දින දෙකේ අසනීපය වෙන්ඩ ජනාධිපතිලා හා සංවර්ධනය
ඊයේ උසාවියේ සතුටුදායක පුවතක් කියැවිලා. චම්පක
රණවකට නැත්නම් ඇතැමුන් කියන විධියට පාඨලීට කිසිම අසනීපයක් නැති බව අධිකරණ වෛද්‍ය
නිලධාරි තැන නිගමනය කරලා. එය අර ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය අනුව පරීක්‍ෂණ
නිරීක්‍ෂණ නිගමන ආධාරයෙන් කෙරුණක් වෙන්න ඕන. දින දෙකකින් පමණ සුළු කාලයකින් ඔහු
සනීප වෙලා. බටහිර වෙදකමේ හාස්කම්වලට එයත් එකතු වෙන්න ඕන. මුලින් චම්පක පරීක්‍ෂා කළ
බටහිර වෙද මහතා බොරුවක් කළා කියා හිතන්න බැහැ. ඒ වෙද මහතා තම අත්අකුරින් ම වෛද්‍ය
වාර්තාව ලියල තියෙන්නෙ. අනෙක් අතට ඔහුට වැරදිලා කියල හිතන්නත් බැහැ. බටහිර වෙද මහත්තුරු
අවංක දක්‍ෂ පුද්ගලයන්. ඔහුගේ දක්‍ෂකම නිසා වෙන්න ඕන චම්පක එතරම් දරුණු රෝගයකින්
පෙළී සිටියත් දින දෙකක් වැනි සුළු කාලයකින් සුවපත් වුණෙ.
ඊයේ අපට තවත් ආරංචියක් ලැබුණා. වෙන්ඩ ජනාධිපති
අනුර රනිල්දාස තම කැබිනට් මණ්ඩලයේ කිහිප දෙනකු නම් කරලා. මොන තරම් දෙයක් ද? රනිල්දාස
දක්‍ෂයකු කියල උපකාරක පංතිවලත් කියැවිලා. රනිල්දාස දේශනවලට සහභාගි වෙන්නෙ නැතුව
උපාධිය ලබාගත්තලු. විශ්වවිිද්‍යාලයක උපාධියක් ලබා ගන්න දේශනවලට සහභාගි වෙන්න ඕන
නැහැ. අවශ්‍ය වන්නේ ඒ අවුරුද්දේ හරි කලින් අවුරුද්දක හරි සටහන් පමණයි. සටහන් පමණක්
කියවල උපාධි ලබාගත් අය ගැන මා ඕන තරම් දන්නවා.
රනිල්දාසගෙ අමාත්‍ය මණ්ඩලයෙ සියල්ලන් ම
උපාධිධාරීන් වෙන්න පුළුවන්. ඒ අය සටහන් කියවල උපාධි ලබාගත් අය ද කියල අපි දන්නෙ
නැහැ. එහෙම නම් ඔවුනුත් දක්‍ෂයන් වෙන්න ඕන. කොහොමටත් උපකාරක පංති ගුරුවරු
විශ්වවිිද්‍යාල ගුරුවරුන් තරම් දක්‍ෂ වෙන්න බැහැ. විශ්වවිද්‍යාල ගුරුවරුන්ට තම
දේශනවලට සහභාගි නොවන අයටත් උගන්වන්න පුළුවන්. මට නම් එවැනි දක්‍ෂකමක් තිබුණෙ නැහැ.
මා දේශනවලට සහභාගි වුණු අයටවත් කිසිවක් ඉගැන්නුවෙ නැහැ. මගෙන් ඉගෙනගත් කිසිවකුත්
නැහැ.
මෙරට පළමු උපාධිධාරි ජනාධිපති රනිල්දාස ද? ජේ
ආර්ට උපාධියක් තිබුණේ නැහැ. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධි කඩය වූ 1921
පිහිටුවන ලද ලංකාවේ විශ්වවිද්‍යාල ආයතනයට ඇතුළත් වී ඇති නමුත් අවුරුදු දෙකකට පසු
ඉන් ඉවත් වී නීති විද්‍යාලයට බැඳී තියෙනවා. චන්ද්‍රිකා ගැන දන්නේ ඇය ප්‍රංශයේ
සෝබෝන් ගිය එක පමණයි. ඇය තම සාමාන්‍ය පෙළ සහතිකයවත් විජය කුමාරතුංගට පෙන්නලා නැති
බවයි ජනප්‍රවාදයෙ සඳහන් වෙන්නෙ. රනිල් ජනාධිපති වුණෙ නැහැ. සජිත් වෙන්ඩ
උපාධිධාරියකු පමණක් නොව තවත් වෙන්ඩ ජනාධිපතිවරයකු
ද වෙනවා.
ජනාධිපති අගමැති මැති ඇමති වීමට උපාධිය
සුදුසුකමක්වත් නුසුදුසුකමක්වත් නො වෙයි. දේශපාලනඥයන් දේශපාලන විිද්‍යාව හදාරා
තිබීම අනිවාර්ය නැහැ. මට මතක් වෙන්නෙ දේශපාලන විිද්‍යා මහාචාර්ය විශ්වවර්ණපාලට
කෑගල්ලේ වැසියකු කී කතාවයි. වැසියා වර්ණපාලට කියා ඇති බව පැවසෙන්නේ ඔහු මහාචාර්ය වුව ද දේශපාලනය නොදන්නා
බවයි.
අද උගතුන් අතර ලොකු සාකච්ඡාවක් තියෙනවා ණය
ගෙවීම ගැන. ණය කාල සීමාව ඉකුත් වීමට පෙර ගෙවිය යුතු ද නැත්නම් ණය දුන්නන් සමග
සාකච්ඡා කර ගෙවීම කල් දාගත යුතු ද යන්නයි වැදගත් වෙලා තියෙන්නෙ. ඒ කුමක් වුවත් ණය
ගන්නෙ මොනවට ද කියන ප්‍රශ්නය සාකච්ඡා වෙන බවක් පේන්නෙ නැහැ. අප ණය අරගෙන කරල තියෙන
දේ ගැන අධ්‍යයනයක් කරන්න උගතකුට පුළුවන් ද?
එවැනි අධ්‍යයනයක් කිරීම සඳහා කොපමණ කල්
යාවි ද? ඒ අධ්‍යයනය සඳහාත් ණයක් ගත යුතු ද?
ණය ගන්නේ සංවර්ධනය සඳහායි. සංවර්ධනය කෙසේ විය
යුතු ද යන්න එහෙමත් නැත්නම් අපට අවශ්‍ය සංවර්ධනය කුමක් ද යන්න ගැනවත් උගතුන්ට
හැඟීමක් නැහැ. හෙළ ගොවිතැන හෙළ වෙදකම සංවර්ධනය කිරීමක් ගැන සාකච්ඡාවක් වෙන්නේ නැති
තරම්. මහා සංඝ රත්නය ඊයේ ජනාධිපතිතුමාට උපදෙස් දී තිබෙනවා. මොන බාධක තිබුණත් මාසික
ව එසේ උපදෙස් දෙන්න පුළුවන් නම් හොඳයි. එහි දී හෙළ ගොවිකම හෙළ වෙදකම ගැන විශේෂ
අවධානයක් යොමු කරන්න පුළුවන් නම් හොඳයි.
පඬි නැට්ටකු කියන්න පුළුවන් මේ කියන්නේ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යැමට කියා. අපොයි නැහැ . ඩිජිටල් කතාවලට ගොවි බිම්වලට හානි නොකරන අධිවේගි මාර්ගවලට මා කැමතියි. ඒ ඉක්මණින් මාළු ඇඹුල් තියල් ගේන්න නොවෙයි. දැන් අවුරුදු විස්සකට වැඩි කාලයක් අප නිර්මාංශ ආහාර අනුභව කරන්නෙ. ළඟදීම කුරුණෑගලට හා මහනුවරට අධිවේග මාර්ගයක් ලැබේවි. මා හිතන්නෙ එය පැති තුනකින් යාපනයටත් මඩකලපුවටත් ත්‍රිකුණාමලයටත් දීර්ඝ කරන්න ඕන කියා. කුරුණෑගල හා මහනුවර මෙරට මාර්ග පද්ධතියේ වැදගත් ම සන්ධිස්ථාන බවයි මගේ වැටහීම. අපේ රාජධානි කුරුණෑගල හා මහනුවර වටා ඇතිවීමට එයත් හේතුවක් වෙන්න ඇති. යාපනයට අධිවේග මාර්ගය දික් කළාම අනුරාධපුරයටත් බරකරත්තයෙන් නොව අධිවේගයෙන් යන්න පුළුවන්.
අද සංවර්ධනය කියන්නෙ නගර සංවර්ධනයකට. එයින්
අදහස්වන්නේ නගර අලංකාර කිරීමට මා විරුද්ධ බව නො වෙයි. කොන්ක්‍රීට් වනාන්තර බිහි
කිරීමෙන් අලංකාර නගර නිර්මාණය කරන්න බැහැ. මා දැක ඇති කැත ම නගරය නිව්යෝක් නගරයයි.
නගර සංවර්ධනයෙන් කෙරෙන්නේ මිනිසුන් ප්‍රදේශ (නගර) කිහිපයක පමණක් පදිංචි කරවීම.
එයින් මානව සංවර්ධනයට වෙන සෙතක් නැහැ. අද අවශ්‍ය වන්නේ මානව සංවර්ධනයක්. ඒ
නිෂ්පාදන ආර්ථිකයක් මත රඳා පවතිනවා. මෙරට නම් ඇත්තේ සේවා ආර්ථිකයක් පමණයි. අද එය
බිඳ වැටිලා. ඒ අවුරුදු හැත්තෑවක ප්‍රතිඵලයක්.
අප ණය ගෙවීම ගැන නොවෙයි ණය ගැනීම ගැන අවධානය
යොමු කරන්න ඕන. ණය ගන්නේ කුමක් සඳහා ද යන්න එහි දී වැදගත් ම සාධකය වෙනවා. ණය ගන්නේ
කුමක් සඳහා ද යන්න තීරණය කළ විට ණය ගෙවීම අමරුවක් නැතුව කරන්න පුළුවන් වේවි.