Main Logo

Monday 31 January 2022

මහේශාක්‍ය කුණු බිත්තර සම්ප්‍රදාය



මහේශාක්‍ය කුණු බිත්තර සම්ප්‍රදාය


රට ඇත්තේ භයානක අර්බුදයක. අද අපට විදේශ විනිමය නැහැ. ඒ කියන්නෙ ඩොලර් නැහැ. අපට අපේ තානාපති කාර්යාල පවත්වාගෙන යෑම අපහසු වෙලා. දැනටමත් තානාපති හා අවශේෂ කාර්යාල හතරක් වසා දැමීමට පියවර අරගෙන. ඉදිරියේ දී මේ තත්වය දිගට ම පැවතුණොත් තවත් කාර්යාල වසා දමන්න වේවි. මෙයට වග කියන්න ඕන මේ ආණ්ඩුව විතරක් නො වෙයි. ඒ බව මා කියන විට පඬි නැට්ටන් කියන්නේ මා ආණ්ඩුවට කඩේ යන බවයි. මා ආණ්ඩුව ආරක්‍ෂා කරන බවයි. 


මට ආණ්ඩුව ආරක්‍ෂා කරන්න වුවමනාවක් නැහැ. ඒත් මේ ආණ්ඩුව වට්ටලා පත් කරගන්න තරම් සුදුසු පක්‍ෂයකුත් පේන තෙක් මානයක නැහැ. දේශපාලන පක්‍ෂවල ඉන්නවුන් තම තමන් ආරක්‍ෂා කර ගන්නවා. අර සුප්‍රසිද්ධ බැසිල් තට්ටුවෙන් කියැවෙන්නේ එයයි. ඒ බව අනුර රනිල්දාස හෙවත් අරවින්දත් දන්නවා. නොදන්නේ ඒ ඒ පක්‍ෂවල අනුගාමිකයන් හා සාමාන්‍ය රටවැසියන් පමණයි. ඔවුන් හිතන්නේ ඒ ඒ පක්‍ෂවල නායකයන් නිර්දය ලෙස එකිනෙකා විවේචනය කරනවා කියා. නැහැ, මෙතන ඇත්තේ සදය තට්ටු කිරීම් පමණයි. අරවින්ද රෝහණ දැන හැඳුණුකම් කම. විරාගයේ රෝහිණී කියමු ද?


අද තත්වයට වග කියන්න ඕන මුදල් හම්බ කරන්න දේශපාලනය කරන අය පමණක් නො වෙයි. අපිත් වග කියන්න ඕන. අපි අපේ යුතුකම් හා වගකීම් ඉටු කරල තියෙනවා ද? ආණ්ඩුවේ වියදමෙන් දුරකතන පණිවුඩයක්වත් නොගත් කී දෙනකු රජයේ සේවයේ හිටියා ද ඉන්නවා ද? කඩදහි කොළයක් පෑනක් ගෙදර ගෙනිච්චෙ නැති අය කවුද? දේශපාලනඥයන්ගේ ගැහිලි සමග සංසන්දනය කරන විට ඒවා ඉත් සුළු දේ. ඒත් අපි ඉගෙන ගත්තෙ චෙතනාව කර්මය කියායි. ඒක කියල තියෙන්නෙ භික්‍ෂුන් වහන්සේට බව ඇත්ත. ඒත් ගිහියන්ට වෙන ම කර්මයක් නැහැ. මා හාමුදුරුවරුන්ගෙ චේතනා ගැන කියන්නෙ නැහැ. අපට සසර කළකිරිලා යන්න තැනක් නැහැ. 


ථෙරවාද රටවල් පහෙන් හතරක් ම ලංකාව, මියන්මා, කාම්බෝජය, ලාඕස් කර කියා ගන්න දෙයක් නැතිව සෙක්කුව වටේ කරකැවෙනවා. සෙක්කුව ගැලෙවුවත් අපි ඒ වටේ ම කරකැවෙනවා. තායිලන්තය විමුක්තිය හොයන්න වෙන මාවතක ගිහින්. සිංහල බෞද්ධ පිරිමිත් විමුක්තිය හොයන්න තායිලන්තෙ යනවා. තායි සරණං ගච්ඡාමි. ථෙරවාදය ඉතා වටිනා ධර්මයක්. මා හිතන්නේ නැහැ අප අටුවාව එලෙස ම පිළිගන්න ඕන කියා. මගේ ථෙරවාදය බොහෝ බෞද්ධයන්ගේ ථෙරවාදයෙන් වෙනස්. ඉතා කෙටියෙන් කියනවා නම් බුදුහාමුදුරුවො දේශනා කළෙ දැනුමක් නොව නොදැනුමක්.  අප එය දැනුමක් කරගෙන. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවො තමයි පළමු නොදැනුම්කරු. උන්වහන්සේ අඤ්ඤා වුණෙ ඒක නිසා. කොණ්ඩඤ්ඤ කියන්නෙ ඤාණයෙ මුදුන. ඒ මුදුන  අඤ්ඤා වුණා.   ඒත් බොහෝ ථෙරවාද බෞද්ධයන් කියන්නෙ අඤ්ඤා කියන්නේ සුවිශේෂ දැනුමක් ඇත්තා කියා. මට කියන්න තියෙන්නෙ අනේ මගේ කට නොවෙයි. අනේ මගේ දැනුම කියා.


අපට අවශ්‍ය ඊනියා සත්‍යයක් දැන ගන්න නො වෙයි. නිවන සම්මාබෝධය සඳහා වැඩ කරන මගක් හොයා ගන්න එක. ආර්යාෂ්ඨාංගික මාර්ගය කියන්නෙ ඒකට. එයත් දෘෂ්ටියක් තමයි. එය සම්‍යක් දෘෂ්ටිය. සම්‍යක් කියන්නෙ නිවැරදි කියන එක නොවෙයි. නිවැරදි කතා තියෙන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ. සම්‍යයක් කියන එකෙන් මා හිතන්නෙ නිවන සම්බන්ධයෙන් වැඩ කරන බව කියැවෙනවා කියලා. නිවන සම්මාබෝධයේ දි ඒ දෘෂ්ටියත් අත්හරිනවා. අර පාරුව විසි කරනවා වගේ. 


සත්‍යයක් කියා එකක් තියෙනවා කියන අය තමයි බටහිර විද්‍යාවෙන් සත්‍යය සොයන්න යන්නෙ. ඔවුන් කොහොම බෞද්ධයන් වෙනවා ද කියා මා දන්නෙ නැහැ. අප ඉන්නෙ බොරුවක. ඒ බොරුව බොරුවක් බව මනසින් තොරව දැකීම තමයි නිවන. මගේ අවාසනාවකට මට බොරුව බොරුවක් බව දැනෙන්නෙ මනසින්. ඒ මනසත් බොරුවක් බව මා එකී බොරු මනසින් ම දන්නවා. සියල්ල බොරු කියන එකෙන් සත්‍යයක් ද තියෙන්න ඕන කියල නිගමනය වෙන්නෙ නැහැ. ඒ අර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ ද්වයංගි (binary) කතාව අනුව. මෙහි දී ද්වෛත (duality) කියන එකත් වැදගත්. නිවන ඊනියා සත්‍යයක් නො වෙයි. ඒ බොරුවෙන් ගැලවීමයි.


ඒ නිවන ගැන. අප නිවන් සම්මාබෝධය ලබන තෙක් (එයට සෑහෙන කාලයක් ගතවේවි. කාලය කියන එකත් අපේ නිර්මාණයක්) දැනට මේ ලෝකයේ වැඩ කරන ක්‍රමයක් හොයා ගන්න ඕන. අපට නැත්තෙ ඒ ක්‍රමයයි. අපි දෙබිඩ්ඩො. අපි විිද්‍යාත්මක බෞද්ධ දෙබිඩ්ඩො. අපට බෞද්ධයන් ලෙස බටහිර විද්‍යාව යොදා ගන්න පුළුවන්. ඒත් එය ඊනියා සත්‍යය සොයා යන්නක් ලෙස සලකල එහි ආධිපත්‍යය පිළිගැනීමෙන් නො වෙයි. අපට පරිගණක දුරකථන රථවාහන රූපවාහිනිය හෙවත් පචවාහිනිය ආදිය යොදා ගන්න පුළුවන්. ඒකෙන් රූපවලට වඩා පච වෑහෙනවා. අධිවේගි මාර්ගවල යන්නත් පුළුවන්. එහෙම නොවන අයත් ඉන්නවා ද? මා නම් ඒ හැම එකක් ම යොදා ගන්නවා. එය අද ඊයේ කරන එකක් නොවෙයි. මගේ ලෝකය ලියන කාලයෙත් අධිවේගි මාර්ග හැර අනෙක් දේ යොදා ගත්තා. එකල මහින්ද බලයේ හිටියේ නැහැ. පඬි නැට්ටකු කියයි ඔන්න  රාජපක්‍ෂලාට කඩේ යනවා කියා. 


අප ඉංගිරිසින්ගෙ සුරතලුන් වුණා. අප කිවුවත් මෙරට ප්‍රභූන්. මෙරට ප්‍රභූ පාසල් ලෝකයේ කොහේවත් නැති ආකාරයට අනුකාරකයන් පිරිසක් බිහි කිරීමට සමත් වුණා. ඒ විශේෂයෙන් ම සිංහලයන් අතර. එහෙත් ඉංගිරිසින් සිංහල ප්‍රභූන්ට වඩා දෙමළ ප්‍රභූන්ට සැලකුවා. විශේෂයෙන් ම පොන්නම්බලම් කුමාරස්වාමි පවුලට සැලකිලි ලැබුණා. ඔවුන් ලන්දේසි කාලයෙ මෙරටට ගෙනා පිරිස්වලින් පැවත එන්නන්. ලන්දේසි තෝම්බු තවමත් රාජ්‍ය ලේඛනාගාරයෙ තියෙනවා නම් ඒ විස්තර දැන ගන්න පුළුවන්. ඔවුන් ලන්දේසි කාලෙ රෙපරමාදු. ඉංගිරිසින්ගෙ කාලෙ ඇංග්ලිකන්. දෙමළ සමාජයේ නායකයන් වීම සඳහා හින්දු.  ඔවුන් කොහොමටත් වෙල්ලාල. 


සිංහල සමාජයෙත් මෙවැන්නන් හිටියා. ප්‍රසිද්ධ සේරම්වරු සිංහල නො වෙයි. ඔවුන්ට ඇත්තෙ බර්ගර් මැලේ සම්භවයක්. ඔවුන් ගොයිගමත් වෙලා! ගොයිගම කුලයට වැදගත් කමක් ලැබී ඇත්තෙ ලන්දේසින්ගෙන් පසුව. ඉංගිරිසින් එය තවත් වර්ධනය කෙළේ බෙදා පාලනය කිරීමේ කප්පිත්තන් ලෙස. ගොයිගම කුලයට බ්‍රාහ්මණයන් හා තවත් අය එකතු වෙලා. බණ්ඩාරනායකලාත් ඉන්දියාවෙන් පැමිණ ගොයිගම වූ අය. මේ බොහෝ පවුල්වල ඉතිහාසය ජේම්ස් රත්නම්ගෙ පොතපත කියවල දැන ගන්න පුළුවන්. සේනානායකලාත් මුල දි ඇංග්ලිකන්. පසුව ඔවුන්ද, බණ්ඩාරනායකලා ද ජයවර්ධනලා ද සිංහල බෞද්ධ ගොයිගම වෙලා. සියම් නිකාය මුලදි ගොයිගම අයට පමණක් සීමා වුණෙ නැහැ. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ළඟින් ම හිටියෙ ඊනියා අඩුකුල කියන බෙරවා කුලයට අයත් හාමුදුරු නමක්. තිස්ස කාරියවසම් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධනය කියවන්න. 


ඉංගිරිසින් නිසා තමයි ඔය කියන අය සමාජයේ උඩට ආවෙ. ඒ අය එක්කො රාජකීය විද්‍යාලෙ නැත්නම් ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගත් අය. සේරම්ලා ක්‍රිකටි ක්‍රීඩා කළ කාලෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුළුමනින් ම වගේ සෑදුණෙ රාජකීය ශාන්ත තෝමස් ආදි සිසුන්ගෙන්. ඉංගිරිසින් තම පාසල් මගින් අනුකාරක නායකයන් පිරිසක් බිහි කෙරුවා. ධර්මපාලතුමාත් ඒ පාසල් දෙකේම ඉගෙන ගත් අයෙක්. එතුමා අර නායකයන් හැඳින්නුවෙ කළු සූද්දන් ලෙස. ඉංගිරිසින් ධර්මපාලතුමා හැර මේ නායකයන් කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවා. ඔවුන් අපට විශ්වවිද්‍යාලයක් දුන්නෙ නැහැ. එහෙත් කාටත් පෙර සර්වජන ඡන්දය දුන්නා. ඒ අතර සියල්ලන් ම එකතු වී ධර්මපාලතුමා ඉන්දියාවට යැවුවා.


ඉංගිරිසින් ඉන්දියාවෙ හා අනෙක් රටවල විශ්වවිිිද්‍යාල පිහිටෙවුවෙ ඔවුන්ට අවශ්‍ය නායකයන් බිහි කරන්න. එහෙත් ලංකාවෙ එය අවශ්‍ය වුණෙ නැහැ. නායකයන් පාසල්වලින් ම බිහි කෙරුණා. රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව විද්‍යාල තමයි ඉංගිරිසින් ඇතිකල ඈංග්ලිකන් සංස්කෘතියෙ පාසල්. ඊට කලින් මෙතෝදිස්ත රිච්මන්ඩ් වැනි පාසල් තිබුණා. ඊට පස්සෙ කතෝලික ශාන්ත ජෝසෆ් විද්‍යාලය පිහිටෙවුවා. මේ සම්ප්‍රදාය වෙනස් කිරීමේ වුවමනාව තිබුණත් අපට එය කර ගන්න බැරීි වුණා. බෞද්ධයකු නොවූ ඕල්කට්තුමා බෞද්ධ රාජකීය විද්‍යාලයක් ආනන්ද නමින් පිහිටෙවුවා. ඊට කාලෙකට පස්සෙ කන්නංගර මහතා අර පාසල් සියල්ල අනුකරණය කරන මධ්‍ය මහා විද්‍යාල පිහිටෙවුවා. කල් යෑමේ දී පිරිචෙන් ද ඒ සම්ප්‍රදාය අනුගමනය කළා. 


මට ද්විතීයික අධ්‍යාපනය මුළුමනින් ම ලැබුණෙ රාජකීය විද්‍යාලයෙන්. මා වැඩිමහල් පුතා රාජකීය විදුහලට ඇතුළත් කිරීමට ඉල්ලුම් පත එවුවෙ මහනුවර වටපුළුවෙ ලිපිනයකින්. හැතැප්ම හැත්තෑපහක පමණ දුරකින්.  කිසි ප්‍රශ්නයක් නැතිව ඔහු ඇතුළත් කර ගත්තා. මා හිතනවා මා දක්‍ෂ ශිෂ්‍යයකු ව හිටියා කියා. පසු කාලයක පඬි නැට්ටන් මගෙන් ඇහුව පුතාලා රාජකීය විදුහලට යවන එක ජාතික චින්තනයට එකඟ ද කියා. අමරසේකර රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයකු ව නොසිටියත් කිසිම පඬි නැට්ටකු ඔහුගෙන් ඒ ප්‍රශ්නය ඇහුවෙ නැහැ. 


අර ළමයි පිටරට ඉගෙන ගන්නව ද කියන ප්‍රශ්නයත් කිසිවකු පචවාහිනි නිවේදිකාවක්වත් ඔහුගෙන් ඇසුවෙ නැහැ. මගේ දරුවන් සියල්ලන් ම මෙරට ප්‍රථම උපාධි ලබාගත්තත් ඔවුන් පන්න පන්නා ප්‍රශ්න ඇසුවෙ මගෙනුයි. ඔවුන්ට අවශ්‍ය මගේ ප්‍රතිරූපය බිඳ දැමීමට. ඒත් බිඳින්න තරම් ප්‍රතිරූපයක් මට නැහැ. මා පඬි නැට්ටන්ට කිවුවෙ මා දරුවන් යැවුවෙ හොඳ ම අනුකාරක පාසලට කියා. හොඳ ම අනුකාරක පාසලට පුතා ඇතුළත් කිරීමට අවස්ථාව ලැබී තිබියදිත් රාජකීය විදුහල අනුකරණය කරන තුන්වැනි ගණයේ අනුකාරක පාසලකට ඇතුළත් කරන්නේ අහවල් දේකට ද? අද ලංකාවේ සියලු පාසල් අනුකරණය කරන්නේ රාජකීය සම්ප්‍රදාය. තම තමන්ට පුළුවන් විධියට ඔවුන් ඒ සම්ප්‍රදාය අනුකරණය කරනවා. අද බිග් මැච් නැත්තෙ කොහෙ ද? 


මා ඒ ටික කිවුවෙ අද ලංකාවෙ තත්වය ගමන යමක් ප්‍රකාශ කිරීමට. ඉංගිරිසින් තමන්ට අවශ්‍ය නායකයන් පාසල්වලින් ම බිහි කරගත් බැවින් මෙරට විශ්වවිිද්‍යාලයක් පිහිටුවීමට ඔවුන්ට අවශ්‍ය වුණෙ නැහැ. ඊනියා බෞද්ධ පාසල්වලින් බිහිවූයෙත් ඉංගිරිසින්ට අවශ්‍ය නායකයන්. ඔවුන් සමහරකු ඊනියා වාමාංශිකයන් වෙන්න ඇති. එහෙත් ඔවුනුත් ඉංගිරිසින්ගෙ වාමාංශය. කොල්වින් ආර් ද සිල්වා රාජකීය විද්‍යාලයෙ ඉගෙන ගත් අතර ලෙස්ලි ගුණවර්ධන ශාන්ත තෝමස් විද්‍යාලයෙ ඉගෙන ගත්ත. එන් එම් පෙරේරා ශාන්ත තෝමස් විදුහලෙත් ආනන්ද විදුහලෙත් ඉගෙන ගත්තා. ඔවුන් සහෝදර මහත්තුරු. අද මධ්‍ය මහා විද්‍යාලවලින් බිහිවෙන්නෙත් ඉංගිරිසින්ට අවශ්‍ය නායකයන්. අපේ සම්ප්‍රදාය කුණු බිත්තර සම්ප්‍රදාය බව රනිල්දාස ඊයෙ පෙරේදාත් අත් දැකල තියෙනවා. සිංහලයන් කුණු බිත්තර ගහන්නෙ කවදා ඉඳන් ද? සේරම්ලා ක්‍රීඩා කළ ක්‍රිකට් ම තමයි අර්ජුන රණතුංග ක්‍රීඩා කෙළෙත් සනත් ජයසූරිය ක්‍රීඩා කෙළෙත්. 


ඉංගිරිසින් මෙරට නායකයන් කෙරෙහි කෙතරම් විශ්වාසයක් තැබුව ද කියනව නම් ඔවුන් අපට වෙන කාටත් කලින් සර්වජන ඡන්දය ලබා දුන්න. ඒ නායකයන් පත් වුණත් තමන්ට කරදරයක් වෙන්නෙ නැති බව ඉංගිරිසින් දැන සිටියා. විශ්ව විද්‍යාලයකුත් නැතුව සර්වජන ඡන්දය ලබා දීම ගැන හිතල බලන්න. හිතන්න එපා ආර් ප්‍රේමදාසවත් විජේවීරවත් මේ සම්ප්‍රදායෙන් වෙනස් වුණා කියා. මේ සමග ඇති ඡායාරූපය බලන්න. විජේවීර අම්බලන්ගොඩ ධර්මාශෝකෙ ඉගෙන ගත්තෙ. ප්‍රේමදාස කොහෙ ඉගෙන ගත්ත ද දන්නෙ නැහැ. ඒත් ශාන්ත ජෝසෆ් විද්‍යාලයෙ ක්‍රිඩාංගනාගාරය නම්කරල තියෙන්න ඔහුගෙ නමින්. කාදිනල්තුමා ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා ද? අද හැම තැනම තියෙන්නෙ එක ම මහේශාක්‍ය කුණු බිත්තර සම්ප්‍රදාය.  (මතු සම්බන්ධයි)