Main Logo

Monday 8 February 2021

කොවිඩ් රෝග විනිශ්චය

 කොවිඩ් රෝග විනිශ්චය


ධන යෝග තිබූ පමණින් ධනවත් වන්නේ නැහැ. රාජ යෝග තිබූ පමණින් රජ වන්නේත් නැහැ. වයිරස ඇඟේ තිබුණු පමණින් ලෙඩ වන්නේත් නැහැ. ඒක තමයි අපේ අත්දැකීම. ඒක වැඩ කරනවා. වෙන ඊනියා ඇත්තක් ඒ කතාවෙ නැහැ. ජ්‍යොතිෂයෙ කියන්නෙ වෙන්න පුළුවන් දේ පමණයි. ලෝකයේ ග්‍රහ බලපෑම් (ග්‍රහ වස්තුවල බලපෑම් නොවෙයි) හැර වෙන මොකුත් නැත්නම් ජ්‍යොතිෂය වෙනත් ආකාරයකට ලියන්න එහෙම නැත්නම් සූත්‍රගත කරන්න තිබුණය කියා මට හිතෙනවා. ඒ කියන්නෙ අහවල් අහවල් දේ වෙන්න සම්භාවිතාවක් තියෙනව කියන අර්ථයෙන් නොව අහවල් දේ නිශ්චිත ව සිද්ධ වෙන්න පුළුවන් කියන ආකාරයෙන්. 


කාල් පොපර් ජ්‍යොතිෂය අසත්‍යකරණයට ලක් කරන්න බැහැ කිවුවෙ මේ සම්භාවිතා කතාව තේරුම් ගත්තෙ නැති නිසා. ඔහු මාක්ස්වාදය හා මනෝ විශ්ලේෂණයත් එලෙස අසත්‍යකරණයට ලක් කරන්න බැරි ය කියා ඒවාත් ජ්‍යොතිෂයත් බටහිර විද්‍යා නොවේය කිවුවා. මාක්ස්වාදයේ ඊනියා අනාවැකි ඵල දැරීමේ සම්භාවිතාව ශූන්‍යයි. මාක්ස්වාදයේ කතා එකින් එක වැටෙන කොට ට්‍රොට්ස්කි වගේ අය පොත් ලිවුව මාක්ස්වාදය බේර ගන්න. නොනවතින විප්ලවය, විප්ලවය පාවාදීම, සංයෝජිත හා අසමාන වර්ධනය ආදී වශයෙන්. (අර ස්ටැන්ලි තම්බයියා බුදුදහම පාවාදීම ලිවුවෙ බුද්ධාගම බේරා ගන්න නම් නොවෙයි.) ඒත් මාක්ස්වාදය දැන් ගොඩගන්න බැහැ. මළ මාක්ස්වාදයෙන් කුණු ගඳක් පමණයි පිට වෙන්නෙ. මනෝ විශ්ලේෂණයෙ නම් අනාවැකි ඵල දැරීමේ සම්භාවිතාව ශූන්‍යයට වඩා ටිකක් වැඩියි. ඒත් මනෝ විශ්ලේෂණයයි මාක්ස්වාදයයි එකතු කරන්න හදපු අයට නම් කිසිම වගතුවක් වුණේ නැහැ. 


සිංහලෙන් ලියන ලිපියක් පොතක් කියවල තේරුම් ගන්න බැරි පඬි නැට්ටන් මාක්ස්වාදය මනෝ විශ්ලේෂණය ගැන ඉංගිරිසියෙන් කියවල තේරුම් ගන්නෙ ඔවුන්ගෙ ඉංගිරිසි දැනුම සිංහල දැනුමට වඩා උසස් හින්ද වෙන්න ඇති. ඒ අය අද පීසීආර් ගැන ධම්මික වෙද මහතාගේ පැණිය ගැන තම විදග්ධ ඥානය පතුරවමින් ඉන්නවා. මා කියන්නෙ නැහැ ඇතැම් නොබෙල් ත්‍යාගලාභී බටහිර විද්‍යාඥයන් වගේ බටහිර විිද්‍යාවේ දර්ශනයේ අන්තිම කතාව පොපර් කළා කියල. පොපර් මොනව කිවුවත් ඔහු අසත්‍යකරණයට ලක්කරන්න පුළුවන් කියන බටහිර භෞතික විද්‍යාව වගේ විෂයනුත් එහෙම කරන්න බැහැ. 


බටහිර වෛද්‍ය විද්‍යාව බටහිර විිද්‍යාවක් නො වෙයි. එය තාක්‍ෂණවේදයක්. තාක්‍ෂණවේදයකින් අනාවැකි කියන්න කියා ඉල්ලන එක සුදුසු නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාවෙ කෙරෙන්නෙ රෝග විනිශ්චයකින් පසු යම් ප්‍රතිකාරයක් නියම කිරීම. රෝග විනිශ්චයක් කරනවා කියන්නෙ අනාවැකි කීමක් නො වෙයි. එයට යම් බටහිර විද්‍යාවක් පදනම් වෙනවා ඇති. ඒත් එපමණකින් එය බටහිර විද්‍යාවක් වෙන්නෙ නැහැ. 


අද බටහිර වෙදකමේ රෝග විනිශ්චයක් සඳහා පරීක්‍ෂා ගණනාවක් කරන්න කියනවා. ඒකටත් සෑහෙන මුදලක් වියදම් වෙනවා. ඒ පරීක්‍ෂාවලින් පස්සෙ බටහිර වෙද මහතා හරි වෙද හාමිනේ හරි තීරණය කරනවා මේ අහවල් රෝගය වැළඳීමක් කියල. ඊට පස්සෙ යම් ප්‍රතිකාරයක් නියම කරනවා. 


කොවිඩ් 19 රෝගය වැළඳිල ද කියල දැනගන්න ක්‍රමයක් බටහිර වෙදකමේ තියෙනවා ද? කොවිඩ් 19 රෝගය හඳුනා ගැනීමට ක්‍රමයක් බටහිර වෙදකමේ තියෙනවා ද? ඒ රෝගයට ප්‍රතිකාරයක් තියෙනවා ද? ඔය කොවිඩ් 19 රෝගීන් කියන අය මොන රෝගීන් ද? ඔවුන්ට ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග වැළඳෙනවා ඇති. එවැනි රෝග විනිශ්චය කරන්නත් පුළුවන් ඇති. එවිට ප්‍රතිකාර කරන්නේ ඒ රෝගයට මිස කොවිඩ් 19 රෝගයට නො වෙයි. 


පීසීආර් පරීක්‍ෂණ කරන්න කිය කියා අලුත් හා පරණ බටහිර වෙද මහත්තුරු නිතර කියනවා. ඒත් පීසිආර් පරීක්‍ෂණයකින් කරන්න පුළුවන් ඔය කොවිඩ් 19 වයිරසය ශරීරයේ තියෙනව ද කියන එක පමණයි. එයින් කියන්න පුළුවන් ද කොවිඩ් 19 වයිරසය ශරීරයේ තියෙන අයකු කොවිඩ් 19 රෝගියකු ආසාදිතයකු කියා. බටහිර වෙදකම අනුව මිනිසකුගේ සිරුරේ බැක්ටීරියා වර්ග වයිරස තියෙනවා. ඒ වයිරසයක් තිබූ පමණින් අදාළ රෝගය වැළඳෙනවා ද? 


වාසනාවකට තවම අර වයිරසය මේ වයිරසය ඇඟේ තියෙනවා ද කියල බලන්න පරීක්‍ෂා කෙරෙන්නෙ නැහැ. සමහරව විට එවැනි පරීක්‍ෂා ඇත්තේ සීමිත ගණනක් වෙන්න පුළුවන්. බෑරි වෙලාවත් අර වයිරසය මේ වයිරසය ඇඟේ තියෙනව කියල දැන ගත්තොත් අදාළ රෝගය වැළඳිලා කියන්න බැරි වෙන එකකුත් නැහැ. පිසිආර් පරීක්‍ෂණය අනුව කොවිඩ් 19 වයිරසය ඇඟේ තියෙන අය කොවිඩ් රෝගීන් කියල හඳුනාගෙන ඔවුන් නිරෝධායන කඳවුරුවලට යවන එක මොන විද්‍යාව ද කියල කාට හරි කියන්න පුළුවන් ද? 


ඒ විතරක් නොවෙයි. සති කිහිපයකට පස්සෙ ඔවුන් සුව වූ බව කියමින් ගෙදර අරිනවා. දැන් මේ වන විට සුව වූවන්ගේ ප්‍රතිශතය අනූව (90) පැනලා.   බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැහැ. ඒත් රෝගීන් කියන අය සුව වෙනවා. මට අර ප්‍රසිද්ධ විද්‍යාඥයකු වූ ද බටහිර වෙදමහතකු වූ ද යථාර්ථවාදියකු වූ ද කාලෝ ෆොන්සේකා සිහි වෙනවා. එක් බටහිර වෙද මහතකු කී විධියට යමකුගෙන් ගන්නා සෙම් පටළය දෙගුණයක් හතරගුණයක් අට ගුණයක් ආදී වශයෙන් අභිවර්ධනය කර තමයි වයිරසය ඇත් ද නැත් ද ධන ද සෘණ ද යන්න බලන්නෙ. ඒ සඳහා එය කී ගුණයක් අභිවර්ධනය කළ යුතු ද යන්නත් ප්‍රශ්නයක්. පීසීආර් ධන වී පසුව සුව වී යැයි කියන අයටද නැවත පීසීආර් ධන වෙන්න පුළුවන්. 


බටහිර වෙදකමට කොවිඩ් 19ට ප්‍රතිකාරයක් කියනු තබා රෝගියකු හඳුනාගන්නවත් බැහැ. එබැවින් අද වයිරසය ශරීරයේ තියෙන අය ආසාදිතයන් ලෙස සලකනවා. ඊනියා ආසාදිතයන්  සුව වෙලාත් කියල කියනවා. ඒ අතර ඉංගිරිසින්ගෙ 1898 නිරෝධායන රෙගුලාසි යොදා ගෙන දේශීය වෙද මහත්වරුන්ට ඊනියා ආසාදිතයන් බලන්න දෙන්නෙත් නැහැ. ඒ අතර ආණ්ඩුව ලවා වියදම් කිරීමකුත් ජනතාව බිය ගැන්වීමකුත් කෙරෙනවා.