Main Logo

Saturday 28 October 2023

සසරක් නැති අපි ආතලෙන් ඉන්නවා

 

සසරක් නැති අපි ආතලෙන් ඉන්නවා

 

අද පෝය. ලංකාවෙ ඉන්න වෙලාවට පෝය මග ඇරෙන්නෙ නැහැ. හතරවැනි පස්වැනි සියවස්වලින් පටන් ගත්තොත් පෝය විසිදාහක් විතර ගෙවිලා ඇති. පෝය විසිදාහකට අප කරල තියෙන්නෙ මොනවා ? කිහිප වතාවක් මෙරටින් උපසම්පදාව නැති වුණා. පසුව සියමෙන් හා බුරුමයෙන් උපසම්පදාව ගෙනාවා. රටවලත් කිහිප වතාවක් උපසම්පදාව නැති වුණා. එවිට ලංකාවෙන් උපසම්පදාව ගෙනිච්ච. කොහොම හරි අද ථෙරවාද ලෝකයේ උපසම්පදාව නොකැඩී පවතිනවා. වලගම්බා රජු දවස ධර්මය ග්‍රන්ථාරූඪ කළ නිසා ධර්මයත් පවතිනවා. බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. වැඩි වශයෙන් ලංකාවෙ.

 

ඒත් මෙරටින් බුදුදහම කෙමෙන් තුරන් වී ගෙන යනවා. මෙරට අධර්මය රජයනවා. හැමදාමත් අහන්න වෙන ප්‍රවෘත්ති තියෙනවා. දුෂණ මැරකම් ඝාතන හැමදා සිදුවෙනවා. වාර්තාවෙන්නෙ ටිකක් වෙන්න ඕන. මාස කිහිපයක ළදරුවකුටත් වෙඩි තියලා. දරුවන් ඝාතනය කෙරෙන්නෙ පිටස්තරයන් අතින් පමණක් නො වෙයි. පති පතිනි වෘත්ත රැකෙන්නෙ නැති අවස්ථා එමටයි. හැම නගරයක කුළියට දෙන කාමර තියෙනවා. රූම්ස් කියල ඉංගිරිසියෙන් ලියලා. අපේ ඉංගිරිසි දැනුම ඉහළයි. රූම්ස් වැඩිය තියෙන්නෙ ඉහළ තට්ටුවල වෙන්න ඇති. සජිත් සියල්ල ඉංගිරිසියෙන් උගන්නන්න හදනවා. ඔහුගෙ ඉංගිරිසි දැනුම ඉතා ඉහළයි. ඉංගිරිසි එතරම් නොදන්න මටත් ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න තිබුණ නම් හොඳයි කියා හිතෙනවා. ඒත් හෙට අනිද්දා මැරෙන්න ඉන්න මට මොන ඉංගිරිසි ? 

 

අද රටේ හැම තැන වගේ බණ කියාවි. අපි උදේට බණ අහන්නෙ නැහැ. බණ දානවා. දානවා කියන්නෙ රූපවාහිනිය දැමීමට. බණ දාන්නෙ කාට අහන්න කියා කවුරුන්වත් දන්නෙ නැහැ. ඉතා කෙටියෙන් කිවුවොත් දාන්නෙ මොකට කියා දන්නෙ නැහැ. හාමුදුරුවන් අනිත්‍ය දුක්ඛ අනත්ත ගැන කියා දේවි. අපි එය කී වතාවක් අහල ඇත් ? ඒත් අපට එය තේරෙනවා ? තේරෙනවා නම්  සසර ඉක්මණින් කෙළවර කරන්න පුළුවන්. එය පැත්තකින් තියන්න. අපි තේරුම් ගන්න උත්සාහ කරනවා ? බණ අහන්න අහන්න අප සසර දික්කර ගන්නවා ?

 

දැන් සසර කියන්නෙ මොකක් කියා පඬි නැට්ටන් (පෝදා වුණත් මට සමහර වචන පාවිච්චි කරන්න වෙනවා) පමණක් නොව ඇතැම් ජාතිකවාදීන් අහාවි. මරණින් මතු මොක වෙන්නෙ කියා මා දන්නවා කියා අහාවි. එහෙත් ඔවුන් දන්නවා මරණින් මතු මොකුත් වෙන්නෙ නැහැ කියලා. මරණයෙන් සියල්ල කෙළවර වෙනවා. දේහය ආදාහනය නොකළොත් පනුවන්ට ආහාරය වෙනවා. එච්චරයි.

 

උපදින්න ඉස්සෙලත් මොකුත් නැහැ. මැරුණට පස්සෙත් මොකුත් නැහැ. නිසා අපි ආතලෙන් ඉන්නවා. මේවා අද ඊයෙ කතා නොවෙයි. බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් මේ කතා තිබුණා. ඒත් ආතල් කියන වචනෙ තිබුණෙ නැහැ. අපි එකතු කරල තියෙන එක දේ ආතල් පමණයි. ඒත් හැමදාමත් සමහරු ආතල් අරන් තියෙනවා. ඇතැමුනට අනුව සිද්ධාර්ථ කුමාරයත් ආතල් අරගෙන. මා දන්නා තරමට තාම කවුරුන්වත් කියල නැහැ බුදුහාමුදුරුවොත් ආතල් ගත්ත කියල.

 

මා නම් පට්ටපල් මෝඩයෙක්. මා කිසිසේත් බුද්ධිමතෙක් නො වෙයි. මා සසර විශ්වාස කරනවා. පුනබ්භවය ගැන මා විශ්වාස කරනවා. මට ගැන සාක්‍ෂිත් තියෙනවා. මා මෝඩයකු වීමත් එක් සාක්‍ෂියක්. අනෙක් සාක්‍ෂි ගැන මා කියන්නෙ නැහැ. එහෙම කියල සාක්‍ෂිකරුවන්ට කරදර කරන්න මට හිතෙන්නෙ නැහැ. මට ඒකෙන් ලැබෙන ආතලයක් නැහැ.

 

ඒත් සසර ගැන වගේ වගක් නැති වීම අද ඇති අපරාධ රැල්ලට හේතුවක්. බුද්ධිමතුනට සසරක් නැහැ කියල අපරාධ කරන්න හිතෙන්නෙ නැතුව වෙන්න පුළුවන්. එහෙත් මා වැනි මෝඩයන් රටේ බහුලයි. සසරක් නැත්නම් අපි බයවෙන්නෙ මොකට ? ලජ්ජා බය හිරි ඔතප් මොනවාට ? මා නම් සසර ගැන හිතල පවු කරන්න බය වෙනවා. කාට හරි බණින එක හැරෙන්න මා කරන පවක් නැහැ කියා මට හිතෙන්නෙ. ඒත් මිනිසුන් දන්නෙ මට තරහ යන එක විතරයි. නැහැ මට වැරදුණා ඔවුන් දන්නවා මා මිථ්‍යා මත විශ්වාස කරන පට්ටපල් මෝඩයෙක් කියලත් මට මෙලෝ දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැහැ කියලත්.

 

අද රටේ බහුතරයට බුදුහාමුදුරුවන්ට වඩා බටහිර විද්‍යාඥයන් දාර්ශනිකයන් ශාස්ත්‍රඥයන් වැදගත්. බුදුහාමුදුරුවන්ට වැරදිච්ච  තැන් ගැන දන්න අයත් ඉන්නවා. ඒත් විද්‍යාඥයන්ට වැරදෙන තැන් ගැන දන්නෙ නැහැ. විද්‍යාඥයන්ට හැමදාමත් වැරදෙනවා. ඒක නේ බටහිර විිද්‍යාව හැමදාමත් අලුත් වෙන්නෙ වැරදි තැන් හදාගෙන. ඒත් අලුත් දේත් පස්සෙ වෙනස් කරනවා. ඉතින් අපි කොහොමද ඊනියා දැනුමක් ලබා ගන්නෙ. විද්‍යාවෙ කරන්නෙ එදිනෙදා වැඩ කරන එදා වේල කතා ටිකක් කියන එක විතරයි කියල මා හිතන්නෙ මා මෝඩයෙක් නිසා වෙන්න ඇති. මට නම් බටහිර විද්‍යාව කියන්නෙ එදා වේල කතාවක්. විද්‍යාඥයන් කරන්නෙත් අවසාන වශයෙන් බැලුව එදා වේල කතා කියා එදා වේල හම්බ කර ගන්න එකයි.

 

බුද්ධිමතුන්ට පඬි නැට්ටන්ට අනුව ඉන්ද්‍රිය ගෝචර දේ පමණයි ඇත්ත. ඔවුන් තර්කය විශ්වාස කරනවා. ඔවුන් ඊටත් වඩා බටහිර බුද්ධිමතුන් කියන දේ විශ්වාස කරනවා. සසර ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒක නිසා එය විශ්වාස කරන්නෙ නැහැ. සාක්‍ෂි තිබුණත් විශ්වාස කරන්නෙ නැහැ. ඒත් බටහිර විද්‍යාවෙ එදා වේල කතා විශ්වාස කරනවා ඉන්ද්‍රිය ගෝචර නැති වුණත්. ඇරිස්ටෝටල්ගෙ න්‍යායත් විශ්වාස කරනවා. ඒත් කිසිවකුටවත් A= B හා B=C නම් A=C කියල ඇරිස්ටෝටල්ගෙ න්‍යායට අනුව පෙන්නන්න බැහැ.

 

ඒකට කමක් නැහැ. අද තරුණයන් බුද්ධිමත්. අද අපි පවු කරන්න ලජ්ජා බය නැහැ. නිසා බණ දානවා මිස අහන්නෙ නැහැ. කොහොමටවත් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැහැ.

 

සැළලිහිනියෝ උඹ දන්නෙ නැහැ. පවු පින්  සසර ඇත්තේ නැහැ.  අපි ආතලෙන් ඉන්නවා.