිදහස් කෙරුණ. මෙරට රාජ්‍ය භාෂා පනතට විරුද්ධ ව එංගලන්ත අධිකරණයෙ නඩුවක් දාල දිනුව.

 

මේ කටයුතු සිද්ධ වුණෙ එ ජා පාක්‍ෂිකයන්ගෙ අවශ්‍යතාවට. අංක එකේ විජාතික මනසක් ඇති ව සිටි ඔවුන් අපේ විදේශ කටයුතු ආරක්‍ෂාව එංගලන්තයට පවරල තිබුණෙ. 1972 දි තමයි අප එංගලන්තෙ රැජනගෙන් නිදහස් වුණෙ. එහෙත් ඉන්පසුත් ඊනියා නව යටත්විජිතවාදය ක්‍රියාත්මක වුණා. අප දිගින්  දිගට ම ආර්ථික වශයෙන් සූරාකෑමට ලක් වුණු අතර සංස්කෘතික වශයෙන් බටහිරයන් අනුකරණය කරවීම දිගින් දිගට ම කෙරුණා. අධ්‍යාපනය හා ජනමාධ්‍ය එහි දී විශේෂ කාර්යභාරයක් ඉටු කළා.

 

එහෙත් බටහිරයන්ගෙ නව යටත්විජිතවාද සංකල්පයෙ නොකියැවුණු ඉතා වැදගත් කොටසක් තිබුණ. ඒ තමයි දැනුම් ආධිපත්‍යය. දැනුම කියන්නෙත් සංස්කෘතිකාංගයක් වුණත් දැනුම් ආධිපත්‍යය ඉතා සියුම් ව ක්‍රියාත්මක වුණෙ එය ආධිපත්‍යයක් බවවත් නොදැනෙන අයුරින්. දැනුම් ආධිපත්‍යයෙ එක් කරුණක් හැටියට ලෝකයට ම ඇත්තෙ එක ම දැනුම් පද්ධතියක් පමණක් යන්න හිත්වලට කාන්දු කෙරුණ. අදත් මෙරට අනුකාරකයන් කියන්නෙ පෙරදිග හා බටහිර යනුවෙන් දැනුම බෙදන්න බැහැ කියල. අද අපට වෙනත් දැනුමක් උගන්වන්නෙ නැහැ. උගන්වන්නෙ බටහිර දැනුම විතරයි. අනෙක් දැනුම් මිථ්‍යා කියල තමයි හැඟවෙන්නෙ. ඒකෙ තේරුම ඇත්තේ බටහිර දැනුම හා මිථ්‍යා පමණක් ය යන්නයි.

 

බටහිර දැනුමට පදනම් වෙන්නෙ බටහිර විද්‍යාව කියල උගන්නනචා. සියලු දැනුම්වලට උඩින් බටහිර භෞතික විද්‍යාව තියෙනව කියන එකයි කියන්නෙ. රසායන විද්‍යාව භෞතික විද්‍යාව පසුපසත් ජීව විද්‍යාව රසායන විද්‍යාව පසුපසත් ඊනියා සමාජයීය හා මානව විද්‍යාවන් ඒ සියල්ල පසුපස යන බවත් තමයි කියැවෙන්නෙ. ගණිතය හා න්‍යාය (logic)  මේ සියල්ලට ම නැති දේව භාෂිතයක් ලෙසයි ප්ලේටෝගේ කාලයේ සිට සැලකෙන්නෙ. එහෙත් ගණිතයේත් න්‍යායේත් යම් ස්වසිද්ධි තියෙනව. ඒ වගේ ම  නිගමනවලට එළඹීම සඳහා යොදා ගන්නා අනුමාන නීති තියෙනවා. මේ ස්වසිද්ධි හා න්‍යාය දේවභාෂිත නො වෙයි. ඒවා මිනිසාගෙන් ස්වායත්ත ව, ස්වාධීන ව පැවතෙන දේත් නො වෙයි. ඒවාට ඊනියා වාස්තවික පැවැත්මක් නැහැ. ස්වසිද්ධි අනුමාන නීති සියල්ල මිනිසුන්ගෙ නිර්මාණ. ඒ නිර්මාණ ඒ ඒ සංස්කෘතියට සාපේක්‍ෂයි. ඇතැම් සංස්කෘතීන් තියෙනවා තුනෙන් එහාට සංඛ්‍යා නැති. එක දෙක තුන හුඟක් කියල තමයි ඒ අය කියන්නෙ. ස්වසිද්ධි පද්ධතිය වෙනස් කළා ම වෙනත් ගණිත ලැබෙනවා. යුක්ලීඩිය ජ්‍යාමිතිය හා නිර්යුක්ලීඩීය ජ්‍යාමිති ඒ සඳහා හොඳ ම උදාහරණ. ඒ සියල්ල මිනිසුන්ගෙ නිර්මාණ. මිනිසුන්ගෙන් ස්වායත්ත ව භෞතික හෝ භෞතික නොවන හෝ සංකල්ප නැහැ. එවැනි සංකල්ප තිබේ යැයි කියන්නන් ඒ බව පෙන්වා දිය යුතුයි. ගණිතය හරි න්‍යාය හරි තර්කය හරි මිනිසාගෙන් ස්වායත්ත  බව හැකි නම් පෙන්වන්න. 

 

ගණිතය යම් පමණකට හරි පාරභෞතික (metaphysical)  තත්වයෙන් මුදා ගැණුනෙ ව්‍යවහාරික ගණිතය නිසා. නැත්නම් අර හාඩි කිවුව වගේ ගණිතය කිසිවකුටවත් කිසිවකටවත් වැඩක් නැති දැනුමක් බවට පත්වෙන්න තිබුණ. ගණිතය පාරභෞතික තත්වයෙන් යම් පමණකට මුදා ගැණුනෙ  විශේෂයෙන් ම භෞතික විද්‍යාව නිසා. එහෙත් අද වන විට භෞතික විද්‍යාව වැඩි වැඩියෙන් පාරභෞතික තත්වයකට පත් වෙමින් තියෙන්නෙ. එය නිවුටන් ආරම්භ කළ දෙයක්. ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු පාරභෞතිකයි. එවැනි සංකල්ප බටහිර භෞතික විද්‍යාවෙ යෙදා ගැනීම ගැන වියනා කවයෙ (අපි සම්මුතියටත් එනවා) පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් විරුද්ධ වුණා. ඒත් එකෙන් වැඩක් වුණෙ නැහැ.  බටහිර දැනුමෙ බංකොළොත් බව පෙන්වන්න ඊනියා කළු කුහර තරම් හොඳ උදාහරණයක් නැහැ. කළු කුහරවලට ව්‍යුහයක් (structure) තියෙන්න බැහැ. ඊනියා සිද්ධි ක්‍ෂිතිජයෙන් (event horizon) ඔබ්බට ගිය අංශුවක් අපූර්වතාව (singularity)  කියන තැනට යනවා. ගියාට පස්සෙ මොනව වෙනව ද කියල දෙයියො තමයි දන්නෙ.  ඒත් බටහිර විද්‍යාඥයො කළු කුහරවල පින්තුර හදනවා . මා නම් හිතන්නෙ කළු කුහරවලට ව්‍යුහයක් තියෙනව කියල. අංශු ඔය අපූර්වතාවට යන්නෙ නැහැ.  බටහිර දර්ශනය ගැන කියල වැඩක් නැහැ.  බටහිර දර්ශනය කියන්නෙ පාරභෞතිකයක් පමණයි. එය ඊනියා පැවැත්මක් ගැන විවිධ පාරභෞතික කතා ගොතනවා. ඒත් මේ හැම කතාවක් ම බ්‍රහ්මජාල සූත්‍රයෙන් ප්‍රතික්‍ෂෙප වුණු හරුප පමණයි.

 

දැනුම පිළිබඳ ව මේ ටික කියන්න ඕන වුණෙ අද බටහිරයන් අප පාලනය කරන්නෙ ඔය දැනුම පදනම් කරගෙන නිසා. මේ දැනුම සංස්කරණය වෙන්නෙ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ.  මේ දැනුම කළමනාකරණය වන්නෙ ඉංගිරිසින් අතින්. ඒ කියන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙන්. එය එංගලන්තයේ වෙන්න පුළුවන්. බයිඩන්ගෙ රටේ වෙන්න පුළුවන්. (ට්‍රම්ප් ඉන් ඈත් වෙන්න තමයි බැලුවෙ. ඔහු ඇංග්ලිකන් බයිඩන්ලගෙ ඔබාමාලාගෙ උදහසට ලක් වුණෙ ඒ නිසයි. බයිඩන්ට ඇංග්ලිකන් බයියෙක් කියන්න පුළුවන්.)   ඒත් ඒ දැනුමට වැඩියෙන් එකතු කෙරෙන්නෙ යුදෙවුවන් හා ඊනියා (යුරෝපීය) මහාද්වීපික බුද්ධිමතුන් අතින්. ඉංගිරිසින්ගෙ තියෙන දක්‍ෂකම මේ දැනුම කළමනාකරණයෙහි.

 

ඉංගිරිසින් අර හිරු නොබසින අධිරාජ්‍යය ගොඩ නැගුවෙ දැනුම කළමනාකරණයෙන්. එතරම් ලොකු රටක් නූණත් එංගලන්තයට ඊට වඩා ලොකු රටවල් පාලනය කරන්න පුළුවන් වුණා. ඔවුන් ඒ ඒ රටවල පාවාදෙන්නන් තමන් ළඟට කිට්ටු කර ගත්තා. ඒක එළාරත් කරපු දෙයක්. ඉංගිරිසින් ඊට වඩා බොහෝ දේ කළා. ඔවුන් අප හමුවේ බටහිර තාක්‍ෂණයේ මැජික් පෙන්නුව. බටහිර විද්‍යාව වාස්තවික වූ දැනුමක් ලෙස ප්‍රදර්ශනය කළා. ඉංගිරිසින් සංදර්ශන කප්පිත්තන්. බටහිර විද්‍යාව අනුභූතිවාදයක් (empiricism) හා බුද්ධිවාදයක් (rationalism) කියල පෙන්නුව. අනුභූතිවාදය හා බුද්ධිවාදය (හේතුවාදය) අහසට පොළොව මෙන් වුවත් ඒ දෙකම යම් පමණකට යොදා ගැනීමට බටහිරයන්ට බටහිර විද්‍යාවට සිද්ධ වෙනවා. ඒ දෙක ගැලැප්පීම අද ඉංගිරිසින්ගෙ ප්‍රධාන කාර්යයක් වෙලා. ඉංගිරිසින් ආර්ථික විද්‍යාව යොදා ගන්නෙ අප වැනි රටවල් දුප්පත් කියල අපට ම කියන්න. අප ලව්ව ම කියවන්න. ලෝකයේ සම්පත් රාශියක් තියෙන අප්‍රිකානු රටවල් දුප්පත් වෙන්නෙ කොහොම ද? බටහිර වෛද්‍ය විද්‍යාවෙ දුප්පත්කම නම් කොවිඩ් 19න් හෙළිදරවු වුණා. ආසාදනය, රෝගය, ප්‍රතිකාරය, සුව වීම වැනි සංකල්ප පවා අද අර්බුදයට ගිහින්. බටහිර වෛද්‍ය විද්‍යාවට කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් නැති වුණත් ඊනියා රෝගීන් සුව වී ගෙදර යෑම ගැන පම්පෝරි ගහනවා. 

 

ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් අප පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගෙ සංවිධානය හා අනුබද්ධිත සංවිධාන, ඊනියා සිවිල් සමාජ මානව අයිතිවාසිකම් ආදිය යොදා ගන්නවා. ඔවුන් ඊනියා දැනුම යොදා ගෙන අපේ ස්වෛරිභාවයට පහර දෙනවා. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගෙ ආණ්ඩු අප වැනි රටවල පවත්වාගෙන යෑම පමණයි. අප රටවල බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නෙ බටහිරයන් සඳහා බටහිරයන් විසින් පවත්වාගෙන යන බටහිරයන්ගෙ ආණ්ඩුවක්.

 

අපේ රටේ එවැනි ආණ්ඩු හදන්නෙ විජාතික මනස් ඇති රනිල් චන්ද්‍රිකා සජිත් අනුර සම්බන්ධන් සුමන්දිරන් හකීම් බද්‍යුද්දීන් ආදීන් විසින්. බටහිරයන් එවැනි ආණ්ඩු පවත්වාගෙන යෑමට සහාය දෙනවා. යම් පමණකට හරි ජාතිකත්වයක් ඇති ආණ්ඩුවක් පිහිටුවපු ගමන් එය වට්ටන්න හැකි සෑම දෙයක් ම කරනවා. අර ආරක්‍ෂා කිරීමට වූ වගකීම (R2P) කියන සංකල්පය තනා ගෙන ඇත්තෙ තමන්ගෙ ආණ්ඩු ආරක්‍ෂා කිරීමට ඇති වගකීම ගැන කියන්නයි. එහෙත් ඔවුන් එය පෙන්නන්නෙ ජනතාව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩුවලින් ආරක්‍ෂා කිරීමක් හැටියටයි. මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩු කියන්නෙ ඔවුන්ගෙ නොවන ආණ්ඩු.

 

අප දුටුවා දින පනස්දෙකේ ආණ්ඩුව හදපු වෙලාවෙ බටහිර රටවල් ක්‍රියා කරපු ආකාරය. ඔවුන් ඒ ආණ්ඩුව වැටුණ ම පිල් විදහාගත් මොණරුන් මෙන් රංගනයක යෙදුණ. ඊට කලකට කලින් ඔවුන් චන්ද්‍රිකා මෙරටට එවුවා ඔවුන්ගෙ ආණ්ඩුවක් හදල රට බෙදන්න. මෙරට ඉන්න තානාපතිවරු කිසිම බියක් සැකක් නැතිව මෙරට අභ්‍යන්තර දේශපාලනයෙ යෙදෙනවා. වියනා සම්මුතියෙ 41(1) වගන්තිය අනුව තානාපතිවරුන් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුයි. එහෙත් අප රටේ බටහිර රටවල තානාපතිවරුන් මෙන් ම ඉන්දීය මහා කොමසාරිස්වරයා ද රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙනවා. අප ඔවුන්ට වරක් අවවාද කර දෙවැනි වරත් මැදිහත් වුණොත් ආපසු අරින්න ඕන. ස්වෛරිභාවය කියන්නෙ දෙපැත්තට ම ක්‍රියාත්මක වන දෙයක්. අපේ තානාපතිවරුන්ට බැහැ පිටරටවල අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වෙන්න. එහෙත් පිටරට තානාපතිවරු මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙනවා. ඔවුන්ට 41(1) වගන්තිය මතක් කර දෙන්න ඕන.