මේ ජැක්සන් ගැන නො වෙයි
මට ජැක්සන් ඇන්තනි ගැන ලියන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් පඬි නැට්ටන් කියනවා ජැක්සන් සිංහල බෞද්ධ සංස්කෘතියට කඩේ ගියා කියලා. සමහරු කියනවා ඔහු සල්ලිවලට කඩේ ගියා කියලා. මුදල් හුවමාරු ගැන මා දන්නේ නැහැ. අපේ රටවල පමණක් නොව ඇමරිකාවේ හා අනෙක් බටහිර රටවලත් මුදල් ගණුදෙනු සිද්ධ වෙනවා. මුදල් ගණුදෙනුවත් අපට ලැබී ඇත්තේ බටහිරින්මයි. සිංහල බෞද්ධ රාජ්‍යයේ ඔය විධියේ මුදල් ගණුදෙනු තිබුණේ නැහැ.
ජැක්සන් ඇන්තනි ගැන මට කුතුහලයක් ඇති වුණා. ඒ ඔහුගේ වාසගම ගැන මිස පුද්ගලයා ගැන නො වෙයි. ජැක්සන්ගේ කුසලතා ගැන කියන්න තරම් දෙයක් නැහැ. ඔහු මට වඩා දක්‍ෂයකු වෙන්න ඇති. අදක්‍ෂයන් දක්‍ෂයන් ගැන මොනවා කියන්න ද? මට වඩා දක්‍ෂයන් දසදහස් ගණනක් රටේ ඉන්නවා. කෙසේ වෙතත් ඔහුත් විශිෂ්ටයකු නො වෙයි. ලංකාවේ විශිෂ්ටයන් බුද්ධිමතුන් නැහැ. අවුරුදු එක්දහස් පන්සීයකට පමණ මෙරටින් විශිෂ්ටයන් බිහි වී නැහැ. ගස් නැති රටේ එරඬු ගහත් ගහක් කීවාක් මෙන් අප එකිනෙකා විශිෂ්ටයන් ලෙස හඳුනගන්නවා.
මා ජැක්සන් දන්නේ ඔහු කොළඹ මොටාවේ සිංහල උපාධි අපේක්‍ෂකයකු ව සිටින කාලයේ සිට. සමහර විට ඔහු තම සමකාලීන ශිෂ්‍යයන්ට වඩා ටිකක් වැඩි වයසක ඉන්න ඇති. ඔහු මිය යන විට හැටපහක් කියනවා. ඔහු සුවාදීන කණ්ඩායමේ අනුගාමිකයකු ද කියා මට නිච්චියක් නැහැ. ඔහුට කිසි දිනෙක ජාතිකත්වයක් නම් තිබුණේ නැහැ. ඔහු මොටාව හැර යෑමෙන් පසු එක් ගුවන්විදුලි නාළිකාවක සකච්ඡාවක් සඳහා මට ආරාධනය කළා. එය මෙහෙය වූයේ ඩබ් ජයසිරි. ඔවුන්ට අවශ්‍ය වූයේ එකල විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කළ එක් කථිකාචාර්යවරියක ද සහභාගි කර ගනිමින් ජාතිකත්වයට පහර දෙන්න. ඒ කථිකාචාර්යවරියගේ නම නම් මට දැන් මතක නැහැ. ජැක්සන්ගේ අබා චිත්‍රපටයෙනුත් කෙරුණේ ජාතිකත්වයට පහර ගැසීමක්. මා ඒ දිනවල චිත්‍රපටය ගැන විචාරයක් ලිවුවා මතකයි.
ජැක්සන් ඇන්තනිගේ වාසගම ගොන්ගානිගේ. මට කුතුහලයක් ඇති වුණේ ඒ ගැනයි. ඒ වාසගම නැත්නම් පෙළපත් නාමය ලැබුණේ කෙසේ ද? ජැක්සන් ඉපදී ඇත්තේ කතෝලික පවුලක. ලන්දේසීන්ගෙන් මෙරට කතෝලිකයන්ට හිරිහැර වන විට ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා මෙහි පැමිණි ජුසේ ද වාස් පූජකතුමා ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ කොන්කානි ජනවර්ගයට අයත් වූවෙක්. එතුමා පැමිණ ඇත්තේ ම තම ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට. ඒ කතෝලික ජනතාව වෙන්නත් පුළුවන්. ගෝව දේශයෙන් මෙහි පැමිණි ජනතාව වෙන්නත් පුළුවන්. ඒ දෙකොටසට ම අයත් ජනතාව වෙන්නත් පුළුවන්. දහතුන්වැනි දහහතරවැනි සියවස්වල වර්තමාන කේරළ හා කරනාටක ප්‍රදේශවලින් මෙරටට ජනයා පැමිණ තියෙනවා. මේ කොන්කානි ජනවර්ගය හා ජුසේ පූජකතුමා ගැන මා කලිනුත් ලියා ඇති.
පඬි නැට්ටන්ට ප්‍රශ්නය වී ඇත්තේ ජැක්සන් සිංහල බෞද්ධ සංස්කෘතියට කඩේ යෑමයි, පොදුවේ ගත්කල සිංහල බෞද්ධ නොවන කලාකරුවන් සිංහල බෞද්ධ සංස්කෘතියට කඩේ යෑමයි. මොහිදීන් බෙග් ඒ සඳහා ඔවුන් යොදා ගන්නා තවත් උදාහරණයක්. එවැනි අය තවත් ලංකාවේ ඉන්නවා. මේ කඩේ යෑම කියන්නේ කලකට පෙර කත් ඇදීම යනුවෙන් කී කතාවට. දැන් කත් අදින්නන් හා කත් නැති නිසා කඩේ යෑම ව්‍යවහාරයට ආවා වෙන්න පුළුවන්.
පඬි නැට්ටන්ට මේ කඩේ යෑම කතාවෙන් පිළිගන්න වෙලා තියෙන්නෙ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වයයි. සිංහල බෞද්ධ නොවන්නන්ටත් සිරිපාදේ සමනළ කන්ද පේනවා. අනුරාධපුරේ ගැන ගයන්න වයන්න අබෞද්ධ කිසිවකු නැහැ කියන්න බැහැ. මෙරට පඬි නැට්ටන් කියන දෙදහස් පන්සීයේ රෙද්ද පඬි නැට්ටන්ට හැරෙන්න අනෙක් අයට අවශ්‍ය වෙනවා. පඬි නැට්ටන් ඒ රෙද්ද අඳින්නෙ නැතුව හෙළුවෙන් බටහිර හොරුත් එක්ක හිට ගන්නවා.
පඬි නැට්ටන් හිතන් ඉන්නේ ඔවුන් කිසිවකුට කඩේ යන්නේ නැහැ කියා. එහෙත් ඔවුන් තරම් කඩේ යන පිරිසක් මෙරට තවත් නැහැ. පඬි නැට්ටන් කඩේ යන්නේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයට. ඔවුන් බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය විසින් බිහි කෙරෙන පඬිවරුන්ගේ නැටි (වලිග) පමණයි. පඬි නැට්ටන්ගේ සියලු සංකල්ප කතා බටහිර නිපදවන ලද දේ. ඔවුනගේ භාෂාවෙන් කියනවා නම් මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්. මා ඉන්ග්ලන්ඩ් කියා යොදන්නේ එකල මොටාව සියලු දේ ලබා ගත්තේ එංගලන්තය හරහා නිසා. මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ් කියන එකට අපේ තාත්තා කිවුවේ මේඩ් ඉන් අරෙහෙ කියා.
පඬි නැට්ටන් කරන්නේ බටහිර කද කරේ තියාගෙන අපේ කදට පහර දීම. ඔවුන් හිතනවා ඇති එය ලොකු වැඩක් කියා. ජැක්සන් ඇන්තනි වෙනුවෙන් පාංශුකූලෙත් දීල දේව මෙහෙයකුත් පවත්වලා. පඬි නැට්ටන්ට මොකද කරන්නෙ කියල මෛත්‍රිපාලගෙන් අහන්න ඕන.