Main Logo

Monday 22 February 2021

එංගලන්තය සඟවන ගෑෂ් වාර්තාව

 එංගලන්තය සඟවන ගෑෂ් වාර්තාව


අද ජෙනීවා විගඩම පටන් ගන්නවා. මේ විගඩම මෙහෙයවන්නේ එංගලන්තයෙන්. ලංකාවට විරුද්ධ ව එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් මණ්ඩලයේ මධ්‍ය කණ්ඩායමේ රටවල්  මගින්   යෝජනාවක් ඉදිරිපත් කර තියෙනවා. මේ කණ්ඩායමට අයත් රටවල් වන්නේ එංගලන්තය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මලාවි හා මොන්ටෙනිග්‍රෝ. මෙහි නායකයා වෙන කවුරුන්වත් නො වෙයි එංගලන්තය. 


මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නය එංගලන්තයේ නිර්මාණයක් මිස දෙමළ ජනයාගේ නිර්මාණයක් නො වෙයි. අප බොහෝ දෙනකු, විශේෂයෙන් ඊනියා උගතුන් සිතන්නේ දෙමළ ප්‍රශ්නයක් ඇති බවත් එයට මානුෂික හේතු මත හරි එංගලන්තයේ වසන දෙමළ ජනයාගේ ඡන්ද ලබා ගැනීමට හරි එංගලන්තය සහාය දෙන බවත්. අප අතර සිටින්නේ යැයි කියන ඊනියා අධිරාජ්‍ය විරෝධීන්, නව යටත්විජිතවාදී විරෝධීන් ධනේශ්වර ක්‍රමයේ විරෝධීන් ලිබරල් දෙවැනි ඉනිම විරෝධීන් ද අවසානයේ දී බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙනවා. ඔවුන්ට එංගලන්තය ගැන යම් සුහද ආකල්පයක් තියෙනවා. ඒ මෙරට ක්‍රියාත්මක වන තකතීරු බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී අධ්‍යාපනය හා ඒ සමග බැඳුණු ජඩමාධ්‍ය හරහා සිදුවන්නක්. 


ඊනියා දෙමළ ප්‍රශ්නය කුමක් දැයි ඇසූ විට දිය හැකි පිළිතුරක් පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්නට නැහැ. ඔවුන් අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ ප්‍රශ්නය කුමක් දැයි සොයනවා. තවමත් ප්‍රශ්නය හම්බවෙලා නැහැ. මේ පඬියන්ට විවිධ පෞද්ගලික හේතු නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය සමග විරෝධතා තියෙනවා. ඒ පිරිමහා ගන්න ඔවුන් සිංහලයන්ට විරුද්ධ ව බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට සහාය දෙනවා. ඊනියා දෙමළ ප්‍රශ්නය දහනවවැනි සිය වසේ මුල සිට ඉංගිරිසින්, විශේෂයෙන් ම ක්‍රිස්තියානි පූජකවරුන් ඇති කළ එකක්. 


එංගලන්තය අපට ද්‍රෝහි වන ප්‍රධාන රටවල් දෙකෙන් එකක්. අනෙක ඉන්දියාව. ඔවුන්ට අවශ්‍ය අප සදහට ම ඔවුන්ගේ වියගහට බැඳ තියන්න. ඒ රටවල් දෙක නොවන්න මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නයක් නැහැ. ඔවුන් සාධාරණ දෙමළ ප්‍රශ්නයකට සහාය දෙනවා නොව ඊනියා දෙමළ ප්‍රශ්නයක් ඇති කර දෙමළ ජාතිවාදීන් පිරිසක් ඒ වටා ගොනු කරගෙන තම ආධිපත්‍යය පතුරනවා. ඉංගිරිසින්  දක්‍ෂයන්. අප ඒ බව පිළිගන්නවා. ඒ දක්‍ෂකම නිසයි ඔවුන් ලෝකය පාලනය කරන්නෙ. එහෙත් ඒ දක්‍ෂකම කපටි කයිරාටික සූත්‍ර ටිකක් මත පදනම් වූවක්. අපි අනිද්දා (24) ඒ ගැන වැඩි දුරටත් සාකච්ඡා කරමු.  


එංගලන්තය අද අපට එරෙහිව ගෙනෙන ප්‍රධාන ම චෝදනාව ඊනියා මානව හිමිකම් කඩ කිරීම. එය ඊනියා යුද සමයේ සිදු වූ බවක් ඔවුන් කියන්නෙ. අර ජෙනීවා නාඩගමේ ප්‍රධාන කෝළම වූ මිෂෙල් බැෂලේ කියවන්නේ ඇයට  එංගලන්තය ප්‍රමුඛ අපට විරුද්ධ රටවල් කෙටුම්පත් කරන පිටපතක්. කෝළම කවුරු වුවත් කෝළම් පිටපත එංගලන්තයේ සකස් වන්නක්. මේ කෝළම් පිටපතට දීර්ඝ පිළිතුරක් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන දැනටමත් යවා තියෙනවා. ඒ පිළිතුර තානාපතිවරයකු ලෙස මට ද කියවන්න ලැබුණා. සජිත් තම නොදැනුවත්කමට මොනවා කිවුවත් සමස්තයක් ලෙස ගත්කල ඉන් කෝළමට පිළිතුරු දී තියෙනවා. හෙට විදේශ ඇමති මානව හිමිකම් මණ්ඩලය අමතා කෙටි දෙසුමක් අන්තර්ජාලය ඔස්සේ කිරීමට නියමිතයි. 


එංගලන්තය හා බටහිරයන් අපට උගන්වන්නේ අපක්‍ෂපාති වීමට. කරුණු නිවැරදිව ඉදිරිපත් කරන්න. එහෙත් මේ කපටින් ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා යන්න නොදන්න පිරිසක්. අර දරුස්මාන් වාර්තාව චැනල් 9 නරිනාටක ආදිය හරහා කියන්න සූදානම් වුණෙ 2009 මානුෂික මෙහෙයුම් සමයෙ අපේ හමුදාවෙන් ලක්‍ෂ ගණනක් මරා දමනු ලැබුවා කියා. ඒ මිය ගිය සංඛ්‍යාව හතළිස්දාහෙන් පටන්ගෙන ලක්‍ෂ ගණනකට ගියා. මිය ගිය අයටත් පැටවු ගහන්න පුළුවන් බව ඉංගිරිසි කයිරාටිකයන් හෙළිදරවු කළා. 


එහෙත් ඔවුන් ඉදිරිපත් නොකළ ප්‍රධාන වාර්තාවක් තියෙනවා. අද දි අයිලන්ඩ් පුවත්පතේ ඒ ගැන විස්තරයක් තියෙනවා. එවකට මෙරට එංගලන්ත මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක පරිවාර නිලධාරියා වූ ලුතිනන් කර්නල් ගෑෂ් (Gash) 2009 ජනවාරි පළමුවැනි දා සිට ඒ වසරේ මැයි 19 දක්වා වූ මානුෂික මෙහෙයුම් ගැන එංගලන්තයට යැවූ නිල පණිවුඩ තියෙනවා. ඒ පණිවුඩ අනුව හමුදා මෙහෙයුම් නිසා මියගිය සංඛ්‍යාව 7000ක් පමණ. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ එක් අයකු හරි මිය ගියා නම් එය මානව හිමිකම් කඩවීමක් කියල. ඒත් මේ 7000 සිවිල් ජනයා නොවෙයි. හමුදා මෙහෙයුම්වල දී මිය ගිය කොටින්ට තියෙන්න ඕන මොන වගේ මානව අයිතිවාසිකම් ද? 


එංගලන්තය ගෑෂ් වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ තමයි එංගලන්තය ලෝකයට හඳුන්වා දී ඇති ක්‍රමය. අයිසැක් නිවුටනුත් ඒ ක්‍රමය අනුගමනය කළා. ගෑෂ් වාරතා ගැන හෙළි වන්නේ නේස්බි සාමිවරයාගෙන්. නේස්බි සාමිවරයා බිරිතානි පාර්ලිමේන්තුවේ (සාමි මන්ත්‍රී මණ්ඩලයේ) අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා 2021 පෙබරවාරි 16 වැනි දා පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඒ වාර්තා ඉල්ලා නැති බවත් ඒ නිසා ඒ වාර්තා සපයා නැති බවත්. 


එය නම් හොඳ ඉංගිරිසි පිළිතුරක්. අපි ගාව වාර්තා තියෙනවා. ඒත් කවුරුන්වත් අපෙන් ඒ ගැන ඇහුවෙ නැහැ. ඒ නිසා අපි කිවුවෙ නැහැ. ඉංගිරිසින් ලෝකය පාලනය කෙළෙ මෙන්න මේ වගේ දක්‍ෂකම් නිසා. නේස්බි සාමි කියන්නෙ එංගලන්තෙ මහා බල පුළුවන්කාරයෙක් නො වෙයි. ඔහු කියන කරන දේට එංගලන්ත ජඩමාධ්‍ය ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. ඔහුට ප්‍රචාරය දෙන්නෙ සිංහල ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකු පමණයි. ඉංගිරිසින් ඒ බව නොදන්නවා නො වෙයි. 


බැෂෙල් කෝළම ගෑෂ් වාර්තා ඉල්ලන එකක් නැහැ. ඒත් අපට ඉල්ලන්න පුළුවන්. මේ ආණ්ඩුව ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙස ජෙනීවා විගඩමේදීත් වෙනත් තැන්වලත් බලකරන්න ඕන. මානව හිමිකම් ගැන බෙරිහන් දෙන බැෂෙල් කෝළම  ෆැසිස්ට්වාදියකු සමගත් විවාහ වී සිටි බව දැනගන්න තියෙනවා. පඬි නැට්ටන් කියාවි එය පෞද්ගලික කරුණක් කියා. පඬි නැට්ටන්ගෙන් බහුතරයක් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නේ පෞද්ගලික කරුණු නිසා මිස ඊනියා වාස්තවිකත්වයක් නිසා නො වෙයි.