Main Logo

Friday 28 January 2022

පොළොව පළාගෙන යන්න හිතෙනවා

 

පොළොව පළාගෙන යන්න හිතෙනවා

 

දැනට අවුරුදු විස්සකට පමණ උඩ දි මා කැලණිය විශ්වවිද්‍යාලයට ගිය අලුත එහි එක් කථිකාචාර්යවරයකු මට කී කරුණක් මතක් වුණා. ඒ ඉඳහිට දැනුත් එවැනි කතා කියැවෙන නිසා. ඒ කථිකාචාර්යවරයා කියා සිටියේ ඔහු ගරු කරන්නේ සුචරිත ගම්ලත්ට හා මට කියා. මට පොළොව පළාගෙන යන්න හිතුනා. ඒ කථිකාචාර්යවරයා අවශ්‍ය ලකුණු එකතු කර ගත්තා නම් අද වන විට මහාචාර්යවරයකු වෙන්න පුළුවන්. අදත් ඇතමකු මා අහවලා සමග ගරුත්වයෙන් සලකනවා. ඊයේ පෙරේදාත් රුසියන් උපාධිධාරියකු සමග මා සම්බන්ධ කර එවැනි කතාවක් කෙරුණා. මේ අහවල්ලු හැම විටක ම ගරුත්වයෙන් සැලකෙනවා. මේ අහවල්ලු හැම විටක ම ඊනියා වාමාංශික අදහස් දරණ අය. කිසිවකු මා වමකු නොවන අයකුට සමාන යැයි කියන්නේ නැහැ. ඒ වගේ ම සංසන්දනය සිදුවන්නෙත් වාමාංශික කියන අදහස් දරන්නන් අතින්.

 

දැන් වාමාංශික අදහස් දරණ පඬි නැට්ටකුට හිතෙන්න පුළුවන් මට පොළොව පළාගෙන යන්න හිතුනෙ මොකද කියල.  දක්‍ෂිණාංශික අදහස් දරන පඬියන් පඬි පෝතකයන් එවැනි සංසන්දනයක් නොකරන්නෙ ඇයි ද කියන එක ප්‍රශ්නයක් නො වේ ද? මා හිතන්නෙ මෙරට දැනුම පිළිබඳ ව ඇති මත තමයි මේ කරුණුවලින් පැහැදිලි වෙන්නෙ කියා. අප කිසිවකු සියලු දැනුම් දන්නෙ නැහැ. යම් ක්‍ෂෙත්‍රයකවත් ඇති සියලු දැනුම් දන්නවා නම් ඒ සාමාන්‍යයෙන් එකල  ෆැකල්ටි ඔෆ් ඔරියන්ටල් ස්ටඩීස් නැත්නම් පෙරදිග අධ්‍යයන පීඨයේ විෂය ඉගෙන ගත් අය හා පිරිවෙන්වල ඉගෙන ගත් අය පමණක් වෙන්න ඕන. පෙරදිග අධ්‍යයන පීඨයේ ඉගෙන ගත් අය එකල හැඳින්වුණේ හරා කියලා. ඒ හරමානිස් යන්න කෙටිකර හදාගත් නමක්. එහෙත් හරමානිස් කියන්නෙ මා හිතන විධියට ලන්දේසි නමක්.

 

ලන්දේසින්ගෙ හර්මානුස් වෙන්න ඕන අපට හරමානිස් වුණෙ. එහි සම්භවය ලතින්. එයට සොල්දාදුවා හමුදා භටයා වැනි තේරුම් තියෙනවා. ඉංගිරිසියට එය හර්මන් වෙනවා. ඉංගිරිසි නම ගමට ගියේ නැහැ. එය නගරවල පමණක් භාවිතා වුණා. ගම්වලට හරමානිස් ගිහින් තිබුණ බැවින් හර්මන්ට යන්න ඉඩක් නොතිබෙන්න ඇති. පෙරදිග අධ්‍යයන පීඨයේ උහත් අය හරමානිස්ලා ලෙස හඳුන්වනු ලැබුයේ හර්මන්ලා විසින්. සිංහල රණවීරලා රණසිංහලාත් යුද්ධයට සම්බන්ධයි. රණවක නම් යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙව්වා. ඒ වක නිසා.

 

අප නොදන්නා දේ දන්නා දේට වඩා බෙහෙවින් වැඩියි. අප නොදන්නා දෙයක් යමකු කී විට අපට ඒ තැනැත්තා කෙරෙහි ගෞරවයක් ඇති වෙනවා. අප සාමාන්‍යයෙන් හිතන්නේ විශ්වවිද්‍යාල ගුරුවරු බොහෝ දේ දන්නවා කියා. මහාචාර්යවරු ආචාර්යවරුන්ට වඩා දන්නවා කියාත් ඇතැමුන් හිතනවා. පහුගිය කාලයෙ එක්තරා නාළිකාවක වැඩ සටහනකට සහභාගි වීමට සහභාගිවන්නන් සෙවීමේ දී නිෂ්පාදකට අවශ්‍ය වූයේ ආචාර්ය මහාචාර්යවරුන් ලබා ගැනීමට. මහාචාර්යවරුන් ගැන දන්නා මා එයට එකඟවුණේ නැහැ.  

 

වාමාංශික අදහස් දරණ පඬි නැට්ටන් වුණත් දන්න දෙයක් තමයි මෙරට සම්මත දැනුම දක්‍ෂිණාංශික බව. වාමාංශික මත සාමාන්‍යයෙන් අසම්මත ලෙස ගැනෙන්නෙ. ඒ මත දරන්නන්ට පිළිගැනීමක් ලැබෙන්නෙ එවැනි මත දරණ අය අතරයි. දක්‍ෂිණාංශික මත දරන්නන් අතර වාමාංශික මත දරන්නන්ට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල ඇති රඟපෑම නිසා එහි වාමාංශික මත දරන්නන්ට පිළිගැනීමක් ලැබෙනවා. එහෙත් සමාජයේ එවැනි පිළිගැනීමක් නැහැ. ජඩමාධ්‍යවේදීන්ටත් තම උගත්කම ප්‍රදර්ශනය කිරීමට ඇතැම්විට වාමාංශික මත දරන්නන් ද අවශ්‍ය වෙනවා.

 

වාමාංශික මත දරන්නන් තමන් අසා නැති අසම්මත වාමාංශික යැයි හිතන අදහසක් කියන අයකුට ගරු කරනවා. එහෙත් ඒ තැනැත්තා එකී අදහස් ලබා ගන්නේ වෙනත් අයකුගෙන් බව අමතක වෙනවා. එහෙම නැත්නම් දන්නේ නැහැ. තමන් නොදන්නා වාමාංශික අදහසක් පළමුවෙන් අසන විට එය පරණ අදහසක් බව අසන්නා හිතන්නේ නැහැ. අසන්නා ඒ අදහස කියන්නාගේ ගිණුමට බැර කරනවා. මෙය බරපතළ ප්‍රශ්නයක්. සුචරිත ගම්ලත් කියා ඇති අලුත් අදහසක් නැති වුවත් ඒ අදහස් ඔහුට තේරෙන විධියට ඉංගිරිසි පොත් කියවා ලබා ගත් දේ වුවත් බොහෝ දෙනා එසේ හිතන්නේ නැහැ. ඒ දවස්වල පියසීලි විජේගුණසිංහගෙන් අහගන්න තිබුණා සුචරිත ගම්ලත්ගේ දැනුම ගැන.

 

අප රටේ දැනුම නිර්මාණය කිරීම යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ නැති දෙයක්. අප එංගලන්තයට හරි රුසියාවට (එකල සෝවියට් දේශයට) හරි වෙනත් රටකට හරි ගොස් ඉගෙන ගන්නා අලුත් වාමාංශික අදහස් මෙහෙ ඇවිත් කියන විට නැත්නම් ඒ අදහස් අනුව මෙරට සංසිද්ධි, විශේෂයෙන් ම දේශපාලනය විස්තර කරන විට අප හිතන්නේ විස්තර කරන්නා පඬි රාජයකු බවයි. එහෙත් ඔහුත් තවත් පඬි නැට්ටකු පමණක් බව අපට වැටහෙන්නේ නැහැ.

 

ඒ වාමාංශික අදහස් මෙරටට ගෙනෙන ඇත්තන් සමග මා සංසන්දනය කරන විට මටත් ඔවුන්ට මෙන් ම ගෞරවයක් ඇති බව යමකු කී විට මා කුමක් කරන්න ද? මා කියන්නේ ඊනියා වාමාංශික අදහස් නො වෙයි. එමෙන් ම දක්‍ෂිණාංශික අදහස් ද නොවෙයි. එහෙත් සමහරුන් සිතන්නේ මා ඔවුන් නොදන්නා වාමංශික අදහස් කියන බවයී. මා ඒ අදහස් ලබා ගත්තේ කාගෙන් ද එහෙමත් නැත්නම් මා ඒ අදහස් නිර්මාණය කෙළේ ද  යන ප්‍රශ්න ඔවුන් අසන්නේ නැහැ. ඔවුන්ට එය අදාළ නැහැ. මා තවත් අහවලකු වෙනවා.  මට පොළොව පළාගෙන යන්න හිතෙනවා.