Main Logo

Saturday 21 October 2023

මට අසූව ලැබුවා පමණයි

 

මට අසූව ලැබුවා පමණයි 

 

මට ඊයේ යම්තම් අවුරුදු හැත්තෑනවයක් පිරුණා. දැන් අසූ වියට පා තබලා. මා මහළු බවක් දැනෙන්නේ මගේ විරුද්ධවාදීන්ට. ඔවුන් ඉතා ඉහළ ගණයේ බුද්ධිමතුන් වෙන්න ඕන. නැත්නම් මා මහළු යැයි තීරණය කරාවි ? මැදි විය පසු කළ අයත් මට මෙටාවේ දී සීයා කියනවා. කෙසේ වෙතත් බුද්ධිමතුන් යැයි සිතන්නන් උදෙසා මා තව කාලයක් ජීවත් වන්න බලාපොරොත්තු වෙනවා. මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ වැනි කතා මට අදාළ නැහැ. වෙණ ගායනා පමණක් නොව වෙන වෙන ගායනාත් මට පුළුවන්.

 

මගේ උපන් දිනය වෙනුවෙන් බොහෝ දෙනා සුබ පතා තිබුණා. බටහිරට ෂොපිං යන කිසිවකු සුබ පැතුවා කියා මා හිතන්නේ නැහැ. එසේ කර තිබුණා නම් මට ඇත්තේ කණගාටුවක්. මා හිතන්නේ නැහැ මොටාවේ දෙතුන් දෙදෙනකුට වඩා සුබ පතා තිබුණා කියා. ගැනත් මට ඇත්තේ සතුටක්. ඊනියා දාර්ශනිකයන් විද්වතුන් විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් ජනමාධ්‍යවේදීන් කලාකරුවන් පොත් ප්‍රකාශකයන් ආදී එකී මෙකී නොකී අය සුබ පතා තිබුණේ නැහැ. ඔවුන් තම තමන් විසින් පළ කරන ලද කෘති ගැන දොඩමළු වී ඇති බව පේන්න තියෙනවා. සාහිත්‍ය මාසය  දැන් කොළඹින් අනුරාධපුරයට ගිහින්. මගෙන් අහන්න එපා බරකරත්තයෙන් ගියේ කියා. ඒත් බුද්ධිමතුන්ගේ කතා බහ අනුව නම් පෙනී යන්නේ ලබන වසරේ සාහිත්‍ය නොබෙල් තෑග්ග ලංකාවට හිමි වීමට නියමිත බවයි. සඳහා කෘති කිහිපයක් නිර්දේශ වෙලා.

 

මට සුබ පැතූ අය අතර මහින්ද රාජපක්‍ෂ හිටියා. මා ඔහුට කඩේ යන නිසා වෙන්න ඇති.  නෑ රනිල් සුබ පැතුවේ නැහැ. ඔහු ඉන්නේ චීනයේ නොවැ. ඩයනා ගමගේත් සුබ පැතුවේ නැහැ. ඇයට පාර්ලිමේන්තුවේ ගහ බැණ ගන්න තියෙනවා. කලක් චින්තන පර්ෂදයේ සිටි පාඨලී චම්පක රණවකත් සුබ පැතුවේ නැහැ. ඔහුට ඊශ්‍රායල හමාස් ප්‍රශ්නය විසඳන්න වෙලා. ඒත් බයිඩ්න් ඔහුගේ විසඳුම නිෂේධ බලය යොදා ප්‍රතික්‍ෂෙප කරන්න ඉඩ තියෙනවා. බයිඩ්න්ට හමාස් හම ගහන්න අවශ්‍ය බවක් පේනවා.

 

එක් අයකු කියා තිබුණා උපන් දින සුබ පැතීම සුද්දන්ගෙ වැඩක් නිසා තමා සුබ පතන්නේ නැහැ කියා. ඔහු කියා තිබුණේ ඉංගිරිසියෙන්. සමහර විට සුද්දන්ට තේරෙන්න වෙන්න පූළුවන්. කොහොම වෙතත් ඊයේ දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය එක් වී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආශිර්වාදාත්මක බෝධී පූජාවක් පැවැත්තුවා. එය බුදුදහමට එකඟ කියා බටහිරට  ෂොපිං යන බුද්ධිමත් ගෝත්‍රවාදීන් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. බෝධි පූජා බෞද්ධ සංස්කෘතියට එක් වෙලා. අප මිහිඳු හිමියන් දවස සිට බෝධි පූජා පවත්වනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය බුදුදහම මත පදනම් වුවත් බුදුදහම නො වෙයි.

 

නාලක ජයසේන ඉතා දීරඝ විස්තරයක් ලියා තිබුණා. සමහර කරුණු මටත් අමතක වෙලා තිබුණෙ. සුමේධ වීරවර්ධන හා තවත් අයත් තම තමන්ගේ ගිණුම්වල විස්තර ලියා තිබුණා. .  ඒ අයටත් සුබ පැතු සැමටත් පින්!  දෙතුන් දෙනකු ප්‍රතිචාර ලෙස කියා තිබුණා මට සමහර විට යම් දැනුමක් තියෙන්න පුළුවන් වුණත් බුද්ධිමත්බව නම් බිංදුව කියා. මා බව පිළිගන්නවා. මා බුද්ධිමතකු නොවන බව මා දැනගෙන අවුරුදු පනහකට වැඩියි. මා දන්නා එහෙත් බොහෝ අය නොදන්නා කරුණක් නම් මෙරට බුද්ධිමතුන් නැති බවයි.

 

නාථ දෙවියන් ගැනත් එක් අයකු මතක් කර තිබුණා. ඒකත් හොඳයි. මතු බුදුවන උතුමකු මතක් කරන එකත් හොඳයි. මෙරට දේශීය දෙවියකු මතක් කිරීම ගැන මා සතුටු වෙනවා. නාථ දෙවියන්ට වාහනයක් නැහැ. මා හිතන්නේ මෙරට වැසියන් තම දෙවියන්ට වාහන පහසුකම් දීමට කටයුතු කර නැති බවයි. එය හොඳ ලක්‍ෂණයක්. ආණ්ඩුව වාහන ආනයන තහනම ඉවත් කරන්න යනවා. රනිල්ට බැරි නාථ දෙවියන්ට වාහනයක් වෙන් කරන්න.

 

එක් අයකු පංචමානයක් ගැන කියා තිබුණා. මා හිතුවේ පංචායුධ ගැන කියවනවා කියා. නැහැ පංචමානය ගැන තමයි කියා තිබුණේ. මා දන්නා පංචමනයක් නම් නැහැ. ත්‍රිමාන අවකාශය චතුර්මාන කාල අවකාශය එකොළොස් මාන අවකාශ හා අනන්තමාන හිල්බට් අවකාශය ආදිය ගැන මා දන්නා නමුත් පංචමානයක් ගැන දන්නේ නැහැ. පංචමානවක ලියා ඇති දේ කියවන විට මට මතක් වුණේ අපේ සාහිත්‍යයෙහි කියැවෙන මග මානවක ඡත්ථ මානවක ආදීන්. අවුරුදු හැත්තැවකට ඉහත ගමේ පාසලට යන කාලයේ පාසල ඇරෙන වෙලාවට කී ඡත්ථ මානවක ගාථා.

 

පංචමානවක ගාථා එහෙම නො වෙයි. මහින්ද විරෝධී ගීත. පංචමානවකටත් තියෙන්නේ මා මහින්දට කඩේ යනවා කියන ප්‍රශ්නය. පංචමානවකලා යන්නේ සුපර් මාර්කට් ෂොපිං මෝල්. ඔවුන් කඩේ යන්නෙ නැහැ. පංචමානවක අහන්නෙ මහින්ද දහතුන අහෝසි කළෙ නැත්තෙ ඇයි වගේ ප්‍රශ්න. මාත් කැමතියි දහතුන අහෝසි කළා නම්. ඒත් ඉන්දියාව කිවුවෙ 13+ ක්‍රියාත්මක කරන්න කියා. බලපෑම මැද දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකිරීමත් ජයග්‍රහණයක්.

 

කොහොම වුණත් මහින්ද කොටි පරාජය කළ එක ලොකු වැඩක්. අවුරුදු විස්සකට ඉස්සර බිරිඳ හා සැමියා එක බසයක ගමන කෙළේ නැහැ කොටි බෝම්බ කොයි මොහොතෙ පිපිරෙනවා දන්නෙ නැති නිසා. අද ප්‍රශ්න නැහැ. පංචමානවකලටත් ඕන තැනක යන්න පුළුවන්. පරගල කරන්නත් පුළුවන්. ගාලුමුවදොර බිරියානි කන්න යාඥා කරන්නත් පුළුවන්. මට අහන්න තියෙන්නෙ එක ප්‍රශ්නයයි. මහින්ද නොහිටින්න කොටි පරාද කරන්න දේශපාලන නායකත්වය දෙන්නෙ කවුද කියලා. කියන්න බුද්ධියක් නැති මා මහින්දට කඩේ යනවා කියලා.