Main Logo

Saturday, 8 January 2022

ඉන්දියාව, චීනය හා මියන්මා

 ඉන්දියාව, චීනය හා මියන්මා


මියන්මා දේශය සමග සහල් ටොන් ලක්‍ෂයක් මිල දී ගැනීමට ගිවිසුමක් අත්සන් කරලා. මියන්මා දේශයට ආසියාවට ම වුණත් සහල් සපයන්න පුළුවන්. ඒ අතින් ගත්තොත් අද මියන්මා ආසියාවේ සහල් ධාන්‍යාගාරය කියන්න පුළුවන්. කලක දි ලංකාව ඒ තත්වය දැරූ බව ඉතිහාසයෙ කියැවෙනවා. සිංහලයාගේ දක්‍ෂකමක් දකින්න අකමැති හිටපු මහා බැංකු ලොක්කකු කියල ඒ කාලෙ ලංකාව පිටින් සහල් ආනයනය කරල ප්‍රතිඅපනයනය කරල කියල. ඔවුන් දන්න කසිකබල් ආර්ථික විද්‍යාව තමයි එයින් කියැවෙන්නෙ. ඔවුන්ගෙ ආකෘති බටහිර ආකෘති. ඒ බැංකු ලොක්කා පරාක්‍රමබාහු රජු සහල් වෙළෙන්දකු බවට පත් කරලා.      මියන්මා දේශයෙන් අප ලබා ගන්නා සහල් ඔවුන් ප්‍රතිඅපනයනය කරන සහලක් නො වෙයි. ඔය බැංකු ලොක්කන්ගෙ උපදෙස් මත තමයි මෙරට ආර්ථිකය පල්ලම් බැහැල තියෙන්නෙ. මේ ලොක්කන් බෞද්ධ ආර්ථික විද්‍යාවක් ගැන හිතන්නෙවත් නැහැ. 


අප ආසියාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයකට යන්න ඕන. මියන්මා අපට සංස්කෘතික වශයෙන් ළඟ ම රට. මා මියන්මාහි ඉන්න කොට මට දැනුනෙ ඒ අපේ දෙවැනි ගෙදර වගේ. වෙන කිසිම රටක දි මට ඒ හැඟීම ඇතිවෙලා නැහැ. අප මියන්මා සමග මෙයට වඩා කිට්ටුවෙන් වැඩ කරන්න ඕන. තුන්වැනි සියවසේ පමණ සිට අප දෙරටේ ම තියෙන්නෙ ආන්ද්‍ර බුදුදහමක්. ආන්ද්‍ර ප්‍රදේශය එකල ථෙරවාදි බෞද්ධ මධ්‍යස්ථානයක්. හත්වැනි සියවස පමණ වන තෙක් ආන්ද්‍ර ප්‍රදේශයේ බුදුසසුන තිබුණා. බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වැඩියෙ ආන්ද්‍රයෙන්. මා හිතන විිධියට මෙතෙක් ලොවේ බිහි වු ඉහළ ම දාර්ශනිකයා වූ නාගර්ජුනපාදයන් වැඩ වාසය කෙළේ ආන්ද්‍ර ප්‍රදේශයේ. නාගර්ජුනකොණ්ඩ හා අමරාවති ඒ ප්‍රදේශයේ නගර. මියන්මාහිත් යැන්ගොන් නුවර කිට්ටුව අමරාවති කියා නගරයක් තියෙනවා. 


මියන්මා (බුරුමය) හා සිංහලේ අතර සමබන්ධකම් ඉතා පැරණියි. එය තපස්සු භල්ලුක කරා දිවෙනවා. ඔවුන් දෙදෙනා හා මංගල සමරවීර තමයි ලොවේ බුද්ධ ධම්ම දෙරුවන් සරණ ගිය අය. තපස්සු භල්ලුකට සරණ යෑමට සංඝයා වහන්සේ සිටියේ නැහැ. මංගල සංඝයා වහන්සේට උඩින් සිටියෙ. තපස්සු භල්ලුකගේ ලංකා ගමන ගැන අපේ ඉතිහාසයෙ සඳහන් වෙතත් මියන්මා ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ නැහැ. මියන්මා ඉතිහාසයට අනුව තපස්සු භල්ලුක රාක්‍ෂස දේශයට ගිහින් තියෙනවා. බුරුම උගතුන් සිතන්නෙ ඒ අරකන් දේශය කියා. එහෙත් රාක්‍ෂස දේශය ලංකාව විය හැකියි. ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් ඒ ගැන සොයා බලනවා නම් හොඳයි. රාක්‍ෂස කියන්නෙ යක්‍ෂයන්ගෙ ආරක්‍ෂකයන් කියනවා. විහාර මහා දේවිය නාග රාක්‍ෂස බවට මතයක් තියෙනවා. 


එහෙත් අපේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් එවැනි දේට යොමු වන්නේ නැහැ. කලකට පෙර මා කියා හිටියා ශුන්‍යය සංඛ්‍යාව අපේ නිර්මාණයක් කියල. අප ශුන්‍යය ලිවුවෙ හල්කිරීම කියා. ශූන්‍යය අගයක් ඇති මෙන් ම අගයක් නැති සංඛ්‍යාවක්. හල්කිරීමත් එබඳුයි. ඒ සංක්තයෙන් ශබ්දයක් ඇති එමෙන් ම නැති බවක් කියැවෙනවා. මා මෙසේ සිතීමට පෙළඹුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජේවර්ධන සීගිරියේ හල්කිරීම ශූන්‍යය සඳහා වූ සංකේතයක් ලෙස එහි ගඩොල්වල සඳහන් බව කීමෙන් පසුව. ඇතැම් ඉන්දීය භාෂාවල බිංදුව ලියන්නේ හල්කිරීම සඳහා.  අපේ ශූන්‍යය සඳහා වූ හල්කිරීම බිංදුව බවට පත් වී ඇත්තේ එලෙසයි. 


අද බිංදුව ශූන්‍යය සඳහා යොදාගෙන ඇති පැරණි ම ලේඛනය ඇත්තේ තවත් ථෙරවාද රටක් වූ කාම්බෝජයේ.  සත්වැනි සියවසට අයත් එකී සෙල්ලිපිය මා කාම්බෝජයට ගිය අවස්ථාවෙ දැක බලා ගත්ත. සීගිරියේ ඇති ශූන්‍යය පස්වැනි සියවසට අයත්. එහෙත් උගතකු බුද්ධිමතකු නොවූ මා කියන දෙයට කිසිම ඇහුම්කම් දීමක් නොකරන මෙරට උගතුන් එයට කිිසිම සැලකිල්ලක් දැක් වූයේ නැහැ. ඔවුන් රාක්‍ෂස දේශය ගැනත් සොයා බලන එකක් නැහැ. මා විස්තර දත්ත ලබා ගැනීමේ දක්‍ෂයකු නොවන බැවින් මට ඒ කරන්න බැහැ. විස්තර ඇති විට කතන්දරයක් ගොතන්න නම් මට පුළුවන්.       


බුරුමය හා හෙළය අතර සම්බන්ධකම් වැඩි දියුණු වුණෙ එකොළොස්වැනි සියවසේ. බුරුමයේ අනව්රත රජූ හා අපේ විජයබාහු රජු අතර විශේෂ සම්බන්ධකමක් තිබුණා. අප එකල බුරුමයේ ඛර්මර්වරුන් හා හෙළයේ සොළීන් පැරදවීමට එකතු වුණා. අප දෙරට තිබුණේ ආන්ද්‍ර නැත්නම් තෙළිඟු බුදුදහමක්. ඒ බුද්ධඝෝෂ ධර්මපාල ආදී හිමිවරුන් අතින් ලියැවුණු අටුවා මත පදනම් වුණා. අප දෙරට තිබූ පොතපත සංසන්දනයක් අනව්රත රජු දවස කෙරී තියෙනවා. අනව්රත රජුට අනිරුද්ධ කියාත් කියනවා. අදත් කර්නාටක ආන්ද්‍ර ප්‍රදේශවල අනිරුද්ධ්ලා ඉන්නවා. පසුගිය දා ආන්ද්‍ර බුද්ධාගම ගැන මා කියවූ ලිපියක් ලියා තියෙන්නෙ අනිරුධ් කනිසෙට්ඨි නමැත්තෙක්.  ඉන්දියාවෙ අනිරුධ් අපට අනිරුද්ධ වෙනවා. අනිරුද්ධ කියන්නෙ නිරුද්ධ නොවූ යන්නයි. නිවන සම්මාබෝධ නොවු පෘථග්ජන යන්නයි.        


මහින්ද රාජපක්‍ෂ වරක් කියා තිබුණා ඉන්දියාව අපේ ඥාතියා චීනය අපේ මිත්‍රයා කියා. අප ඉන්දියාව තරහ කර නොගෙන චීනය සමග මිත්‍ර වෙන්න ඕන. මියන්මා අපේ දෙවැනි ගෙදර. මා ශ්‍රී ලංකා ගුවන් සේවයට යෝජනා කළා ලංකාව ඉන්දියාව මියන්මා යා කරන ගුවන් සේවයක් අරඹන්න කියා. එය යෝජනාවකින් එහාට ගියේ නැහැ. මෙරට උගතුන් පරිපාලකයන් නලින් විරෝධයකින් පෙළෙනවා. ළඟ එන බිම්ස්ටෙක් සමුළුවේදීවත් අපේ මිත්‍රත්වය තහවුරු කර ගන්න ඕන. ඉන්දියාව ආසියාවෙ රටක් මිස බටහිර රටක් නොවන බව අප ඉන්දියාවට අවධාරණය කරන්න ඕන. බණ්ඩාරනායක මහත්මිය අනුව යමින් චීනය හා ඉන්දියාව සමගි කරවීමට අපට පුළුවන් ද? අප චීනය සමග තරහ කරවීමට විවිධ පුද්ගලයන් ක්‍රියාත්මක වෙනවා. අර අශූචි නැව ගැන දැන් කතාකරන්නෙ අශූචි ප්‍රියයන් පමණයි. අපේ  විිද්‍යාඥන්ගේ ඊනියා පරීක්‍ෂණය නිසා අපට පොහොරත් මුදලුත් නැති වුණා.   ඉන්දියාව සමග තරහ නොවී චීනය සමග මිත්‍රත්වයෙන් කටයුතු කිරීම අපේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වෙන්න ඕන.  


අප බොහෝ දෙනකුට ඉන්දියාව සමග ඓතිහාසික ඥාති සම්බන්ධයක් තියෙනවා. මටත් තියෙනවා. මහාවංසයේ සඳහන් වෙනවා බෝසත් විජයබාහු රජතුමා මරා රජකම පැහැර ගත් මිත්‍ර සෙනෙවියා ඝාතනය කෙරුණේ ඨකුරක නම් ආර්ය සේනාංකයේ ප්‍රධානියා අතින් කියලා. එකල ආර්ය සේනාවක් හා සිංහල සේනාවක් යනුවෙන් සේනා දෙකක් තිබී තියෙනවා. ඔවුන් යාපහුවේ බුවනෙකබාහු රජ කෙරෙවුවා. අප ඨකුර්ගෙන් පැවත එන්නන්. ඨකුර්ලා නැත්නම් ථකුරලා රාජ්පුත් අය. 


ඨකුර්ලා රාජස්ථානයෙන් පිට වූ අය කියා කියනවා. අද ඔවුන් වැඩියෙන් ම දක්නට ඇත්තේ උතුරු ඉන්දයාවෙ හිමාචල් ප්‍රදේශයේ. ඨකුරලා බෙංගාලය පැත්තටත් ගිහින් තියෙනවා. ඉංගිරිසින් බෙංගාලයෙ (කොල්කතාවෙ) ඨකුර් කියන එක ශබ්ද කෙළේ තාගොර් කියලා. තෙල් ටැංකි පිළිබඳ බලශක්ති අමාත්‍යාංශයෙන් නිකුත් කළ පොත් පිංචක් මට ලැබුණා. එහි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ගැන සඳහන් වෙනවා. වාණිජ හා සංස්කෘතික කටයුතු පිළිබඳ පළමු ලේකම්වරිය ඉරීනා ථාකුර් මහත්මිය. මා ඇයට නෑකම් කියන්න ගියේ නැහැ. අප දැන් සිංහල. සිංහලකම හරි දෙමළකම හරි තීරණය වන්නේ ජාන මත නොව සංස්කෘතිය මතයි. ඨකුරක සෙනෙවියා සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා අවුරුදු අටසීයක් පමණ වෙනවා.  


මේ ආර්ය සේනාව පිළිබඳ කතාව තවත් කතාවලට තුඩු දෙනවා. ආර්ය චක්‍රවර්ති ලංකාවට පැමිණ ඇත්තේ පාණ්ඩ්‍යයෙන් වුවත් ඔහු පාණ්ඩ්‍යයට පැමිණ ඇත්තේ උතුරෙන්. නායක්කාර් රජවරුන් මදුරෙයි නගරයට පැමිණ ඇත්තෙ ආන්ද්‍ර (අණ්ඩර) ප්‍රදේශයෙන්. තෙළිඟු බසට මෙරට ජනයා කිවුවෙ අණ්ඩර දෙමළ කියා. ආර්ය සේනාවෙ ප්‍රධානියා ඨකුරක මෙන් ම ආර්ය චක්‍රවර්තිත් ද්‍රවිඩ නො වෙයි.