තෛපොංගල් හා අවුරුද්ද
අද තෛපොංගල්. මෙය දෙමළ හින්දු උත්සවයක්. බොහෝ
කරුණු සම්බන්ධයෙන් මෙන් ම තෛපොංගල් සම්බන්ධයෙන් ද විවිධ මත තියෙනවා. ඇතැමුන්
කියන්නේ අද තමයි දෙමළ හින්දු අවුරුද්ද පටන් ගන්න දවස කියා. එය එහෙම වෙන්නත්
පුළුවන්. එහෙත් තවත් අය කියන්නේ දෙමළ හින්දු අවුරුද්ද අප්‍රේල් මස 14
වැනි දා හෝ ඒ ආසන්නයේ හෝ ඇරඹෙන බව. ලංකාවේ එය එතරම් ප්‍රශ්නයක් යැයි මා හිතන්නේ
නැහැ. එහෙත් තමිල්නාඩුවේ එය විශාල දේශපාලන ප්‍රශ්නයක් වුණා.
මේ උත්සවයත් සූර්යයා හා සම්බන්ධයි. දෙමළ ජනයා
කලක සිට සූර්ය වන්දනාවේ යෙදෙනවා. ඔවුන් හින්දු වීමටත් පෙර එය තියෙන්න ඇති කියා
හිතනවා. හින්දු ආගම ඇතිවුණේ හයවැනි සියවසේ ශංකරාචාර්යතුමාගෙන් පස්සෙ. එතුමා කේරළයේ
උපන් අයෙක්. එතුමාට වෛදිකයන් පහර දුන්නා වෙස්වළාගත් බෞද්ධයකු කියා. මා හිතන විධියට
එතුමා වෛදික, ජෛන හා බෞද්ධ මත එකතු කර අලුත් ආගමක් හැදුවා.
හින්දු ආගම මුලින්ම කේරළයේ ඇති වුණෙ. එය පසුව වත්මන් තමිල්නාඩුවටත් ඉන්දියාවේ සෙසු
ප්‍රදේශවලටත් පැතිරී ගියා. හින්දු ආගමේ වෛදික කොටස ප්‍රධානයි. බිලි පූජා පැවැත්වූ
වෛදිකයන් ඉන් මුදා ගත්තේ ජෛන හා බෞද්ධ ආභාසය ලැබූ ශංකරාචාර්යතුමා. එත් අදත් මෙරටත්
ඇතැම් කෝවිල්වල බිලි පූජා පැවැත්වෙනවා. කරුණු කියා ශංකරාචාර්යතුමා ගැනත් කියා මෙරට
බිලි පූජා නවත්වාගත හැකි නම් එය වැදගත් වෙනවා.
බොහෝ රටවල සූර්ය වන්දනාව කෙරෙනවා. සිංහල
බෞද්ධයන් එසේ වන්දනා කරන්නේ නැහැ. එහෙත් සිංහලයන්ට හිරූ සඳු දෙදෙනා ම වැදගත්.
අවුරුද්ද කියන සංකල්පය හිරුගේ ගමනත් සමග බැඳී තියෙනවා. ඛගෝලය (celestial sphere)
නමින් හැඳින්වෙන හිස් ගෝලයක (දුක්ඛ
කියන එකෙත් ඛ යන්නෙන් කියැවෙන්නෙ හිස් බව, දුක්ඛ කියන්නෙ අයහපත් හිස් බව) හිරු ක්‍රාන්ති වලයය (ecliptic) නමින් හැඳින්වෙන වක්‍රයක් දිගේ වාර්ෂික ගමනක
යෙදෙනවා. ඒ දෛනික ගමනට අමතරවයි. දෛනික ගමන නිසා අපට දවස කියන සංකල්පය ලැබී
තියෙනවා. ක්‍රාන්ති වලයය දිගේ ගමන නිසා අපට අවුරුද්ද කියන සංකල්පය ලැබෙනවා.
ඒත් එක් එක් සංස්කෘතියෙහි අවුරුද්දක් යනු කුමක්
ද යන්න විවිධ ආකාරයෙන් අර්ථ දැක්වෙනවා. පොළොව ඈත පිහිටි තාරකාවලට සාපේක්‍ෂව තම අක්‍ෂය
වටා භ්‍රමණය වෙනවා. එහෙම නැත්නම් ඈත පිහිටි තාරකා පොළොව වටා භ්‍රමණය වෙනවා. පොළොව
තම අක්‍ෂය වටා භ්‍රමණය වන්නේ එක් රූපයක දැක්වෙන පරිදි බඹරයක් මෙන්. ඒ කියන්නේ අක්‍ෂය
ද ඇත පිහිටි තාරකාවලට සාපේක්‍ෂව අචල ව පිහිටි අක්‍ෂයක් වටා කරකැවෙමින්. මේ හේතුව
නිසා අර ඛගෝලයෙහි පොළොවේ සමකය ප්‍රක්‍ෂෙපණය
කිරීමෙන් ලැබෙන ඛගෝල සමකය හා ක්‍රාන්ති වලයය ඡෙදනය වන ලක්‍ෂ්‍ය වෙනස්
වෙනවා. මේ ලක්‍ෂ්‍යය ග්‍රීක හෝඩියේ ගැමා
අක්‍ෂරයෙන් දැක්වෙනවා. මේ සමග ඇති තවත් රූපයකින් මේ වෙනස්වීම දැක්වෙනවා. මේ වෙනස්වීම නිසා අපේ අවුරුද්ද ලබන දිනය
අවුරුදු 72කට පමණ එක් දිනයක් ඉදිරියට යනවා. කලකට පෙර
අවුරුද්ද අප්‍රේල් 12 වැනි දා ලබා තියෙනවා. තව ටික කලකින්
එය අප්‍රේල් 15 වැනි දා වේවි. සාමාන්‍ය අවුරුද්දකට දින 365.242190ක් වන අතර අපේ අවුරුද්දට දින 365.256363ක් තියෙනවා. මේ ගැන තවදුරටත් පසුව
විස්තර කරන්නම්. සිංහල අවුරුද්ද පොතෙත් එය
කියැවෙනවා.
ක්‍රාන්ති වලයයේ සූර්යයා දකුණට ගොස් ආපසු උතුරට
යෑම පටන් ගැනීම මා උත්තරායනය ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් උත්තරායනය කියන්නේ
සූර්යයා ඛගෝලයේ සමකය පසුකර උතුරට යෑම. අද සිදුවන්නේ මේ එකක්වත් නොවෙයි. සූර්යයා
ධනු රාශියෙන් මකරයට යෑම. මකරය දහවැනි රාශිය ලෙස ගැනෙනවා. ඒ මේෂ රාශිය පළමුවැනි
රාශිය ලෙස ගැනීමෙන්. දෙමළ හින්දු ජනයාගෙන් පිරිසක් තම දවුරුද්ද පටන් ගන්නේ සූර්යයා
මීනයෙන් මේෂයට යෑම ලෙස ගන්නවා. එය අප්‍රේල් 13,
14 දිනවල යෙදෙනවා. එදා සිට ගණන් බැලුවොත්
අද ආරම්භ වන්නේ දසවැනි මාසයයි. ඇතැමුන් කියන්නේ තෛ යන්නෙන් දහය කියැවෙනවා කියා.
පොංගල් යනු පළමු අස්වැන්න පූජා කිරීමයි. කෙසේ වෙතත් මෙය තෛ මාසය ලෙස
හැඳින්වෙනවා.
එහෙත් තමිල්නඩුවේ ඇතැමුන් අවුරුද්ද පටන් ගන්නා
දිනය ලෙස තෛපොංගල් දිනය සලකනවා. දැනට අවුරුදු කිහිපයකට පෙර ද්‍රවිඩ මුන්නේත්‍ර
කසාගම් පක්‍ෂය (DMK)
තෛපොංගල් දිනය අවුරුද්ද පටන් ගන්න දිනය
නීතිගත කෙරුවා. එහෙත් ඔවුන්ගේ පරාජයෙන්
පසු ඒ නීතිය අහෝසි කෙරුණා. අපේ අවුරුද්ද වගේ නොව මෙය අවුරුදු හැත්තෑ දෙකකට
වරක් දිනයකින් ඉදිරියට යන්නේ නැහැ. මෙය නිරායන හා සායන ක්‍රම අතර තියෙන වෙනසක්.
කෙසේ වෙතත් ඉංගිරිසින් අප්‍රේල් 13
වැනි දා නිවාඩු දිනයක් ලෙස මුලින් ම ප්‍රකාශ කර ඇත්තේ හින්දු අලුත් අවුරුද්ද ලෙස
මිස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නො වෙයි. ඒ කාලයේ සිංහල අවුරුද්දත් ඇතැම්
වසරක අප්‍රේල් 13 වැනි දාට යෙදීම නිසා පසුව ඉංගිරිසින් එය සිංහල
හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කර තිබෙන බව පේනවා. රොබට් නොක්ස් මෙරට සිටි
කාලයෙහි අවුරුද්ද පවත්වල තියෙන්නෙ ජුලියානු දින දර්ශනය අනුව මාර්තු 27, 28, 29 දිනවල නැත්නම් ග්‍රෙගරියානු දින දර්ශනය අනුව අප්‍රේල් 7, 8 ,9
දිනවල.
එක් එක් සංස්කෘතියෙහි අවුරුද්ද පටන් ගන්නා දිනය
වෙනස්. බුද්ධ වර්ෂය පටන් ගන්නේ වෙසක් පොහෝ දිනයෙහි. සිංහල අවුරුද්ද පටන් ගන්නේ බක්
මස අමාවක බව රොබෙයිරෝ නම් පෘතුගිසි හේවායා කියා තියෙනවා. ඔහුට අනුව ඒ
බුදුහමුදුරුවන් නාගදීපයට වැඩි දවස සිහිවීමට. දැන් නම් සියල්ලට ම වඩා වැදගත් බටහිර
ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙහි ජනේරුව.
කෙසේ වෙතත් අප දැන් ඉංගිරිසින් අනුව යමින්
සිංහල හා හින්දු අලුත් අවුරුදු පටලවා ගෙන ද?