Main Logo

Tuesday 23 February 2021

හැටනවයක් කළ අපරාධය

 

හැටනවයක් කළ අපරාධය

 

ගෝඨාභය නන්දසේන රාජපක්‍ෂ ජනාධිපති කරල පහුගිය අගෝස්තුවේ මේ ආණ්ඩුව පත් කරපු අයට සාප කරන්න ඕන. ඔවුන්ට යහතින් ඉන්න ඉඩ නොදෙන්න කියල කතරගමට පයින් ගිහිල්ල බාරයක් වෙන්න ඕන. හැටනව ලක්‍ෂයක් ද කීයක් ද හින්ද අර රටක් වටින ආණ්ඩුවක් නැති කර ගත්තෙ අපේ ම කරුමෙට වෙන්න ඕන.

 

ඇත්තට ම සිංහල මිනිසුන්ට සාදික්ක කැවිල ද? මා එහෙම අහන්නෙ සාදික්ක කෑවම මොළේ නරක් වෙනව කියල ඇතැම් බටහිර වෙද මහත්තුරු කියන නිසා. බටහිර වෙද මහත්තුරුන්ට  වරදින්න බැහැ. ඔවුන් මොන තරම් පාඩම් කරල ද ඔය විභාග සමත් වෙන්න ඇත්තෙ. ඔවුන් ඉතිහාසය ද බුදුදහම ද සාහිත්‍යය ද අරක ද මේක ද ඔක්කොම දන්නවා. ඒත් ආසාදිතයා කියන්නෙ කවුද කියල දන්නෙ නැහැ. දැන ගන්න ඕනත් නැහැ. ආසාදිතයො සුව වෙලා ගෙදර යනවා. ඒ මදැයි. එතකොට රෝගීන්. එහෙම කට්ටියක් ඉන්නවා ද? නැති රෝගීන් පීසීආර් ධන කරගෙන.

 

පහුගිය ආණ්ඩුව, ඒ කියන්නෙ යහපාලන ආණ්ඩුව මොන තරම් හොඳ ආණ්ඩුවක් ද? 2015 ඉඳලා 2018 ඔක්තෝම්බර් වෙනකම් යහපාලන ආණ්ඩුව කොහොම කොහොම හරි ගෙනිච්ච. චන්ද්‍රිකා ඒකෙ නැති වෙච්ච එක විතරයි තිබුණු එක ම අඩුව. චන්ද්‍රිකත් හිටිය නම් මොන තරම් හොඳ ද? ආණ්ඩුවට හඳ පායන්න තිබුණ. මේ  නොසන්ඩාලයො ටිකක් රනිල් හා මෛත්‍රිපාල අතර විරසකයක් ඇති කරල. එච්චර හොඳ ආණ්ඩුව ගෙනි යන්න බැරි තත්වයකට පත් කරල. සිරිසේන නොදන්න කමට 2018 ඔක්තෝම්බරයෙ රනිල් පහකරල මහින්ද අගමැති කරල. ඒ මදිවට පාර්ලිමේන්තුවත් විසුරවල.

 

යටත්විජිත හේරත් මේව බලන් ඉන්න බැරුව පාර්ලිමේන්තුවෙ දුවල ගිහින් ලේකම්ට ද කොහෙද තුණ්ඩුවක් දීල විශ්වාසභංගයක් ගෙනල්ල. යටත්විජිත හේරත්ල තුණ්ඩු දීල කඩ වස්සපු මිනිස්සු. ඔවුන්ට ආණ්ඩුවක් වස්සනව කියන්නෙ මහ වැඩක් නො වෙයි. මහින්දත් නැහැ මෛත්‍රිපාලත් නැහැ. රනිල් ඉන්නව. රනිල්දාස ඉන්නෙ රනිල් තියා ගන්න මිසක් වෙන කාව තියා ගන්න ද?

 

කොහොම හරි 2018 ඔක්තෝම්බරයට කලින් යහපාලන ආණ්ඩුව ගොඩක් වැඩ කෙරුව. ගොවීන්ට පොහොර නිකම් බෙදල  දුන්න. අවශ්‍ය ප්‍රමාණයට වැඩියත් දුන්න. ගොවීන් ඒ වැඩි පොහොර හාල් සිරිසේනට දුන්නෙ නැහැ. කාට දුන්න ද කියල නිච්චියක් නැහැ. කට කැඩිච්ච කතා කියන එකෙක් කියනව හාල්පාරුවන්ට දුන්න කියල. මා නම් දන්නෙ නැහැ. දන්න එක ම දේ ගොවියන් ඒ කාලෙ සන්තෝසෙ වැඩි කමට සිය දිවි නසා ගත්ත කියන එක විතරයි.

 

ඔය 2018ට ඉස්සර තවත් දේවල් සිද්ධ වුණා. මේ දවස්වල ජෙනීවා මංගල්ලෙ පැවැත්වෙනවා. ඔය එක ජෙනීවා මංගල්ලෙක දි අර තපස්සු භල්ලුකට පස්සෙ දෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයා වෙලා ලංකාවට මහත් කීර්තියක් ගෙනත් දුන්න අවමංගල ලංකාවටත් අවමංගලයක් ගෙනල්ල රටට තව තවත් කීර්තිය අත් කර දුන්න. ඔහු එංගලන්තෙත් එක්ක එකතු වෙලා තමයි ඒ කීර්තිය අත් කරල දුන්නෙ. මියන්මාවෙ මතයක් තියෙනවා තපස්සු භල්ලුක මොන් ගෝත්‍රයට අයත් කියල. ලංකාවෙ මතයක් තියෙනව අවමංගල මොං ගෝත්‍රයට අයත් කියල. පඬි නැට්ටකු මට ගෝත්‍රවාදියකු යැයි කියන්න බැරි නැහැ. අපොයි නැහැ මා සුපිරිසිදු ජාත්‍යන්තරවාදියෙක්.

 

2018 යහපාලනය කැඩුණට පස්සෙ තිබුණු ආණ්ඩුව සුපිරි ම ගණයෙ එකක්. ඒකට ආණ්ඩුවක් කිවුවට ආණ්ඩු දෙකක්. එක් ආණ්ඩුවක් කරන වැඩ අනෙක් ආණ්ඩුව දැන ගන්නෙ පත්තරෙන්. සමහර වෙලාවට ගැසට් පත්තරෙන්. 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙ ඔය සුපිරි ආණ්ඩු තියෙන කාලයේ. ආයි මොනව ද ආණ්ඩු දෙක ම කොමිසම් දෙකක් පත් කළා පාස්කු ප්‍රහාරයෙ සුළ මුළ හොයන්න. ඒවයෙ වාර්තා ඉස්සෙල්ල ම දුන්නෙ කාදිනල්තුමාට. එතුමාට හරි සන්තෝසයි. පොඩි ප්‍රශ්නයකට තිබුණෙ වාර්තා දෙකක් තිබීම. එකක කියන එක නොවෙයි අනෙක් එකේ තිබුණෙ.

 

කාදිනල්තුමා අගරදගුරු නෙ. අගරදගුරු කියන්නෙ රාජගුරුන් අතර ප්‍රධානියා කියන එක ද? මා දන්නෙ නැති නිසයි අහන්නෙ. සුනිල් අරිරුවන් මොකද කියන්නෙ. රදගුරු කියන්නෙ රාජගුරුන් නම් හාමුදුරුවරු කවු ද? නඩුකාර හාමුදුරුවරු නොවෙයි. මහසඟරුවන. සරච්චන්ද්‍ර නම් මනමේ කුමාරිගෙ පියා රාජගුරුට ඇන්දුව. ඒකට කමක් නැහැ. කාදිනල්තුමා වාර්තා දෙක ම අරගෙන ජාත්‍යන්තරේට ගියා.

 

දැන් මේ හැමෝම ජාත්‍යන්තරේට යන කාලෙ නෙ. ඉතින් කාදිනල්තුමා ගියා ම මොක ද? හැබැයි ඔය ජාත්‍යන්තරත් එක එක විධියෙ ඒවා. එක එක විධියෙ සුපර් මාර්කට් තියෙන්නෙ. ජාත්‍යන්තරත් එහෙම තමයි. ඔය කාට කාටත් ජාත්‍යන්තර තිබුණත් බෞද්ධයනට ජාත්‍යන්තරයක් තියා ජාති අන්තරයක්වත් නැහැ. මොනව වුණත් දත්මිටි කා ගෙන ඉන්න එක විතරයි තියෙන්නෙ. 

 

මියන්මා රටේ ඉන්න ගමන් අර 6.55 ( මියන්මාවෙ 7.55) ප්‍රවෘත්ති බලන කොට මට හිතෙන දේ තමයි මා ලිවුවෙ. මේ ආණ්ඩුව මොනව ද කරල තියෙන්නෙ. පාස්කු කොමිසම් දෙකට මොක ද වුණෙ. ඒ වාර්තා ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ ඇයි. යහපාලනය නිකම් දීපු පොහොර නැති කෙළෙ මොක ද? හාල් සිරිසේන මට්ටු කරන්න ද?    

 

ජෙනීවා අවමංගල යෝජනාව අත් හරින්නෙ මොක ද? තපස්සු භල්ලුක එක්ක තරහ ද? අර යහපාලනෙ ඉන්දියාවට දෙන්න පොරොන්දු වුණු නැගෙනහිර පර්යන්තෙ වෙනුවට බටහිර පර්යන්තෙ දෙන්න හදන්නෙ මොක ද? තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට සින්නක්කරේට ම තියා ගන්න දෙන්නෙ නැත්තෙ මොක ද? තිරිකුණාමලය කොහොමත් 1956ට ඉස්සර එංගලන්තෙට නෙ තිබුණෙ. නැහැ මා අහන්නෙ නැහැ දෙවැනි රාජසිංහ රජ්ජුරුවො අර බැන්ද කියන කොටුව ඇත්තට ම බැන්දද කියල. ඒක බැන්දෙ ඉංගිරිසි ආණ්ඩුකාරයෙක් වෙන්න ඇති. නැත්තන් උඩ තිබුණු පන්සල බිමට ගේන්න රාජසිංහ රජු කටයුතු කරා ද දන්නෙත් නැහැ.