Main Logo

Wednesday 19 January 2022

වහාබ්වාදීන් එන්නේ මොකාට ද?

 

වහාබ්වාදීන් එන්නේ මොකාට ද?

 

නීලා වික්‍රමසිංහ අභාවයට පත්වෙලා. ඒ ගැන මට ඇත්තේ සංවේගයක්. මට ඇය කිසි දිනෙක හමුවෙලා නැහැ. එහෙත් මා ඇගේ බොහෝ ගීත ප්‍රිය කළා. ඉන් කිසිසේත් ම කියන්නේ නැහැ මා ඇගේ ගීත සියල්ල අසා තියෙනවා කියා. ඇයට ඉතාමත් ළයාන්විත කටහඬක් තිබුණා. ඇය කුලතිලක පරපුරේ ගායිකාවක නො වෙයි. රෝහණ බැද්දගේ, ලයනල් රන්වල ආදීන් කුළතිලක පරපුරේ. සී ද එස් කුලතිලක තමයි අපට පිරිත් ඕසේ නෙළුම් ගී ගැන කියා දුන්නේ. අපේ හාමුදුරුවරුන් පිරිත් කියන්නේ සිංහල නාද රටා අනුව බවයි මගේ හැඟීම. මියන්මාහි දී මට එය තවත් ප්‍රත්‍යක්‍ෂ වුණා. 

නීලා වික්‍රමසිංහට ළයාන්විත දේශපාලනයක් ද තිබුණා. බොහෝ ප්‍රබුද්ධ ගායක ගායිකාවන් වමක් නැතිවත් වමේ කියා හිතනවා. ඒ වාම දේශපාලනය ගොරහැඩියි. එහි ජාතිකත්වයක් ගෑවිලාවත් නැහැ. ඔවුන් ජාතිකත්වයට විරුද්ධයි. නීලා වික්‍රමසිංහ ගැයූ සුසැට බරණින් සැරසිලා ගීතයෙන් කෙරෙන්නේ විසාකා මහා උපාසිකාවට ගැරහීමක් නො වෙයි. මේ නූතනත්වය යටතේ ගැමි ගැහැණියකට වුවත් විඳින්නට සිදු වී ඇති කරදරය ඉන් කියැවෙනවා. නාගරික ගැහැණියකට ඊට වඩා කරදර විඳින්න සිදු වී තියෙනවා. එහෙත් මෙහි ඇති විසංවාදය නම් නුතනත්ව අධ්‍යාපනයක් ලැබූ ගැහැණුන් ගැමි කරදරකාරීත්වයෙන් මිදී ඉන් ගොඩ ඒමට කියමින් නාගරික කරදරකාරීත්වයට යට වීමට ඇති කැමැත්තයි. නූතනත්වය කරදරය සැපක් ලෙස පෙන්වීමට සමත්.

 

ඉතාලියට ගිය නීලා වික්‍රමසිංහට වැඩ බාර ගත් දවසේ වැඩකට නැති පිරිසකගේ විරෝධතාවකට මුහුණ දෙන්න වුණා. ඔවුන් විරෝධය පෑවේ වත්මන් ආණ්ඩුවට ද සිංහල බෞද්ධ සිරිත් විරිත් අනුව වැඩ බාර ගැනීම ගැන  ද ඔවුන් බලාපොරොත්තු වූ අයකු අදාළ තනතුරට පත් නොකිරීම ගැන ද යන්න ගැන මට වැටහීමක් නැහැ. ඒ බලාපොරොත්තු වූ තැනැත්තා මගින් යමකු වතිකානුවේ ඉහළ තනතුරක් බලාපොරොත්තු වුණා ද? ඒ කුමක් වුවත් වැඩ බාර ගත් ඇයට වැඩ කරන්න කාලයක් ලැබුණේ නැහැ. එය සංවේගයට කරුණක්. ඇයට නිවන සම්මාබෝධ වේවා. 

 

මා පෙරේදා (ජනවාරි 17) ලියූ ලිපියෙහි මෙරට විසූ මොන්ටි ෆිල්බි ගැන සඳහන් සඳහන් කළා. ඔහු මෙරටට පැමිණ ඇත්තේ කෝපි වැවීමට. ඔහු බදුල්ලේ පදිංචි ව සිටියේ ද කියන එක ගැන ප්‍රශ්නයක් මතුවෙලා. කිසියම් අයකු ඒ ගැන සොයා බලනවා නම් හොඳයි. මා තොරතුරු සොයන්නේ ඉතාමත් සීමිත ව . මට තොරතුරු අවශ්‍ය වන්නේ රටාව, සමස්තය ගැන දැන ගැනීමටයි. එනම් ඒ ගැන කතාවක් ගෙතීමටයි. ෆිල්බිලා මට වැදගත් වන්නේ ඔවුන් ඉංගිරිසි යටත්විජිතය නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගොඩනැගීමට ක්‍රියා කළ නිසා. 

 

වහාබ්වාදය 1710න් පමණ පසුව ඔටෝමාන් අධිරාජ්‍යය කඩා බිඳ දැමීමට ඉංගිරිසින් යොදා ගත්තත් එය සෞදි අරාබ්යට ලැබුණේ මැතක දී මොන්ටි ෆිල්බිගේ පුත් ලංකාවේ ද විසූ ජැක් ෆිල්බි මගින්. සෞදි අරාබිය වහාබ්වාදය ප්‍රචලිත කිරීමට කටයුතු කළා. එහෙත් වහාබ්වාදය පහුගිය දා සෞදි අරාබියේත් තහනමට ලක් වුණා. එය රඟපෑමක් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ලංකාවට වහාබ්වාදය පැමිණ ඇත්තේ පනහේ දශකයේ පමණ. ඇතැම් සුෆී මුස්ලිමුන් කියන විධියට දැනට අවුරුදු 70කට පමණ ඉහත දී.

 

පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන් කියා හිටින්නේ මෙරට ආගමික සංහිඳියාව නැති කර තිබෙන්නේ සිංහල බෞද්ධයන් කියා. එහෙත් පෘතුගීසීන් පැමිණීමට පෙර මෙරට ආගමික සංහිදියාවක් තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. පෘතුගීසීන් තමයි මුස්ලිමුන්ට හිරිහැර කළේ. බටහිර වෙරළේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දුන්නේ. කැලණි විහාරය කඩා බිඳ දැම්මේ. මට හිතෙනවා සිංහල බෞද්ධයන් උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ යන්න තනා ගත්තේ පෘතුගීසීන්ගේ පවු සමාකිරීමත් ගෙන කඩා බිඳ දැමුණු කැලණි විහාරය උත්තරීතරත්වයට පත් කිරීමට කියා.   පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන් බේරා ගෙන නැගෙහිර වෙරළබඩ පදිංචි කරනු ලැබුයේ සිංහල බෞද්ධ රජවරුන් විසින්.

 

මුස්ලිමුන් සිංහලයන්ට විරුද්ධ ව යොදා ගැණුණේ ඉංගිරිසින් විසින්. එහි දිගුවක් පමණයි වහාබ්වාදය ලංකාවට හඳුන්වාදීම. සිංහල බෞද්ධ සංස්කෘතිය වටා ගොඩ නැගුණු සංස්කෘතියක් ඇති සාම්ප්‍රදායික මුස්ලිමුන් නැති කිරීම තමයි වහාබ්වාදයේ අරමුණ. සාම්ප්‍රදායික මුස්ලිමුන් කිරිඅම්මලාගෙ දානත් දෙනවා. අවුරුදු පනහකට ඉහත ලංකාවේ වහාබ්වාදීන් නොහිටියත් අද ඔවුන් මුස්ලිමුන්ගෙන් සියයට හැටක් පමණ වන බව කියනවා. වහාබ්වාදීන්ගේ අතවරයට මුලින් ම ගොදුරුවන්නේ සාම්ප්‍රදායික මුස්ලිමුන්.

 

එය ඕනෑම ත්‍රස්තවාදී ව්‍යාපාරයක ලක්‍ෂණයක්. ප්‍රභාකරන් මුලින් ම ඝාතනය කෙළේ සිංහලයන් සමග එකට ජීවත්වීමට කැමැත්තක් දැක් වූ ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා වැන්නවුන්. ජ වි පෙ වුණත් මුලින් ම පහර දුන්නේ සිංහල ජාතිකත්වයක් ඇති පක්‍ෂයක් වූ ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රධානත්වයෙන් ගොඩ නැගුණු ආණ්ඩුවකට. ත්‍රස්තවාදීන් බලන්නේ පළමුව තමන් ක්‍රියාත්මක වන සංස්කෘතියේ බලධාරීත්වය ලබා ගැනීමට.

 

ලංකාවේ වහාබ්වාදීන්ට චන්ද්‍රිකා ආණ්ඩුවෙන් තල්ලුවක් ලැබුණා. 2000 අංක 51 දරණ සමස්ත ලංකා ජෙමෙයිතුල් උලමා පනතින් ආණ්ඩුව සංවිධානය වී සිටි වහාබ්වාදීන් පිරිසකට ඉස්ලාම් මතවාදය ප්‍රචලිත කිරීමටත් ආරක්‍ෂා කිරීමටත් නීත්‍යානුකුල ව බලය දුන්නා. ජෙමෙයිතුල් උලමාවරුන් ඉස්ලාම් ආගම යැයි කිවුවේ තමන් අර්ථකථනය කළ ඉස්ලාම් ආගමකට.

 

එය ඕනෑම දහමකට මතවාදයකට පොදුයි. හැමෝම තමන්ගේ අර්ථකථනය නිවෑරදි දහම ලෙස දක්වනවා. බුදුදහමටත් එය බලපානවා. ක්‍රිස්තියානි ආගම් කීයක් තියෙනවා ද. දැන් යළි උපන් ක්‍රිස්තියානින් ද ඉන්නවා. ආගම අබිං කියමින් තවත් ආගමක් ගොඩනැගූ මාක්ස්ගේ මතවාදයට අද අර්ථකථන කීයක් තියෙනවා ද? කිසිම ආගමික කොටසකට ආගමේ නිත්‍යානුකූල පිළිගැනීමක් දිය යුතු නැහැ. 2000 අංක 51 පනතෙන් නීත්‍යානුකූල බලය ලබාගත් පිරිස සාම්ප්‍රදායික මුස්ලිමුන්ට ෆට්වා නැත්නම් මරණ දඬුවම ද නියම කරන බව හා ක්‍රියාත්මක කර ඇති බව මෙරට සුෆී මුස්ලිමුන් පවසනවා. එසේ ඝාතනයට ලක් වූ අය ගැන ද ඔවුන් සාක්‍ෂි සපයනවා. සුෆී මුස්ලිමුන් කියන්නේ තමන් වර්තමානයේ ද ජීවත්වන්නේ මරණ තර්ජන යටතේ බවයි. රනිල්දාසගේ පක්‍ෂයට මාක්ස්වාදය ප්‍රචලිත කිරීමත් ආරක්‍ෂා කිරීමත් පනතක් මගින් නීත්‍යානුකූල ව පැවරුවොත් කුමක් වේ ද? 

 

එකී 2001 පනතින් ඉතාමත් භයානක තත්වයක් උදාකර තියෙනවා. වහාබ්වාදයට අනුව තම විශ්වාසයට අනුගත නොවන්නන් ඝාතනය කිරීමට වහාබ්වාදීන්ට පුළුවන්. වහාබ්වාදීන් පටන් ගෙන ඇත්තේ සුෆී මුස්ලිමුන් ඝාතනය කිරීමෙන්. ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් කතෝලිකයන් හා ක්‍රිස්තියානින් ඝාතනය කළා. කාදිනල්තුමා වහාබ්වාදීන්ට උඩගෙඩි දෙන්නේ තව තවත් කතෝලිකයන් පමණක් නොව බෞද්ධයන් ද ඝාතනය කරවීමට ද?

 

වහාබ්වාදීන්ගේ මේ ක්‍රියා පිළිබඳ ව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍ය අලි සබ්‍රිට ලිපියක් යවා ඇති බව සුෆි මුස්ලිමුන් කියනවා. එයට අලි සබ්‍රි දී ඇති පිළිතුරක් ගැන කියැවෙන්නේ නැහැ. ආණ්ඩුව මේ සියල්ල සාකච්ඡා කර යම් තීරණයකට එළඹෙන්න ඕන. නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නියෝජිතයකු වූ දෙමළ කොටි සංවිධානය මෙන් ඔවුන්ගේ තවත් නියෝජිතකයකු වහාබ්වාදීන් මගින් බිහි කර ගන්නවා ද? මෙහි දී පළමුව කළ යුතු කාර්යයක් වනුයේ පනතක් මගින් 2001 අංක 51 දරණ පනත අහෝසි කිරීමයි.