අවුරුද්දේ ආධිපත්‍යය
අද ජනේරුව. ඒ අපි පොඩි කාලෙ. අද නම් අලුත් අවුරුද්ද. මේ නත්තලෙන් දවස් හතකට පස්සෙ දවස. දවස් හත යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතීන්වල වැදගත්. දෙවියන් වහන්ස් තමන්ගෙ මැවීමේ කටයුතු ඉවර කරල නිවාඩු ගත්ත දවස. පෙරදිග සංස්කෘතීන්වල හත වැදගත්. යුදෙවුවොත් පෙරදිග. අපටත් සත් සතිය තියෙනවා. අපි කාලෙක ගඟට හත් ගවුවක් තියෙද්දි අමුඩ ගහපු ජාතියක්. ඒ කියන්නෙ අපි සැලසුම් කරපු අය කියන එක. ඒත් පස්සෙ කාලෙක සැලසුම් කිරීම උපහාසයට අපහාසයට ලක් වෙලා තියෙනවා. ඊට පස්සෙ කියල ගඟ හත් ගවුවක් තියෙද්දි අමුඩ ගහන්න එපා කියලා.
සතිය කියන එක හතට සම්බන්ධයි. සතියට දවස් හතක් තියෙනවා. ඒත් හත අද බටහිර සංස්කෘතියට අවශෝෂණය කෙරිලා. මා දන්නේ නැහැ ඉංගිරිසි වීක් කියන එක හතට සම්බන්ධ ද කියල. වීක් කියන වචනය පැරණී ජර්මන් බසින් බිඳුණු එකක් කියනවා. එහි වෙනස කියන තේරුමක් තියෙනවා කියලත් කියනවා. ඒ කොහොම වෙතත් සබත් කියන වචනය අද බටහිර අයිති කරගෙන. සබත් කියන්නෙ වැඩ කරලා දවස් හතකින් ගන්න නිවාඩුවක්. එය යුදෙවු සංස්කෘතියෙ වචනයක්. ඉස්ලාම් ආගමෙත් සබත් තියෙනවා. අපේ විශ්වවිද්‍යාලවලත් අවුරුදු හතකට පස්සෙ සබත් නිවාඩුවක් ලැබෙනවා. ඒ බටහිරින් ගත් සංකල්පයක්. ලංකාවෙ විශ්වවිිද්‍යාල කථිකාචාර්යවරුන්ට සබත් නිවාඩුව ලැබෙන්නෙ අවුරුදු හතක් මොන වැඩක් කළාට ද කියල අහන්න පුළුවන්.
කොහොම හරි බටහිරයන් මොන තරම් දක්‍ෂයන් ද කියල හිතෙනවා. විශේෂයෙන් ම ඉංගිරිසින් දක්‍ෂයන්. ඔවුන්ගෙ අවුරුද්ද අද වන විට අපෙත් අවුරුද්ද කරලා. ඔවුන්ගෙ දැනුම අපෙත් දැනුම කරලා. ඔවුන්ගෙ නීතිය අපෙත් නීතිය කරලා. අද අපේ මහානායක හාමුදුරුවරුත් අවුරුදු පණිවුඩ නිකුත් කරනවා. අපි එකිනෙකාට අවුරුද්දට සුබ පතනවා. තිස්එක්වැනි දා රාත්‍රී වැඩ සටහන් රූපවාහිනියෙ ප්‍රචාරය කෙරෙනවා. අවුරුදු පනහකට එහා පැත්තෙ මාත් ගියා ලන්ඩනයෙ ට්‍රැෆල්ගාර් චතුරසයට ඉංගිරිසින්ට තිස්එක්වැනි දා රාත්‍රිය එළිවෙන හැටි බලන්න. අපේ රූපවාහිනී අනුකාරකයන් යවන්න සුදුසු තැනක් කල්පනා කරන්න ඕනෙ. මේ සමග ඇති ඡායාරූපය ට්‍රැෆල්ගාර චතුරස්‍රයෙන්.
ඉංගිරිසි සංස්කෘතික ආධිපත්‍යය දැන් ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර තහවුරු වෙලා. එයට වග කියන්න ඕනෙ රූපවාහිනියයි අධ්‍යාපනයයි. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය දෙද්දි මෙරටට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දුන්නෙ නැහැ. එතුමා විදුහල්පතිවරුන් පනස්දෙනකුට කතා කරල කිවුවෙ තමන් ඉගෙන ගත් පාසල් වැනි පාසල් ඇති කරන්න කියලා. ඒ මධ්‍ය මහා විද්‍යාලවල ආරම්භය. මේ අධ්‍යාපනයෙන් බිහිවෙලා ඉන්නෙ අනුකාරකයන් රැළක් පමණයි. හැත්තෑවෙ දශකයෙන් පස්සෙ රූපවාහිනිය පාසල්වලට හා විශ්වවිිද්‍යාලවලට කරන්න බැරි වෙච්ච හානිය උපරිමයෙන් කෙරුවා.
මා කලින් දවසක ප්‍රශ්න දෙකක් ඇහුවා. කිසිවකු ඒවට පිළිතුරු දීල නැහැ. වෙනත් අයට පළමුව ඉංගිරිසින් අපට සර්වජන ඡන්දය දුන්නෙ මොක ද? අපට අනෙක් අයට පස්සෙ විශ්වවිද්‍යාලයක් දුන්නෙ මොක ද? කෝල්බෘක් කැමරන් යෝජනා අනුව අපට ඉංගිරිසි පාසල් ලැබුණා. ඒ ඉංගිරිසි සංස්කෘතිය පතුරවන්න. ඊට කලින් රිච්මන්ඩ් විදුහල වැනි විදුහල් තිබුණත් ඒවා හුදෙක් මෙතෝදිස්ත ආගම ප්‍රචාරය කරන්න ආරම්භ කළ පාසල්. ඉංගිරිසි ක්‍රිස්තියානි පාසල් මගින් මෙරට ඉතා ම ඉහළ ගණයේ අනුකාරකයන් පිඑිසක් බිහි කෙරුණා. අවාසනාවකට දහනවවැනි සියවස අග බෞද්ධ පුනරුදයෙ නායකයන් වුණෙත් ඔවුන්. ඒ අයට හරිහමන් නායකයකු හිටියෙවත් නැහැ. අර පරම විඥානාර්ථවාදී අබෞද්ධ ඕල්කට්තුමාට ඔවුන්ගෙ නායකයා වෙන්න පුළුවන් වුණා. ඒ කාලෙ පඬි නැට්ටන් හිටියෙ නැහැ. හිටිය නම් මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමියන්ගෙ ශීලය ගැන ප්‍රශ්න කරනවා.
ඉංගිරිසි පාසල්වලින් බිහිකෙරුණෙ ධර්මපාලතුමාගෙ බසින් නම් කළු සුද්දන්. ඔවුන් හිතන්න බැරි නිර්මාණශීලීත්වයක් නැති පිරිසක්. ඉංගිරිසින්ට ලෝකෙ වෙන කිසිම රටක නායකයන්ට වඩා ඔවුන් විශ්වාස වුණා. ඔවුන්ගෙන් තමන්ට කිසිම තර්ජනයක් නැති බවත් ඉංගිරිසින් දැන ගත්තා. ඉංගිරිසින් අපට සර්වජන ඡන්දය දීමට පෙළඹුණෙ ඒ නායකයන් කිසි දිනෙක පූර්ණ නිදහසක් වෙනුවෙන් සටන් නොකරන බව දැන සිටි නිසා. ඔවුන් කිසිදා එංගලන්තයේ රජු හරි රැජන හරි අත්හරින්න සූදානමින් සිටියෙ නැහැ.
ඉංගිරිසින් ආසියාවෙ විශ්වවිද්‍යාල ඇති කෙළෙ තම දැනුම් ආධිපත්‍යයට ඒ ඒ රටවල සිටි අය යට කර ගන්න. අපේ රටවල විශ්වවිිද්‍යාල කියන්නෙ ඉංගිරිසි යටත්විජිතවාදයෙ අවයව පමණයි. විශ්වවිද්‍යාලවලින් කෙරෙන්නෙ ඉංගිරිසි සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යය තහවුරු කිරීම පමණයි. ඉන්දියාවෙ ඉතා ඈත කාලෙක විශ්වවිද්‍යාල ඇති කෙරුණෙ ඒ සඳහා. එහෙත් ලංකාවෙ එය අවශ්‍ය වුණෙ නැහැ. මෙරට පාසල් පද්ධතිය විසින් ඒ ආධිපත්‍යය තහවුරු කෙරී තිබුණා. අන්තිමේදි ඉංගිරිසින් අර උපාධි කඩේ ලබා දුන්න. වදෙන් බේරෙන්න බැරි කමට 1942 දී විශ්වවිද්‍යාලයක් දුන්නා. එය අර කළු සුද්දන්ගෙ ඊනියා අභිමානය වෙනුවෙන් ලබා දුන්නක්. කළු සුද්දන්ට අවශ්‍ය වුණා අපටත් විශ්වවිද්‍යාලයක් තියෙනවා කියන්න. විශ්වවිද්‍යාලවලින් රටට සිදු වී ඇති යහපත කුමක් ද? පෞද්ගලික ව සමජයේ ඉහළ යෑමටත් සහකරුවන් සහකාරියන් හොයා ගැනීමටත් විශ්වවිද්‍යාල උපකාර වෙලා තියෙනවා.
විශ්වවිද්‍යාලවලින් තවත් දෙයක් කෙරෙනවා. ඒ නිර්මාණශීලීත්වය මුළුමනින් ම නැති කිරීම. හිතන්න බැරි දත්ත ගබඩා බිහි කිරීම. අද ඊනියා නිර්මාණශීලිත්වය නමට කලාවට පමණක් සීමා වෙලා. ඒත් එහි කෙරෙන නිර්මාණයක් නැහැ. බටහිර විචාරය තමයි එහි වැදගත්. ඊනියා කලාකරුවන් කියන්නෙ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට ගොදුරු වුණු පිරිසක්. ඔවුන් දන්නෙ ජාත්‍යන්තරවාදයක නාමයෙන් ඉංගිරිසි ජාතිකවාදයට ආවඩමින් සිංහල සංස්කෘතිය හෙළා දැකීම පමණයි. එදිරිවීර සරච්චන්ද්‍රට මාර්ටින් වික්‍රමසිංහට හා ගුණදාස අමරසේකරට වඩා යටත්විජිත විරෝධයක් තිබුණත් සිංහල නවකතා විචාරය මගින් ඉංගිරිසි ආධිපත්‍යයට යට වුණා. මාර්ටින් වික්‍රමසිංහ ජාතක කතා ඊනියා යථාර්ථවාදී බව කීමෙන් තමා ඉංගිරිසි දැනුම් ආධිපත්‍යයට යට බව පෙන්නුම් කළා.
නිර්මාණශීලී පුද්ගලයන් බිහි කර නැති අපි අහවලා නැත්නම් නාසා ආයතනය නැහැ අහවලා නැත්නම් මයික්‍රොසොෆ්ට් ගූගල් නැහැ ආදී පුහු කතා කියමින් කමකට නැති ආඩම්බරයක් භූක්ති විඳිනවා. නායක හාමුදුරුවරුන් ද එවැනි ආඩම්බර කතා කියනවා. අපට ඊනියා උගතුන් ඉන්නවා. ඔවුන් දන්නේ සංඛ්‍යා ලේඛන කියවන්න මිසක් සංකල්ප කතන්දර නිර්මාණය කරන්න නො වෙයි. මාධ්‍ය සංදර්ශනවල ඔවුන් දැක ගන්න පුළුවන්.
ඉංගිරිසින් දක්‍ෂයන්. තම ජාතිකවාදය ඊනියා ජාත්‍යන්තරවාදයක් යැයි කියමින් ලෝකයේ තහවුරු කිරීම එසේ මෙසේ දෙයක් නො වෙයි. අද ඊනියා අවුරුද්ද ඒ ආධිපත්‍යයේ හොඳ ම සංකේතයයි.