Main Logo

Thursday 27 January 2022

මූලධර්ම පඬිනැට්ටන් නිර්වචනය කරනවා

 

මූලධර්ම පඬිනැට්ටන් නිර්වචනය කරනවා

 

සිංහලයන් කවියන්. ඒ පොදුවේ ගත්තම. ඕනෑම සභාවක රැස්වීමක කවි කියන විට අපි හොඳට අහගෙන ඉන්නවා. අපට කවි නැතිව බැරුව වගේ. දරු නැළවිලි හැම සංස්කෘතියක ම වගේ ඇති. දරුවන් නළවන්න අපට කවි ඕන. එදා ඉඳන් අපි කවියට පුරුදු වෙනවා. පැල් කවි, කරත්ත කවි, පාරු කවි, නෙළුම් කවි ආදී වශයෙන් අපි කවි කියනවා. කවි අහගෙන ඉන්නවා. අපේ කවි කියන්න මිසක් කියවන්න නො වෙයි. කවි කියවීම (රීඩින් පොයට්රි) කියන එක බටහිර අදහසක්. අපි කවි කියවන්න වෙලා අවුරුදු හැත්තෑවකට අඩුයි. මා එසේ කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ සමහර පීඨ පේරාදෙණියට ගෙන ගියේ පනස්දෙකේ හින්දා.

 

පේරාදෙණියෙන් තමයි කවි කියවන්න පුරුදු කෙළෙ. ඊට පස්සෙ කාටවත් ඇහෙන්නෙ නැතුව අපට ම හිතෙන් කවි කියවන්න පුරුදු කෙරුවා. කවිය හා ගීතය අතර වෙනස ඇහුවොත් කියාවි ගීත ගයන්න පුළුවන් කියලා. අපේ කවිත් ගයන්න පුළුවන්. ඔය දරු නැළවිලි පැල් කවි ආදිය කියවන ඒව නොවෙයි. කියන ඒවා. කියන්නෙ රිද්මයකට තාලයකට අනුව. දැන් ගේය පද කියල වර්ගයක් තියෙනවා. අපේ කවි ගේය පද තමයි. අපි ගද්‍යත් කියවනවට වඩා කියපු ජාතියක්. ජාතක පොත හැමෝට ම ඇහෙන්න කියන්නෙ කොහොම ද? ජාතක පොත කියෙව්වොත් කිසිවකු අහගෙන ඉන්න එකක් නැහැ. දැන් නම් අපි කිසිම රහක් නැති ප්‍රවෘත්තිත් අහගෙන ඉන්නවා.

 

මෙරට විශ්වවිිද්‍යාල කියන්නෙ අනුකාරක තෝතැනි. අප ලවා කවි කියෙව්වෙත් ඒ අනුකාරකයන් තමයි. මා කලිනුත් කියා ඇති අපේ හාමුදුරුවරුන්ගෙ පිරිත් අපේ කවි අනුව දේශනා කරන ඒවා. අද ඇතැම් හාමුදුරුවරු බණ කියන්නෙත් එක් එක් රිද්මවලට. මිනිසුන් වැඩියෙන් කැමති මොන විධියට බණ කියන හාමුදුරුවරුන්ගෙ බණ අහන්න ද? බුදු හාමුදුරුවන් ඒ විධියට බණ කියන්න එපා කියලත් ඇති. ඒත් අපේ සංස්කෘතියෙන් බිහිවුණු හාමුදුරුවරුන්ට එහෙම බණ නොකිය ඉන්න බැහැ. කවුරුන්වත් නිකමටවත් හිතල තියෙනවා ද බුදු හාමුදුරුවන් රතන සූත්‍රය වැනි පිරිත් දේශනා කෙළේ කොහොමද කියල. මා නම් හිතල තියෙනවා. ඒත් මට හිතාගන්න බැහැ. මා කවියකු නො වෙයි.

 

කවියා විසිරුණු අදහස් ඇත්තෙක්. සිංහලයන්ට සාමාන්‍යයෙන් තියෙන්නෙ විසිරුණු අදහස්. ඒ අපේ කවිත්වය නිසා. අපට වියුක්තව හිතන්න බැරිත් අපේ කවිත්වය නිසා වෙන්න ඕන. ඒ තමයි අපේ සංස්කෘතිය. ඇතැම් පඬි නැට්ටන් හිතන්නෙ අපි සංස්කෘතිය කියන්නෙ ඉතිහාසයට කියලා. සංස්කෘතිය  කියන්නෙ හැදියාව, වැඩීම. ඔය ඉංගිරිසියෙන් කල්චර් කියන එක වැඩීමටත් යොදා ගන්නවා. ඉංගිරිසි කියමන් වචන සිංහලට හරවන එකත් ප්‍රශ්නයක්.

 

භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරන්න භාෂා දෙක ම දැනගෙන ඉන්න ඕන. ඒත් අද එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය කියවන්න දැන ගැනීම පමණයි. Principles define a person යන්න සිංහලට පරිවර්තනය කරන්නෙ කොහොමද? මූලධර්ම පඬි නැට්ටකු නිර්වචනය කරයි යනුවෙන් ද? ගූගල් බලා කරන පරිවර්තනත් තියෙන්න පුළුවන්. ඒත් එවැනි පරිවර්තනවලින් කියන්නෙ මොකක් ද කියල හිතා ගන්න බැහැ.

 

පඬි නැට්ටන්ට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වචන පමණයි. කතා කරන්න ලියන්න වචන ඕන. තේරුමක් අවශ්‍ය නැහැ. සිංහලයන්ට විසිරුණු අදහස් තිබීම එයට රුකුළක් වෙන්න ඇති. මූල ධර්ම පඬි නැට්ටකු නිර්වචනය කරයි කිව්ව ම ඕන කෙනකුට ඕන දෙයක් කියැවෙන්න පුළුවන්. අදහස් නිශ්චිත වීම අපට ප්‍රශ්නයක්. අපට විද්‍යාඥයන් ගණිතඥයන් වෙන්න බැරි ඒ නිශ්චිත බව අපට නැති නිසා. මා නම් විද්‍යාඥයකු නොවෙයි. මා කවියකුත් නො වෙයි. ඉංගිරිසි define, principles කියන ඒවාට විවිධ අර්ථ තියෙනවා. ඒ සංදර්භය මත රඳා පවතිනවා.

 

අපට කුඩා කළ අවුරුදු දහහතරේ දී පමණ එක් ගුරුවරයකු define explanation, explain definition කිව්වා. ඒ අම්ලයක් නිර්වචනය කර ගන්න බැරි වූ පංතියකට. එය එක් පැත්තකින් අපට චක්‍රීය චින්තනය ඉගැන්නුවා. අනෙක් පැත්තෙන් ඒ ඒ අවස්ථාවේ දී define  යන්න නිශ්චිත ව යොදා ගන්න ආකාරය කියා දුන්නා. වචනවලට නිශ්චිත අර්ථ ලැබෙන්නේ සංදර්භයෙහි. එහෙත් කවියන් වූ සිංහලයන්ට නිශ්චිත අදහස් දිරව ගන්න අමාරුයි.

 

අප ගමනක් යන විට කාගෙන් හරි ඇහුවෙත් අහවල් තැනට කොච්චර දුර ද කියා අපට උත්තරයක් ලැබේවි තව පොඩ්ඩ දුරයි කියල. එහි කිසිම නිශ්චිතබවක් නැතුව විතරක් නො වෙයි. පොඩ්ඩ දුර කිලෝමීටර් දහයක් විතර වෙන්නත් පුළුවන්. ගූගල්ගෙන් ඇහුවොත් ගූගල් නිශ්චිත දුර කියයි. ඒත් ගූගල් සමහර විට අපට පාලම් කැඩුණු තැන්වලට යන්න කියාවි. සිංහලයන්ගෙ සංස්කෘතිය නැත්නම් හැදිච්චකම හැදියාව එකක්. ගූගල් නිර්මාණය කරපු අයගෙ හැදියාව තව එකක්. පඬි නැට්ටන් කල්චර් යන්න කටගාගෙන අපට සංස්කෘතිය ගැන කියා දෙන්න හැදුවට අපි අපේ හැදියාවට අනුව දන්නවා ඒ ඒ ආකාරයට හැදිච්ච අය ඒ ඒ විධියට හිතන බව. ඒ වගේ ම අපි දන්නවා අපේ හැදියාව ඉතිහාසයේ නොව වර්තමානයේ සිදුවන බවත්. අවාසනාවකට අද ඉන්නෙ කිසිම හැදිච්චකමකට නැති උගත්තු. ඔවුන් මූලධර්ම වලින් නිර්වචනය කෙරුණු නැහැදිච්ච පඬි නැට්ටන්. 

 

අද ලෝකයෙ ඇති වසංගතයට එක් එක් සංස්කෘතීන් මුහුණ දෙන්නෙ එක් එක් ආකාරයටයට. දහහත්වැනි සියවසේ වසංගතයක් නිවුටන්ට නිශ්චිත අදහස්වල වැදගත්කම කියා දුන්නා. වත්මන් වසංගතයෙන් අපට කියා දෙන්නෙ නිශ්චිත අදහස්වලින් පමණක් ගොඩ යන්න බැහැ කියන එක. අද බටහිරයන් පාලම් නැති කැඩුණු තැන්වලට ඇවිත් එතෙර වෙන්න බැරුව ඉන්නවා. අප තව පොඩ්ඩකින් වසංගතය ඉවර වෙයි කිය කිය ඉන්නවා. විසිරුණු අදහස්වලින් හරි නිශ්චිත අදහස්වලින් හරි පමණක් තවත් හැදෙන්න බැරි තැනකට ලෝකය ඇවිල්ලා. පඬි නැට්ටන් කියාවි මගේ වයසත් එක්ක මට කිසිවක් තේරුම් ගන්න බැරි වෙලා කියලා. මූලධර්ම පඬිනැට්ටන් නිර්වචනය කරනවා.