Main Logo

Tuesday 24 October 2023

පලස්තීනය හා වෙල්ලස්ස

 

පලස්තීනය හා වෙල්ලස්ස

 

අද ගාසා තීරයේ සිදුවන්නේ ඉතාම කෘර මිනිස් ඝාතනයක්. රෝහල්වලට බෝම්බ හෙලීම් දරුවන් ඝාතනය කිරීම් ජනයා තොග පිටින් තමන් ජීවත් වූ ප්‍රදේශවලින් පන්නා දැමීම් ආදිය පලස්තීනුවන්ට විරුද්ධ කෙරෙනවා. එහෙත් බටහිර රාජ්‍යවලින් එයට විරුද්ධ කිසිම හඬක් නැගෙන්නේ නැහැ. ඇතැම් සංවිධාන විශේෂයෙන් පලස්තීනයට පක්‍ෂ යුදෙවු විරෝධී සංවිධාන හඬක් නැගුවත් එසේ කරන්නන්ට විරුද්ධ භීෂණය යොදනවා.

 

හමාස් සංවිධානය ඊශ්‍රායලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එහෙත් එයට විරුද්ධ මෙවැනි කෘර මිනිස් ඝාතනයක් සිදු කිරීම අප හෙළා දකිනවා. එහෙත් අපේ හෙළා දැකීම මගින් කිසිවක් සිදු වන්නේ නැහැ. බටහිරයන් අප කිසිවකු තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. අපේ හෙළා දැකීම් වැඩිම වුවහොත් හුදු අනුකම්පාවක් පමණක් බවට පත් වෙනවා. අපත් යමක් කළාය කියා හිත සනසා ගන්න පුළුවන්. එපමණයි.

 

අද එංගලන්තයේ ඇතැම් නගරවල මුස්ලිම් නගරාධිපතීන් ඉන්නවා. ඔවුන්ට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. එංගලන්තයේ අගමැති ඉන්දීය සම්භවයක් ඇති හින්දු භක්තිකයෙක්. ඔහුටත් කරන්න පුළුවන් ඊශ්‍රායලයට ගොස් එරටට සහාය දැක්වීම පමණයි. බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය විසින් අනෙක් අය තමන්ට සේවය කිරීමට යොදා ගනු ලබන ආකාරය මේ සියල්ලෙන් පැහැදිලියි. අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයයි. එයට යම් තරමකින්වත් අභියෝගයක් වන්නේ නැගෙනහිර යුරෝපීය ඔතොඩොක්ස් සභ්‍යත්වයයි. චීන ඉන්දීය සභ්‍යත්වවලට වැඩි කල් නොගොස් ජපානයට සිදු වූ දේ අත්දැකීමෙන් දැනගන්න පුළුවන් වේවි.

 

මෙරටත් කොටි ත්‍රස්තවාදීන් රටට අමානුෂික ප්‍රහාර එල්ල කළා. මට මතකයට එන්නේ අර පියකු තම මිය ගිය දරුවා රැගෙන මහින්ද රාජපක්‍ෂ ඉදිරියට පැමිණි ආකාරය. කොටින්ට එහි දී ඉන්දියාවේ මෙන් බටහිර සහාය ලැබුණා. අප කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි කළ සෑම මෙහෙයුමක් බටහිරයන්ට හා ඉන්දියානුවන්ට ඊනියා මානව අයිතිවාසිකම් කඩ කිරීමක් වුණා. ප්‍රභාකරන් මිනිස් පළිහක් ලෙස යොදා ගත් අහිංසක සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කරද්දී.

 

බටහිරයන් කොටි ත්‍රස්තවාදී ප්‍රහාර හෙළා දැක්කේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ කොටි ශක්තිමත් කර අපේ රාජ්‍යය දුර්වල කර ඊනියා සාම සාකච්ඡාවලට මග කැපීමයි. චන්ද්‍රිකා හා රනිල් මගේ ගිය අය. ඉනුත් රනිල් චන්ද්‍රිකාටත් හොරෙන් ගිහින් ඊනියා සාම ගිවිසුම් අත්සන් කළා. අද ඔහුට කළ මෙහෙය වෙනුවෙන් ජනාධිපති තනතුර පිරිනමා ඇත්තේ තව තවත් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට. රනිල් නැගෙනහිර පළාතෙන් සිංහල බෞද්ධයන් පන්නා දැමීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. 

 

අද පලස්තීනයේ ගාසා තීරයේ කෙරෙන මනුෂ්‍ය ඝාතන බටහිරයන්ට කිසිසේත් අලුත් දේ නොවේ. මෙරට පෘතුගීසීන් ලනදේසීන් හා ඉංගිරිසින් ක්‍රියාත්මක කෙළේත් ප්‍රතිපත්තියමයි. ඔවුන්ගේ දේව ධර්ම ප්‍රචාරය පිටුපස අවිගත් සෙබළුන් හිටියා. මිහිඳු හිමියන්ගේ ධර්ම ප්‍රචාරය හා බටහිර දේව ධර්ම ප්‍රචාරය අතර ඇත්තේ අහසට පොළොව වැනි දුරස්ථභාවයක්. එදා බ්‍රවුන්රිග් වෙල්ලස්සේ කෙළෙත් අද ගාසා තීරයේ වෙන දේමයි. එකල ගුවන් ප්‍රහාර නම් තිබුණේ නැහැ. එහෙත් බ්‍රවුන්රිග් වෙල්ලස්සේ පිරිමි ළමුන් හරකබාන ඝාතනය කළා. රුහුණු රටේ කොටසක් වූ වෙල්ලස්සේ  ජනයා පෙදෙස්වලින් පිටමං කළා.

 

පසුව එහි ගොස් පදිංචි වූ සමහර සිංහලයන් කොටි ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේත් එහි සිටියා. අද රනිල් මඩකලපු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සනසමින් ජනතාව මඩකලපු ප්‍රදේශයෙන් පිටමං කරන්න හදනවා. බටහිර ඒජන්තයකු වූ රනිල් ක්‍රියාත්මක කරන්නේ බ්‍රවුන්රිග් ප්‍රතිපත්තියයි. බ්‍රවුන්රිග් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නේ ඔහු පමණක් නො වෙයි.

 

බ්‍රවුන්රිග් දැන සිටි කරුණක් නම් මෙරට භික්‍ෂූන් වහන්සේ වැඩ වසන තාක් සිංහලයන් යටත් කරන්න බැරි බව. ඔහු භික්‍ෂූන් වහන්සේට කිවුවේ කහකඩයන් කියා. අද බටහිරයන්ට රනිල් පත්කිරීමට පරගල කළ පඬි නැට්ටන් භික්‍ෂූන් වහන්සේට කහකඩයා  සහ වෙනත් නම් කියමින් අපහාස කරනව.  පරගලයන් ඊශ්‍රායලය කරන මනුෂ්‍ය ඝාතනවලට විරුද්ධ නොවන්නේ නම් තේරුම් ගැනීම අපහසුවක් නො වෙයි.  

 

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයේ කුහකත්වයයි. ඔවුන් ඊනියා මානව හිමිකම් කඩ කිරීම් තීරණය කරන්නේ තම සභ්‍යත්වයට විශේෂයෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්‍ෂ . තම සභ්‍යත්වයේ සංස්කෘතියේ ආධිපත්‍යය වෙනුවෙන් කෙරෙන ඝාතන කිසිවක් ඊනියා මානව හිමිකම් කඩකිරීම් නො වෙයි. එහෙත් තම සංස්කෘතියට අභියෝගයක් වෙන ඕනෑම මෙහෙයුමක් මනුෂ්‍ය ඝාතන සිදු නොවුණත් ඊනියා මානව හිමිකම් කඩ කිරීම්.

 

බටහිරයන් හැමදාමත් තම සභ්‍යත්ව ආධිපත්‍යය වෙනුවෙන් කළ ඝාතන අනුමත කළා. ටෘමන් ජනාධිපති නාගසාකි කියන  නමවත් නොදැනයි පරමාණු බෝම්බ හෙළිමට අණ දුන්නේ. අද බයිඩ්න් ජනාධිපති ගාසා තීරයේ මනුෂ්‍ය ඝාතන යුක්තියුක්ත කිරීමට ඊශ්‍රායලයට යනවා. සඳහා බිරිතානි අගමැති සුනක් ඔහුට එකතු වෙනවා. ඩේවිඩ් කැමරන් කිසිවක් කියන්නේ නැත් ? ඔහු සමහර විට කියන්න පුළුවන් තමා දැන් අගමැති නොවේ කියා. එහෙත් ලංකාව ගැන මත ප්‍රකශ කිරීමට ඔහුට එය බාධාවක් වන්නේ නැහැ.  බටහිරයන්ට ෂොපිං යන වමාලාට මේ කිසිවක් ගැන කියන්න දෙයක් නැහැ. 

 

මෙරට විශිෂ්ටයන් නැහැ. වමාලා පඬි නැට්ටන් පමණයි. මෙරට අවුරූදු එක්දහස් පන්සීයකට විශිෂ්ටයන් බිහි වී නැහැ. එසේ කිම බටහිරට සාපේක්‍ෂවීමක් නොවන බව තේරුම් ගැනීමටවත් පඬි නැට්ටන්ට බැහැ. අවුරුදු පන්සීයකට එහා පැත්තෙ තිබුණු බටහිරට සාපේක්‍ෂ වීම කුමක් ?  මෙරට බුද්ධිමතුන් හිටියා පස්වැනි සියවසට පෙර. බටහිරට සාපේක්‍ෂ නො වෙයි. අඩු තරමෙන්  සොක්‍රටීස්ට ඇරිස්ටෝටල්ට  ප්ලේටෝට සාපේක්‍ෂව නොවෙයි. රේඛීය චින්තනයට සාපේක්‍ෂව නොවෙයි. බටහිරට ෂොපිං යන පඬි නැට්ටන්ට කරන්න පුළුවන් වැඩිම දේ බටහිර අදහස් වැමෑරීම පමණයි. 

 

පලස්තීනය හා වෙල්ලස්ස සසඳන්නේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයේ කෘරකම විිදහා දැක්වීමට පමණයි. කොටින් බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයේ අතකොළුවක් පමණක් වුණා. වෙල්ලාලයන් ඉන්දීය හින්දු සභ්‍යත්වයේ අතකොළුවක් වුණා. ඔවුන් පඬි නැට්ටන් සිංහල බෞද්ධ විරෝධීන්.