Main Logo

Sunday, 23 January 2022

කිසිදා ඇති නොවන සමසමාජය

 

                                   කිසිදා ඇති නොවන සමසමාජය

 

මේ ලිපිය තරමක් ප්‍රමාදයි. විවිධ කාලීන කරුණු ගැන ලිපි ලිවීමට සිදු  වූ බැවින් වමක් නැති වමාලා ගැන ලිපිය ප්‍රමාද වුණා. මෙය පසුගිය දෙසැම්බර් 10 වැනි දා, නොවැම්බර් 24 වැනි දා හා අදාළ ලිපි සමග සම්බන්ධයි. වමක් නැති වමාලා වැඩක් ඇතැයි සිතන වැඩක් නැති අය ද වෙනවා. සකර්බර්ග් අනාථ කඳවුරේ මේ වැඩක් නැතිව කුරුටු ගාන වමාලා දැක ගත හැකියි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වන ඔවුන් බයියන් ටොයියන් සහ තවත් අය අතර දැක ගන්න පුළුවන්. සකර්බර්ග් නැත්නම් මොවුන් ගැන කිසිවකුට මතකක් නැති වෙන්න තිබුණා.

 

අප ජීවත්වන්නේ විෂම සමාජයක. ඇති නැති පරතරය ඉතා ඉහළයි.  එදත් අදත් ලෝකයේ බොහෝ රටවල එසේමයි. ලන්ඩනයේ උමං දුම්රියපොළවල හා තවත් තැන්වලත් එක්සත් ජනපදවල විවිධ ප්‍රදේශවලත් හිසට වහළක් නැති අය දැක ගන්න පුළුවන්. ඔවුන් මේ හීතල දුරුත්ත ගෙවන්නේ ඉතා අමාරුවෙන්. බටහිර වැඩවසම් ක්‍රමයෙන් ධනපති ක්‍රමයට නිෂ්පාදනය මාරු වුණත් ඇති නැති පරතරය අඩු වෙලා නැහැ.

 

ලංකාවේ ඊනියා වැඩවසම් ක්‍රමයක් තිබුණේ නැහැ. එසේ තිබුණු බව දකින්නේ වමක් නැති වමාලා පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. ඔවුන් අඩුම තරමින් මාක්ස් ආසියාතික නිෂ්පාදන මාතය ගැන ලියා ඇති දේවත් කියවා ඇති බවක් පේන්නෙ නැහැ. මෙරට තිබූ නිෂ්පාදන ක්‍රමය මාක්ස්ගේ ආසියාතික නිෂ්පාදන මාතයටවත් අයිති වෙන්නේ නැහැ. අපේ තිබුණු රාජකාරි ක්‍රමය හා නිෂ්පාදන මාතවල අයිතිය ගැන නිසි අධ්‍යයනයක් කෙරී නැහැ. අද බොහෝ දෙනාට නාමික ව හරි මෙරට පාලකයන් අයිතිකාරයන් නැති බවත් ඇත්තේ භාරකාරයන් පමණක් බවත් මතක් වෙලා. ඉඩම් අයිතිය කියා දෙයක් මෙරට තිබුණේ නැහැ. ඉඩම් භාරකාරත්වය රජුට තිබුණා. රජු සුදුසු පරිදි පන්සල්වලට ගොවීන්ට ඒ ඉඩම්වල භාරකාරීත්වය පැවරුවා.

 

දැනට අවුරුදු හැට හැත්තෑවකට පමණ පෙරත් සිංහලයන්ට ඉඩම් අයිතිය කියා දෙයක හැඟීමක් තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන්  නොවූවත් මා හිතන විධියට ගුණදාස අමරසේකර ලියා ඇති එක ම නාට්‍යයෙන් මේ අයිතියක් නැති බව කියැවෙනවා. මැතක් වන තුරු සිංහලයන් ඕනෑම ඉඩමක් හරහා ගමන් කෙළේ එය අයිති කාට ද යන්නක් ගැන කිසිදු හැඟීමක් නැතුව. අර 1921 පිහිටු වූ ලන්ඩන් උපාධි කඩේට යාපනයෙන් පැමිණි අය සිංහලයන් කොළඹත් තම ඉඩම් වටා වැටක්වත් බැඳ නොතිබීම පිළිබඳ පුදුමයට පත් වූ බව සඳහන් ලිපි මා  කියවා තියෙනවා. මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා. මා කියන දේ පඬි නැට්ටන්ට පිළිගන්න බැරි නම් ආච්චිල සීයලගෙන වැටවල් බැඳීම ගැන අහන්න. යාපනයේ තිබූ තල්වැට සිංහලයන් පොල්අතුවලින්වත් බැන්දේ නැහැ. වත්මන් අයිතිය යන සංකල්පය සිංහලයන්ට නුහුරු එකක් වුණා.

 

ඒ එදා. අද බොහෝ ඉඩම්, පර්චස් අටේ කෑලිත් තාප්පවලින් ආරක්‍ෂා වෙලා. අපේ ගේ වටේත් තාප්ප බැඳ තියෙනවා. එහෙත් මා හමුවීමට එක් දවසක් පමණක් පැමිණ ඇති සර්පයකු කියා ඇති අන්දමට අඩි දොළහේ තාප්පයක් නම් බැඳ නැහැ. තාප්පය අඩි හතරක් පමණ උස ඇති. සර්පයා බැලුවේ ඒ කරුණෙනුත් මා දෂ්ට කිරීමටයි. ඔහුත් ඊනියා වමෙක්. සියළු වමාලාගේ වෛරයට පාත්‍ර වීම ගැන මට ඇත්තේ නොමඳ සතුටක්. සර්පයා ඊර්ෂ්‍යාවෙන් මුසපත් ව බඩගෑමට අඩි දොළහේ තාප්ප හොයනවා. මේ පඬි නැට්ටන් ජීවත් වන්නේ වචනවල බැවින් ඔවුන්ට වචනවලින් කියැවෙන්න තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න වුවමනාවකුත් නැහැ. කවුරු හරි අර මූලධර්ම යමකු නිර්වර්චනය කරන්නේ යැයි කියන වෙළෙඳ දැන්වීම තේරුම් අරගෙන තියෙනවා ද? මට නම් ඒ සිංහල වැකිය තේරෙන්නේ නැහැ. ඒ දැන්වීම සිංහලෙන් ලියූ පඬියාත් සකර්බර්ග් අනාථයන්  වගේ ම වචනවලින් එහාට යන්නෙ නැති සිංහලත් ඉංගිරිසිත් නොතේරෙන අයෙක්.

 

මා කියන්නේ නැහැ මෙරට පැරණි සමාජයේ ඇති නැති පරතරයක් තිබුණේ නැහැ කියා. එහෙත් අනුරාධපුරයේ මාළිගා දකින්න නැහැ. විජයබා රජුගේ මාළිගාව කියන එකක් නම් දකින්න පුළුවන්. පොළොන්නරු යුගයේ සොළි බලපෑමෙන් පසු අපට විච්චූරණ  පුරුදු වෙන්න පටන් ගත්තා. අපේ සරල ප්‍රෞඪ සංස්කෘතිය පළුදු වෙන්න පටන් ගත්තා. එහෙත් නුවර යුගයේදීවත් එය නැති වුණේ නැහැ. අප දන්නේ සද්ධාතිස්ස රජු ගමනක් ගොස් ආපසු පැමිණි විට ධර්ම ශාලාවේ ඉඩ නැතිව ගල්පොත්තක වාඩි වී බණ ඇසූ බවයි.

 

බටහිරයන් අප සංස්කෘතිය උඩු යටි කරන්න බැලුවා. සෑම අතින් ම ඇති නැති පරතරය වැඩි සමාජයකට  පදනම දැමුවා. අද ඇත්තේ ඇති නැති පරතරය ඉතා වැඩි සමාජයක්. මේ සමාජයේ ජීවත්වන ඇතැමුනට මේ ඇති නැති පරතරය නැති කරන්න හිතෙනවා. ඒ දෙආකාරයකින්. එක් කොටසක් සමාජයේ ඇති අසාධාරණය නැති කිරීමේ වුවමනාවෙන් එයට එළඹෙනවා. තවත් සමහරු ඇති අය කෙරෙහි  උපන් ඊර්ෂ්‍යාවෙන ද්වේෂයෙන් ඇති නැති පරතරය සමතලා කරන්න හදනවා. ඒ අයට ඇතැම් විට කුල ප්‍රශ්න තම දෙමවුපියන්ගේ සමාජ තත්වය පිළිබඳ ප්‍රශ්න ආදිය නිසා සමාජය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ද්වේෂයක් ඇති වෙනවා. විජේවීර වටා එකතු වූ අයගෙන් අතිවිශාල බහුතරය මේ ඊර්ෂ්‍යාකාරයන්, වෛරක්කාරයන්.

 

ඇති නැති පරතරය මුළුමනින් ම නැති කරන්න කිසිම සමාජයකට බැහැ. එයට හේතුව මිනිසුන් පෘථග්ජනයන් වීමයි. රාග ද්වේෂ මෝහයෙන් පිරි ජනතාවක සමාජයක් සමසමාජයක් සමබිමක් කරන්න බැහැ. අර ඊර්ෂ්‍යාව ද්වේෂය නිසා ඇති නැති පරතරය නැති කරන්න උත්සාහ කරන අය යම්කිසි ආකාරයකින් බලයට පත් වුවහොත් ඔවුන් තමයි සමාජයේ ඉහළ ම වරප්‍රසාද භූක්ති විදින්නන් බව පත් වන්නෙ. 

 

විසිවැනි සියවසේ මුල එංගලන්තයට අධ්‍යාපනය (අධ්‍යාපනය හැදෑරීමට නො වෙයි. ඒ පඬි නැට්ටන්ගේ කතාවක්) සඳහා ගිය බොහෝ අය මෙරට සමාජයේ අසාධාරණයකට ලක් වූ අය නො වෙයි. නිදහස් අධ්‍යාපනයක් නොතිබු එකල ශිෂ්‍යත්වලාභියකු හැරෙන්න අනෙක් අය ප්‍රභූ පාසල්වල ඉගෙන ගත්තේ තම දෙමවුපියන්ගේ මුදලින්. ඔවුන් ඇති නැති කෝදුවේ ඇති පැත්තේ ඉහළින් සිටි අය. පිලිප් ගුණවර්ධන හැරෙන්න අනෙක් බොහෝ අය සමාජ අසාධාරණය අත්දැක්කේ එංගලන්තයේ දී. සමාජ අසාධරණ ප්‍රශ්නය විසඳීමට ඊනියා ක්‍රමයක් කියා දුන් මාක්ස්වාදයට ඔවුන්ගේ සිත් ඇදී ගියා. පිලිප් ගුණවර්ධන නම් ඉංගිරිසි යටත්විජ්තවාදයේ  රඟ මෙරට දී ම දුටු කෙනෙක්.

 

මේ මාක්ස්වාදීන් බොහෝ දෙනකුට ට ජාතිකත්වයක් තිබුණේ නැහැ. මා හිතන්නෙ නැහැ පොදුවේ ගත්කල ඔවුන් 1915 දී අත්අඩංගුවට ගනු ලැබූ සිංහල බෞද්ධ නායකයන්ගේ දරුවන් කියා. ඒ අත්අඩංගුවට ගනු ලැබූ නායකයන්ට තිබුණේ සමාජ අසාධාරණය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. ඔවුනුත් ඇති නැති කෝදුවේ ඇති කෙළවරේ සිටි අය. ඔවුන්ට තිබුණේ බුුදුදහමට කළ නිග්‍රහ පිළිබඳ කැක්කුමක් පමණයි.

 

ඒ මාක්ස්වාදී වම ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමෙන් පසු නැති වුණා. අද ඉන්නා වමාලා වමක් නැතිව විවිධ විලාසිතා පස්සෙ ගිය අය. ඔවුන් ගැන ඉදිරියේ දී කතා කරමු. ඒ හුදෙක් දැන ගැනීම සඳහා පමණයි. ඔවුන්ට සමාජයට කළ හැකි බලපෑමක් නැහැ. සකර්බර්ග් අනාථ කඳවුරේ ජීවත්වන ඔවුන් රනිල්දාසගේ, බැරිම නම් ක්වොන්ටම් ජාගොඩගේ පක්‍ෂයේවත් එල්ලෙන්න හදනවා. අද වන විට එක්ස් කණ්ඩායම පශ්චාත්නූතනවාදීන් පශ්චාත්මාක්ස්වාදීන් නැත්තට ම නැති වී ගිහින්.