කළු කුහර තේරුම් ගැනීම
කළු කුහර මට තේරෙන්නෙ නැත, තේරෙන කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න කිවුව වෙලේ එක් පඬි නැට්ටකු කියා තිබුණා නලින් සිල්වාට තේරෙන්නෙ නැත්තන් කියල දීල වැඩක් නැහැ ඒක නිසා කියල දෙන්න ඕන නැහැ කියල. බැලූ බැල්මට නම් ඒක හොඳ කතාවක්. ඒත් පොඩ්ඩක් විශ්ලේෂණය කරල බලමු.
කළු කුහර මට තේරෙන්නෙ නැත්තෙ කියන්නෙ වර්තමානයේ
මිසක් අනාගතයෙත් ඕනම දවසක නො වෙයි. මේක සමහරවිට සිංහල භාෂාවෙ ප්‍රශ්නයක් වෙන්නත්
බැරි නැහැ. කුමාරතුංගයන් කිවුවෙ සිංහලයෙ ඇත්තේ අතීත හා අනතීත ක්‍රියා විතරයි කියල.
ඉංගිරිසියෙහි මූලික වශයෙන් කාල තුනක් තියෙනවා. අවශ්‍ය නම් එයටත් වඩා තියෙනව කියල
ගන්න පුළුවන්. ලතින් භාෂාවෙ ක්‍රියා පද රූප හයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කාල
තුනක් ගැන තමයි කියන්නෙ. අතීත, වර්තමාන හා අනාගත.
ඒත් සිංහලයෙ එහෙම නැහැ. අතීතයක් තියෙනවා. අතීත
නොවන්නක් තියෙනවා. පාලි භාෂාවෙහි අතීත වර්තමාන අනාගත සඳහා රූප තුනක් තියෙනවා. ඒත්
සිංහලයේ රූප දෙකයි තියෙන්නෙ. ගච්ඡාමි කිවුවම වර්තමානයෙ යනවා කියන තේරුම එනවා.
බුද්ධං සරණ ගච්ඡාමි කියන්නෙ ඒ මෙහොතෙ සරණ යෑමක්. ඒත් යනව කිව්වම දැන් ද හෙට ද
වෙනත් දවසක ද කියන එක පැහැදිලි නැහැ. මා
හිතන්නෙ යමි යන්නෙමි කියන රූප කෘත්‍රීම ව හදාගත් ඒව කියල. යන්නෙමි කිව්වමත් දැන් යනව
වෙන්න පුළුවන් හෙට යනවා වෙන්නත් පුළුවන්.
මට තේරෙනවා කියන එකේ එක් විරුද්ධ පදයක් තමයි
තේරෙන්නෙ නැහැ කියන එක. කාට හරි හිතෙන්නෙ බැරි නැහැ තේරෙන්නෙ නැහැ කියන්නෙ කවදාවත්
තේරෙන්නෙ නැහැ කියල. එහෙම ගත්තොත් නම් පඬි නැට්ට කියන එකේ තේරුමක් තියෙනවා. ඒත්
තේරෙනවා කියන්නෙ වර්තමානයෙ සිදුවන දෙයක්. ඒක යනවා වගේ ක්‍රියා පදයක් නො වෙයි. යන
එක කවද වෙන්නත්, කරන්නත් පුළුවන් එකක්. තේරෙනවා කියන එක හෙට
තේරෙනවා කියල ගන්න, කියන්න බැහැ. එතකොට තේරෙන්නෙ නැහැ කියන
එකත් වර්තමානයේ ක්‍රියාවක්. ඒක යන්නෙ නැහැ කියනව වගේ එකක් නො වෙයි.
යනව කියන එක හිතල කරන එකක්. තේරෙනවා කියන එක
එහෙම නොවෙයි. ඒක කරන එකක් නොවෙයි කෙරෙන එකක්. මෙතන කතෘ කාරක, කර්ම
කාරක කතාවකුත් නොවෙයි තියෙන්නෙ. නානව කියන එක අද ව්‍යවහාර වෙන විධියට හිතල කරන
එකක් වෙන්නත් පුළුවන් හිතන්නෙ නැතිව ම කරන එකක් වෙන්නත් පුළුවන්. හිතනවා හා
හිතෙනවා අතර වෙනස මොකක් ද? මා හිතනවා මට හිතෙනවා. හිතන්නෙ මම, හිතෙන්නෙ
මට. බොහෝ නිර්මාණ කරනවාට වඩා කෙරෙනවා.
අපට හිතෙන්නෙ නැති වෙනස්කම් ක්‍රියා පදවල
තියෙනවා. සිංහලය නාම පදවලට වඩා ක්‍රියා පද මූලික කරගත් භාෂාවක් හැටියටයි මට
හිතෙන්නෙ. අපිට වහිනවා කියල නාම පදයක් නැතිව කියන්න පුළුවන්. ඉංගිරිසියෙහි එහෙම
කියන්න බැහැ. ඒත් ඉංගිරිසියෙහි එක ම රූපය නාම පදය හැටියටත් ක්‍රියා පදය හැටියටත්
යෙදෙන්න පුළුවන්. අයි රන් (I run) කියන්නත් පුළුවන් අයි ස්කෝර්ඩ් අ රන් (I scored a run) කියන්නත් පුළුවන්. සිංහලේ එහෙම බැහැ. හැබැයි මම
දිවිල්ලක් දිවුවා කියන්න පුළුවන් වෙනම ම අර්ථයකින්.
සිංහලයෙහි සන්දර්භය ඉතා වැදගත්. මට තේරෙන්නෙ
නැත්තෙ වර්තමානයෙහි. එහෙත් අනාගතයෙ තේරෙන්න පුළුවන්. පඬි නැට්ටාට ඒක තේරෙන්නෙ නැහැ, ඔව්
වර්තමානයෙහි. පඬි නැට්ටාට හෙට තේරෙන්න පුළුවන් තේරෙන්නෙ නැත්තෙ වර්තමානයෙහි කියල
බව. මට ඕන කරන්නෙ කළු කුහර හෙට බැරි නම් කවද හරි මැරෙන්න ඉස්සෙල්ල තේරුම් ගන්න.
කළු කුහර අද තේරෙන කෙනකු ඉන්නවා නම් කියන්න මා හෙට ඇවිල්ල අහන් ඉන්නම්. සමහර විට
මට හෙට තේරෙවි. පඬි නැට්ටටත් ඒකෙන් පිනක් අත්වේවි.
ඒ මොකක් වුණත් අනතීතය වර්තමානය ද අනාගතය ද කියල
කාට හරි අහන්න පුළුවන්. අපට ප්‍රත්‍යක්‍ෂ වෙන්නෙ වර්තමානය පමණයි කියල මේකෙන්
ගැලවෙන්න බැහැ. අතීතයත් ප්‍රත්‍යක්‍ෂ නැහැ. ඒත් ඒ සඳහා රූපයක් තියෙනවා. රූපය
තියෙන්නෙ අනාගතයට වෙන්නත් පුළුවන්. වර්තමානය කියන්නෙ කොපමණ කාල පරිචේඡදයක් ද? මිනිත්තුවක්
තත්පරයක් ක්‍ෂණයක්. ක්‍ෂණයක් කියන්නෙ කොච්චර ද?
පැරණි සිංහලයන් කොහොම හිතුව ද? ඔවුන්ට
කොහොම හිතෙන්න ඇත් ද? වර්තමානයයි අනාගතයයි බෙදන්නෙ කොහොම ද? ඉර
ගහන්නෙ කොතැන ද? වැඩිය තියෙන්නෙ වර්තමානය ද නැත්නම් වෙන්න
තිබුණත් අනාගතය ද? මං ගිහින් එන්නම් කියනවා. එහෙම කියන්නෙ
යන්නත් ඉස්සෙල්ල. සාමාන්‍යයෙන් සිංහලයන් යනවා කියල කියන්න පටන් අරන් පැය කාලක්වත්
ඉඳලා තමයි යන්නෙ. මට හිතෙන්නෙ පැරණි සිංහලයන් ක්‍ෂණයක් නැති වර්තමානයට රූපයක් වෙන්
කළෙ නැහැ කියල. අනාගත රූපය ම සන්දර්භය අනුව යොදා ගත්ත. ඒ මට හිතෙන හැටි. දැන්
තියෙන වර්තමාන රූපය පාලි වගේ භාෂාවක් දිහා බලල හදා ගත්ත එකක් වෙන්න පුළුවන්.
සිංහලයන් සමහර වෙලාවට අර ගිහින් එන්නම් කියන එකේ ගිහින් කොටස කියන්නෙ නැතිව එන්නම්
කියල යනවා. සන්දර්භය වැදගත්.
තේරෙනවා කියන එක නම් මොහොත මොකක් වුණත් මේ
මොහොතෙ වෙන දෙයක්. මොහොතක් නැති මොහොතක වෙන දෙයක්. ඇරිස්ටෝටල්ට අනුව පරස්පරයක්.
අපේ සංස්කෘතියේ නම් ඒවටත් ඉඩක් තියෙනවා. නැත්නම් එන්නම් කියල යාවි යැයි. වහිනවා
කිවුවමත් දැන් වහිනවා මිසක් හෙට වහිනවා කියන තේරුමක් නෙවෙයි තියෙන්නෙ. අර අනතීත ක්‍රියාවල
එවැනි වර්තමාන ක්‍රියා පදත් තියෙන බව පේනවා. සිංහලය සන්දර්භය මත යැපෙනවා.
ඒ මොකක් වුණත් කළු කුහර නම් මට තේරෙන්නෙ නැහැ.
මා කිවුව නොව මා විිද්‍යාඥයෙක් නොවෙයි කියල. මා දාර්ශනිකයෙක් භාෂා විශාරදයෙක් තියා
උගතෙක්වත් නො වෙයි. ලංකාවෙ විද්‍යාඥයන් දාහක්වත් නැතැයි. භෞතික විද්‍යාව දන්න
බටහිර වෙදමහත්තුරු ම කොච්චර ඉන්න ඕන ද? කාලොගෙ ගෝලයො නැතැයි. කොවූරුත් පොඩි
පහේ විද්‍යාඥයෙක් යැයි. ඔහුගෙත් ගෝලයො ඇති. මට තේරුන් ගන්න ඕන අංශුවකට අර සිද්ධි
ක්‍ෂිතිජය (event horizon) පහු කළාට පස්සෙ මොක ද වෙන්නෙ කියන එක. පඬි නැට්ටන් මොකද
කියන්නෙ.
ප ලි. අන්තර්ජාල පහසුකම් අනුව ලිපි පළවීම හරි
නොවීම හරී තීරණය වෙනවා.