Main Logo

Sunday 1 October 2023

අන්න බලන් සඳ

 අන්න බලන් සඳ


හඳ බලන්නෙ නැති වෙලාවට හඳ තියෙනවා ද? මෙය අයින්ස්ටයින් බොහොම කාලෙකට ඉස්සර අහපු ප්රශ්නයක්. ඒක ඇහුවෙ බෝර්ගෙ ගෝලයන්ගෙන් කියන්න පුළුවන්. බොර් ඩෙන්මාකයෙ හිටපු බොහොම ප්රසිද්ධ භෞතික විද්යාඥයෙක්. ඔහු ක්වොන්ටම් භෞතික විද්යාවෙ නිරමාතෘවරයෙක්. ක්වොන්ටම් භෞතික විද්යාවට ඔහු විවරණයක් දුන්නා. ඒක කෝපන්හේගන් විවරණය කියල හඳුන්වනවා. කෝපන්හේගන් කියන්නෙ ඩෙන්මාකයෙ අගනුවර.

අයින්ස්ටයින්ට ඒ ප්රශ්නය අහන්න හේතුවක් තිබුණ. කෝපන්හේගන් විවරණය අනුව ක්වොන්ටම් අංශුවක් යම් ශ්රිතයකින් නිරූපණය වෙනවා. ශ්රිතයක් කියන්නෙ විචල්ය (වෙනස් වෙන අගය) කිහිපයක අගය දුන්න ම තවත් විචල්යයක අගය නිර්ණය කිරීමට යොදා ගන්නා සූත්රයක් කියා දළ වශයෙන් කියන්න පුළුවන්. ගණිතයේ ශ්රිතයක් නිර්වචනය කරන්නෙ එහෙම නොවෙයි. අපට ඒ තරමට ගණිතය අවශ්ය නැහැ.

අංශුවක් නිරූපණය කරන ශ්රිතයට ක්වොන්ටම් භෞතිකයෙදි තරංග ශ්රිතය කියා කියනවා. ඒ ශ්රිතය ෂ්රොඩිංගර්ගෙ සමීකරණය සපුරාලන ශ්රිතය. දැන් මේ ශ්රිතයෙන් අංශුව නිරූපණය කළත් එය සම්පූර්ණ කතාව නොවේ කියලයි අයින්ස්ටයින් කිව්වෙ. අංශුවෙ ඇතැම් ගුණයක් (ගුණයක ප්රතිබද්ධය) දැන ගැනීමට ඒ ගුණය මනින්න ඕන. මනින්න ඉස්සෙල්ල අංශුවට ඒ ගුණයට අදාළ වන අගය නැහැ. එහෙමත් නැත්නම් අගය ගණනාවක් තියෙනවා. ඒ ගුණය මැන්න ම අර අගයන්ගෙන් එකක් ලැබෙනවා.

දැන් මනින්න ඉස්සෙල්ල තරංග ශ්රිතයෙන් අගය ගණනාවක් ගැන කියැවෙනවා. මැන්න ම ඉන් එක් අගයක් ලබා ගන්න පුළුවන් සම්භාවිතාව නැත්නම් ඒ සඳහා ඇති ඉඩකඩ පමණක් කියනවා. නිශ්චිත ව අහවල් අගය ලැබෙනවා කියන්න බැහැ. ඒක නිව්ටන්ගෙ භෞතිකයෙ කතාවට වෙනස්. නිව්ටන්ගෙ කතා අනුව ගුණය මනින්න ඉස්සෙල්ල ඒ ගුණයේ අගය කීය ද කියල කියන්න පුළුවන් ගණනය කිරීමෙන්.

අයින්ස්ටයින් මේ ක්වොන්ටම් කතාවට එකඟ වුණෙ නැහැ. ඔහුට අවශ්ය වුණෙ සම්භාවිතා නැතුව අගය ගණනය කරන්න පුළුවන් කතාවක්. සම්භාවිතාව කීම හරියට දාදුවක් උඩ දාල අහවල් පැත්ත වැටෙන්න කොපමණ ඉඩක් තියෙනවා ද කියනවා වගේ වැඩක්. අයින්ස්ටයින් ඒ නිසා කිව්ව දෙවියන් වහන්සේ දාදු ක්රීඩා කරන්නෙ නැහැ කියල. ඔහු දෙවියන් වහන්සේ කිව්වෙ එක් අතකින් ස්වභාව ධර්මයට.

මනින කතාවට අනුව අංශුවේ අදාළ ගුණය මනින්න කලින් අපි ඒ ගුණය දන්නෙ නැහැ. මැනල ම බලන්න ඕන. අයින්ස්ටයින් ඒ සම්බන්ධයෙන් තමයි අර හඳේ කතාව කිව්වෙ. අපි හඳ බලන්නෙ නැත්නම් හඳ තියෙනවා ද? අංශුවේ ගුණය මනින්නෙ නැත්නම් (බලන්නෙ නැත්නම්) ගුණය තියෙනවා ද? අයින්ස්ටයින් යථාර්ථවාදියෙක් වුණා පමණක් නොව යථාර්ථය නිශ්චිත ව දැන ගැනීමට පුළුවන් කියන අයකු ද අපෙන් තොරව යථාර්ථයක් ඇති බව පවසන අයකු ද වුණා.

අප හඳ බලන්නෙ නැති වෙලාවට හඳ තියෙනවා ද? බුදුදහම අනුව එයට දෙන්න පුළුවන් පිළිතුර කුමක් ද? හඳ බලන්නෙ නැති වෙලාවට හඳ නැහැ. හඳ බලන්නෙ නැති වෙලාවට හඳ නැත්තෙත් නැහැ. ඒ අර වච්චගොත්තට දුන් පිළිතුර අනුව. විස්තර පසුවට. එතකන් හඳට බිරුවත් කමක් නැහැ.