Main Logo

Thursday 25 February 2021

පාස්කු ප්‍රහාරය හා ඊනියා යහපාලනය

 

පාස්කු ප්‍රහාරය හා ඊනියා යහපාලනය

 

පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව කතානායකට දීල. ඒක පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තියෙනව කියනවා. සමහර මන්ත්‍රීල පුස්තකාලයට යන්න දන්නව ද දන්නෙ නැහැ. කොහොමත් ලංකාවෙ තවමත් තියෙන්නෙ කියවන සම්ප්‍රදායට වඩා අහන සම්ප්‍රදාය. කොහොම කොහොම හරි එක එක්කෙනා තමන්ට ඕන විධියට වාර්තාව කියවා ගනීවි, නැහැ අහගනීවි. 

 

මා ඔය වාර්තාව කියවල තියා ඇහැට දැකල නැහැ. එක් එක් අය කියන ඒවා ජනමාධ්‍යයෙ වාර්තා වෙනවා. ඒවා තමයි මා කියවල තියෙන්නෙ. මා ලියන දේ පදනම් වෙන්නෙ ඒ මත. වාර්තාව කවදා කියවන්න ලැබෙයි ද කියල මට කියන්න බැහැ. ඒත් වාර්තාවෙ වැඩිය ඇත්තෙ සාක්‍ෂි හා වෙනත් ලිපි ලේඛන වෙන්න ඕන.

 

මා දැක්ක යටත්විජිත හේරත් කියල තිබුණ වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් ගැන කියල නැති වගක්. යටත්විජිත පාර්ලිමේන්තු පුස්තකාලයට දුවල ගිහිල්ල වාර්තාව කියෙවුව ද කියල මා දන්නෙ නැහැ. කොහොමටත් ඔය කොමිසමෙන් කවුරු හරි බලාපොරොත්තු වුණා නම් ප්‍රහාරයේ සැලසුම්කරුවන් ගැන කියාවි කියල ඒක එතරම් ප්‍රඥාගෝචර නැහැ. ඒ වැඩේ බුද්ධි අංශයටත් විචාර බුද්ධියක් ඇති විශ්ලේෂකයන්ටත් පැවරෙන දෙයක්. ඊනියා දේශපාලන විචාරකයන් අතර නම් එවැන්නන් නැති බව පැහැදිලියි. ඔය කාලෙ නම් බුද්ධි අංශය බුදි කරල තිබුණෙ.

 

පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවෙන් කියල තියෙනව කියන දෙයින් පැහැදිලි වෙන ප්‍රධාන ම කරුණ තමයි 2019 අප්‍රේල් මාසෙ වෙන කොට මෙරට තිබුණු අරාජික තත්වය. එය ආණ්ඩු දෙකක නැති නම් නැති ආණ්ඩුවක කතාවක්. 2018 තරම කාලයක ඉඳන් මෙරට අරාජික වෙලා තිබුණෙ. ඒ කාලෙ සේන ගුත්තිකල නැවත මේ රටට පැමිණියා නම් රාජ්‍ය බලය ගන්නත් තිබුණ. මේ වර්තමානයෙන් අපේ ඉතිහාසයටත් එළියක් වැටෙනවා.

 

සුබ සහ යස ගැන හිතෙනවා. ඒ මෙරට ලම්බකර්ණයන් බලය ලබා ගැනීමේ සටන ගැන කියැවෙන කතාව. මා කියන්නේ රනිල් හා මෛත්‍රිපාල සුබ සහ යස කියන එක නො වෙයි. මෙවර සටනෙන් පස්සෙ රනිලුත් නැහැ මෛත්‍රිපාලත් නැහැ. ඒත් වාර්තවෙන් ආරංචි හැටියට මෛත්‍රිපාලට පමණයි දොස් කියල තියෙන්නෙ. රනිල් වරදක් කරල නැති පාටයි. මා නැවතත් කියන්න ඕන මේ සියල්ල ආරංචි මාත්‍රයෙන් කියන දේ.

 

රනිල් වෙනුවට පූජිත හේමසිරි ඉන්නවා. මට හැම තිස්සෙ ම හිතෙන දෙයක් තමයි රනිල් දේශපාලනික ව  දක්‍ෂයෙක්  කියන එක. මහා බැංකු මංකොල්ලයට කවුරු වැරදිකරු වුණත් (මේ යන විධියට වැරදිකරුවකු නොහිටින්න පුළුවන්) රනිල් වැරදි කරුවකු වන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් ඔහු තම රාජකාරිය අතපසු කළ බවක් වැරදි විධියට බලය යොදා ගත් බවක් කියැවෙන්නෙ නැහැ. මා කියන්නෙ ඔහු වරදකරුවකු ව සිටිය දී නිවැරදි කරුවකු වන බවක් නො වෙයි. ඔහු දක්‍ෂයකු බවයි. ඔහුගේ දක්‍ෂකම අනුව අවුරුදු පනහකට පමණ පෙර ඔහුට පුළුවන්කම තිබුණා කොළඹ විශ්වවිද්‍යාලෙ මහා බලසම්පන්න ශිෂ්‍ය නායකයා වූ එම් ඒ ජස්ටින් මෙහෙයවන්න.

 

පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් මෙරට මුස්ලිම් දේශපාලන පක්‍ෂ නායකයන් ඇඟේ සුලු ගැවිමකින් පමණක් විත්තිකරුවන් වෙන බවක් තමයි පේන්න තියෙන්නෙ.  මේ හැම දෙයක් ම පිටුපස ඩීල් දේශපාලනය තියෙනව. මුස්ලිම් දේශපාලනය තනිකර ම ඩීල් දේශපාලනයක්. මේ ඩීල් දේශපාලනය නැති කරන්නෙ මේ ආණ්ඩුවෙත් සමහරු ඉඩ දෙන්නෙ නැහැ. පාස්කු ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර බලවේග ඉන්න බව පැහැදිලියි. ජාත්‍යන්තර බලවේග ගැන කොමිසම් වාර්තාවෙ සඳහන් වෙනව කියල හිතන්න අමාරුයි.  

 

මේ ජාත්‍යන්තර බලවේග සහාරාන් ඇතුළු පිරිස යොදා ගත්තා. ඒ සඳහා සුදුසු වාතාවරණය සකස් කරල දුන්නෙ ඊනියා යහපාලන ආණ්ඩුව. එහෙමත් නැත්නම් අරාජිකත්වය. ඊයේ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් නෝනගෙ වාර්තාව ප්‍රතික්‍ෂෙප කරමින් හොඳ කතාවක් කෙරුව. ඒ කතාවෙ ඔය පාස්කු ප්‍රහාරය ගැනත් සඳහන් වුණා. එහි දී විදේශ ඇමති පෙන්නුම් කළා පසුගිය වතාවක ලංකාවට විරුද්ධ ව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් අවමංගල හා ඊනියා යහපාලනය කරන ලද විනාශය. ඒ සම අනුග්‍රහය දැක්වීම නිසා අප රටේ බුද්ධි අංශ තවත් කඩා වැටුණ. සම අනුග්‍රහයෙන් කිවුවෙ බුද්ධි අංශත් මානව හිමිකම් කඩ කර ඇති බව.

 

පාස්කු ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර බලවේග බුද්ධි අංශත් කඩා වැටෙනකම් බලා හිටිය. ඒ කඩා වැටීම තමයි මෛත්‍රිපාල, පූජ්ත හේමසිරි වැන්නන් පෙන්නුම් කෙළෙ. ඒ විධියට බැලුව ම පාස්කු ප්‍රහාරයට අවමංගලල රනිල්ල අද වාර්තාව ගැන ප්‍රශ්න කරන කිරිඇල්ලල අනෙක් සියලු දෙනාටමත් වැඩිය වග කියන්න ඕනෙ. ඒත් කොමිසම එහෙම කරුණු හොයන්නෙ නැහැ. ජාතියේ අවමංගල්‍යය බලාපොරොත්තුවෙන් ඉන්න අවමංගලත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන කියල බොහෝ දෙනකු හිතන එකක් නැහැ.  ඒත් එක්සත් ජාතීන්ගෙ ජෙනීවා විගඩමේ අපට විරුද්ධ ව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දක්වපු ඊනියා යහපාලන ආණ්ඩුචත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන. ජාත්‍යන්තර බලවේගය කවුද කියන එක පසුව හෙළිදරවු කර ගනිමු. එහෙත් ඒ සඳහා යළි ඉපදීමක් අවශ්‍ය වෙයි ද? කතෝලික පල්ලි ඇතුළු පැරණි ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන්නේ ඇයි?

 

තවත් කිවයුතු දේ තිබුණත් ජාත්‍යන්තර බලවේගවල එක අරමුණක් නම් කඩවුණු බව නොකියා ම බැහැ. ඒ සිංහල ජනතාව මුස්ලිමුන්ට විරුද්ධ ව උසි ගන්වා සිංහල ජනතාවට තවත් අමන ජාත්‍යන්තර ප්‍රහාරයක් එල්ල කිරීම. එහි දී යොදා ගැණෙන පිරිස් ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕන.