Main Logo

Friday 12 February 2021

ගෝඨාභය රාජපක්‍ෂ නායකත්වය

 

ගෝඨාභය රාජපක්‍ෂ නායකත්වය

 

ලිපි පළ කෙරෙන්නේ මා විසින් නොවන බව මේ වන විට පැහැදිලි යැයි හිතනවා. මුහුණු පොතට මට යෑමට අපහසුතා ඇති බැවින් මා ලියන ලිපිය වෙනත් අය විසින් පළ කෙරෙනවා. මුහුණු පොත මගින් මට එවන පණිවුඩ ලැබෙන්නේ නැති බවත් කරුණාවෙන් සලකන්න.

 

මේ ආණ්ඩුව, ඒ කියන්නේ ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය, පිහිටුවනු ලැබුයේ අර පුද්ගලයා මේ පුද්ගලයා විසින් නොව ප්‍රධාන වශයෙන් ම සිංහල ජනතාව විසින් බව ඊයේ ලිපියෙන් පැවසුවා. 2015 පරාජයෙන් පසු ජනතාව මැදමූලනට (හා තංගල්ලට) නොයන්නට බොහෝ දේ වෙනත් ක්‍රමයකට සිදුවන්න තිබුණා. විමල්වත් බැසිල්වත් මෙහි වීරයන් නොවෙයි. ඒ ඒ අයගේ හිතවතුන් ඒ ඒ අය වීරයන් කිරීමට දරණ උත්සාහය දෙස අප උපේක්‍ෂාවෙන් බලා ඉන්නවා.

 

අද ඇත්තේ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් නොවෙයි. බොහෝ දෙනාට අමතක වුවත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නමින් දේශපාලන පක්‍ෂ කිහිපයක සංධානයක් පදනම් ආයතනයේ දී පිහිටුවා ගනු ලැබුණා. 1980න් පසු මා කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නූණත් පදනම් ආයතනයේ රැස්වීමට මා ද සහභාගි වුණා. ඒ රැස්වීමේ සභාපතිත්වය දැරුවේ ගෝඨාභය රාජපක්‍ෂයි.

 

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය යනු පොදුජන පෙරමුණ පමණක් නොවන බව අප අමතක නොකළ යුතුයි. එහි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් තවත් පක්‍ෂත් තියෙනවා. එහෙත් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයවත් රිෂාඩ් බද්‍යුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයවත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ සාමාජික පක්‍ෂ නො වෙයි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට මේ මුස්ලිම් පක්‍ෂ දෙකේ ඇතැම් මන්ත්‍රීවරු ඡන්දය දුන් නමුත් ඔවුන් ඉන්නේ සජිත්ගේ සංධානයේ.

 

අද ආණ්ඩු පක්‍ෂයේ ඇති වී තිබෙන බල පොරය කා සඳහා ද කුමක් සඳහා ද යන්න දැන ගැනීමට පේන බැලීමට අවශ්‍ය නැහැ. ඊනියා විද්‍යාත්මක ක්‍රමයකින් නම් එය දැන ගැනීමට බැහැ. මේ බල පොරය නව ව්‍යවස්ථාවක් මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම සඳහාත් ඒ අනුව ඊළඟ ජනාධිපති (රාජ්‍ය නායකයා) වීම සඳහාත්. සුපුරුදු පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ජනතා අභිලාෂය ආදී තේරුමක් නැති වචන එහි දී යොදා ගැනෙනු ඇති.

 

අද රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීහෙි ලා නිර්දේශ ලබා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා. මා ඒ කමිටුවට සුබ පතා නවතිනවා. ඒ කමිටුවට යෝජනා යවන්නේ නැත් දැයි මගෙන් කිහිප දෙනකු ඇහුවා. මට කමිටු ගැන අත්දැකීම් තියෙනවා. නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරෙනු ඇත්තේ මුස්ලිම් පක්‍ෂවල අවශ්‍යතා අනුවයි. පොදුජන පෙරමුණේ ඉන්න ජාතිකත්වයක් නැති අය මුස්ලිම් ඡන්දයෙන් ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. තමන්ට සිංහල ඡන්ද යම් ප්‍රමාණයක් අහිමි වන බව ඒ අය දන්නවා. ඔවුන්ට ඒ සඳහා සූදානම් වීමක් අවශ්‍යයයි.

 

අප මුස්ලිම් ඡන්දයෙන් සම්මත කිරීමට යන ව්‍යවස්ථාව පරාජය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දය ලබා නොදිය යුතුයි. එසේ නොවන්නට අද අලි සබ්‍රිි හීන් නූලෙන් කරන දේ මුස්ලිම් අන්තවාදීන් ව්‍යවස්ථානුකූල ව ම කරනවා ඇති. මෙරට ඉතිහාසය ගැන නොදත් අලි සබ්‍රි විහාර දේවාලගම් පනත පුද්ගලික නීතියක් ලෙස සලකන්න හදනවා. මුස්ලිම් පක්‍ෂවල ඡන්දය ලබා ගත්තත් තුනෙන් දෙක ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ පොදුජන පෙරමුණු නොවන මන්ත්‍රීන්ගේත් ඡන්දය අවශ්‍යයයි. සමහර විට ඩීල් කප්පිත්තන් මුදලට ඒ ඡන්ද ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා ඇති. ඒ සියලු උත්සාහ පරාජය කරන්න ඕන. මා කියන්නේ මුස්ලිම් ජනතාව ප්‍රතික්‍ෂෙප කිරීමට නො වෙයි. ජාතික කොඩියේ තීරු අයින් කරන්න මා යෝජනා කරන්නේ නැහැ. සිංහයා බෝපත් තීරු තමයි ජාතිය නිරූපණය කරන්නෙ. මා යෝජනා කරන්නේ මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමටයි. එහි දී අන්තවාදී නොවන මුස්ලිම් ජනයා සමග අප සෘජු දේශපාලනයේ නිරත විය යුතුයි.

 

පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්‍ෂ. ඒ ගැන වාද කරන්න අවශ්‍ය නැහැ. ඒ නායකයා පත් කර ගැනීමත් පොදුජන පෙරමුණේ කාර්යයක්. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ නායකයා ගෝඨාභය රාජපක්‍ෂ. අද ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානය අමතක කිරීමයි. එය නැවත සංවිධානය කරන්න ඕන. පසුගිය ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ අපේක්‍ෂකයන් තරග කෙළේ පොදුජන පෙරමුණෙන්. එහෙත් එයින් කියන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පෙදුජන සංධානයක් නැහැ කියා.

 

පොදුජන පෙරමුණේ නොවන අපේක්‍ෂකයන් ද (ජයග්‍රාහී මෙන් ම අනෙක් අය ද) පොදුජන පෙරමුණෙන් තරග කළ පමණින් පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාවට සම්මුතීන්ට යටත් වෙනවා කියා යමකු හිතනවා නම් ඔවුන්ට පොදුජන පෙරමුණේ නායකයා තෝරා ගැනීමේ අවස්ථාව ද හිමි වෙන්න ඕන. අද තිබෙන්නේ සංධාන ආණ්ඩුවක් බව බොහෝ දෙනකුට අමතක වී ගොස්. එය වහා මතක් කර ගන්න ඕන.

 

සංධාන ආණ්ඩුවේ මෙන් ම සංධානයේ ද නායකයා ගෝඨාභය රාජපක්‍ෂ. ඒ බවත් මතක තියා ගන්න ඕන. මා හිතන්නේ නැහැ ගෝඨාභය රාජපක්‍ෂ පොදුජන පෙරමුණේ කටයුතුවලට සහභාගි විය යුතු ය කියා. ඔහු එහි සාමාජිකයකු වෙන්න ඇති. එහෙම නම් මා හිතන්නේ ඔහු ඒ පක්‍ෂයේ සාමාජිකත්වයෙන් අස් වෙන්න ඕන කියා. ඔහු කිසිම පක්‍ෂයක සාමාජිකයකු වන්න අවශ්‍ය නැහැ. ඔහු සංධානයේ සියලු පක්‍ෂවලට උඩින් ඉන්න සංධානයේ නායකයා.

 

සංධාන රැස්වීම් සති දෙකකට වරක්වත් නායකයාගේ සභාපතිත්වයෙන් පවත්වන්න ඕන. සංධානයේ ව්‍යවස්ථාව කෙසේ සකස් වී ඇත් ද කියා මා දන්නේ නැහැ. සංධාන රැස්වීම්වලට සංධානයේ සාමාජික පක්‍ෂ නම් කරන ලද නියෝජිතයන් යවන්න ඕන. ඒ නියෝජිතයන්ට ඇමතිවරුන් අයත් වෙන්නෙ ඕන. එයට අමතර ව නායකයා සහභාගි වෙන්න ඕන.

 

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය යළි පණ ගන්වා ආණ්ඩුව සම්බන්ධ තීරණ ගැනීමට කටයුතු කරන්න ඕන. මෙරට ආණ්ඩු පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය බව ජනතාව තීරණය කරල ඉවරයි. ඒක මැතිවරණ කොමිසම මගින් තීරණය කෙරෙන්නක්  නොවිය යුතුයි.