ලංකාවේ ඊනියා දෙමළ බෞද්ධයෝ
නිර්මලා චන්ද්‍රහාසන් ලිපියක් ලියල උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක අගයක් ඇති භූමිවල බෙදා හදාගත් උරුමය මැයෙන්. මෙය ඒ ලිපියට පිළිතුරක් ම නො වෙයි. ඒ ලිපියෙහි පිළිතුරු දෙන්න තරම් දෙයක් නැහැ. ඇයගේ ලිපියෙන් කියැවෙන්නේ තමිල්නාඩුවේ දෙමළ බෞද්ධයන් එක්තරා යුගයක සිටි බැවින් ලංකාවේ ද දෙමළ බෞද්ධයන් ඉන්නට ඉඩ ඇතැයි යන්නයි. මෙරට දෙමළ බෞද්ධයන් සිටි බවක් ඇය නිශ්චිත ව කියන්නේ නැහැ. එසේ කියන්නේ නැත්තේ ඒ සඳහා සාක්‍ෂි නැති බැවින් කියන එක පැහැදිලියි.
නිර්මලා චන්ද්‍රහාසන් කියන්නේ චෙල්වනායගම්ගේ ලේලියක්. චෙල්වනායගම් නම් ඇංග්ලිකන් ක්‍රිස්තියානි.
ඔහු මදුරාසි ඇංග්ලිකන් සභාවෙ බැතිමතෙක්. ලේලි මොන ආගමේ ද කියන්න මා දන්නෙ නැහැ. කිසිවකු පරණවිතාන මතය පිළිගනිමින් මෙරට ක්‍රිස්තියානින් හිටි බවත් මුගලන් රජු ක්‍රිස්තියානි යැයි කීමටත් පෙළඹිලා නැහැ. කාට හරි මතයක් ඉදිරිපත් කරන්න බැරි ද මෙරට දෙමළ ක්‍රිස්තියානින්
ද හිටියා කියා.
උතුරු
හා නැගෙනහිර පළාත් යනුවෙන් පළාත් ඇති කෙළේ ම ඉංගිරිසින්. ඔවුන් පළමුවෙන් ලංකාව බෙදුවෙ පළාත් පහකට. එහි දී උතුරු පළාතට අනුරාධපුරයත් අයිති වුණා. ඔවුන් පළාත් නවයකට බෙදුවෙ 1889 අවුරුද්දෙ, එ ආනන්ද විදුහල ආරම්භ කළාටත් පස්සෙ. ඓතිහාසික වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල කිසි වටිනාකමක් නැහැ. 1889 ට පෙර එවැනි පළාත් තිබුණෙ නැහැ. අර පළමු පළාත් පහ ඒ විධියට ම තිබූණ නම් වෙල්ලාලයන්ට අනුව අනුරාධපුරයත් දෙමළ නිජභූමියක් වෙන්න තිබුණා.
උතුරු
හා නැගෙනහිර පළාත් ගැන අප කතා කරන්නේ වර්තමාන ඇහැකින්. නැගෙනහිර පළාත රුහුණු රටේ කොටසක්. රුහුණු රටේ දෙමළ ජනයා පදිංචි වී සිටි බවට ඇති සාධක මොනවා ද? උතුරු පළාත කියන්නෙ පිහිටි රටේ නැත්නම් රජ රටේ කොටසක්. එහි දෙමළ ස්ථිර වාසස්ථාන ඇති වුණෙ කවදා සිට ද?
ඒ රටවල් දෙකේ දෙමළ බෞද්ධ සිද්ධස්ථාන තිබූ බවට එක සෙල්ලිපියක් හොයා ගන්න පුළුවන් ද? මෙරට අද ඉන්න දෙමළ කතා කරන ජනකොටස් තුන අප රටේ සමාන අයිතිවාසිකම් ඇති ජනයාගෙන් සමන්විත බව අප කවුරුත් පිලිගන්නවා. එහි කිසිම ගැටළුවක් නැහැ. වෙල්ලාලයන්ට අවශ්‍ය එයට වැඩ දෙයක්. මෙරට ඉන්න සිංහල ජනයා අතරත් විවිධ කාලවල දඹදිවින් හරි වෙනත් ප්‍රදේශයකින් හරි පැමිණ සිංහල සංස්කෘතියට අවශෝෂණය වූ අය ඉන්නවා. ජාතිය ජනවර්ගය ජානවලින් නිර්ණය කිරීමට යෑම කිසිසේත් ම සුදුසු නැහැ.
මෙරට
දෙමළ ජනකොටස් තුනෙන් එකක් යාපනය අශ්‍රිත ප්‍රදේශවල. තවත් කොටසක් අද නැගෙනහිර පළාත කියන ප්‍රදේශයේ. තුන්වැනි කොටස කඳුකරයේ. මේ අය විටින් විට මෙරටට පැමිණි අය හෝ ආනයනය කළ අය හෝ. නැගෙනහිර පළතේ දෙමළ ජනකොටස සම්පූර්ණයෙන් ම මෙන් ඉංගිරිසින් ගෙනා පිරිසකගෙන් සමන්විත වෙන්නෙ. කඳුකරයේ දෙමළ ජනකොටසත් එහෙමයි. ඔවුන් අතර සම්බන්ධය දෙමළ කතා කිරීම පමණයි. උතුරේ දෙමළ ජනකොටස පිරිස් තුනකින් සමන්විතයි. එක් පිරිසක් දහතුන්වැනි සියවසේ පමණ මලබාර් (කේරළ) ප්‍රදේශයෙන් පැමිණි කරෙයිවර් මඩපල්ලි කුලවලට අයත් අය. ඒ අතර වෙල්ලාලයන් ද ටික දෙනෙක් හිටියා. එහෙත් වෙල්ලාලයන් වැඩි කොටස ලන්දේසීන් තම දුම්කොළ වගාවට ගෙනා පිරිස්. පෘතුගීසි සමයේ කරෙයිවර් මඩපල්ලි කුලවලට තනතුරු ලැබුණු නමුත් ලන්දේසින් එය වෙනස් කර වෙල්ලාලයන්ට තනතුරු ලබා දුන්නා. යාපන ජනකොටස සමන්විත වෙන තුන්වැනි පිරිස එහි සිටි සිංහලයන්. ලන්දේසින් ඔවුන් තේසවලාමේ නීති මගින් වෙල්ලාලයන්ගේ වහලුන් බවට පත් කළා. යාපනයේ දෙමළ ජනකොටසේ ජානවල හා සිංහලයන්ගේ ජානවල සම්බන්ධයක් තිබීම නම් අහම්බයක් නො වෙයි.
දෙමළ
ජනකොටස් තුනෙන් බෞද්ධයන් ව සිටියේ කලින් සිංහලයන් වූ පිරිසයි. අද ඔවුන් හින්දු සමාජයේ ඊනියා අඩුකුල පිිරිස බවට පත් කරලා. එයින් කියන්නේ හිටපු බෞද්ධයන්ට අද තියෙන තැන. අනෙක් අතට මෙරට දෙමළ බෞද්ධයන් ඉන්න නම් පළමුව දෙමළ ජනකොටසක් ස්ථිර පදිංචි වෙලා ඉන්න ඕන. යාපන විශ්වවිද්‍යාලයේ පළමු ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ තම ආචාර්ය උපාධි නිබන්ධයේ නිශ්චිත ව කියනව මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන ඇති වුණෙ දහතුන්වැනි සියවසෙන් පසුව කියා. එ නිබන්ධයේ පිටපතක් මා සතුව තියෙනවා. දහතුන්වැනි සියවසට පෙර මෙරට දෙමළ බෞද්ධයන් ගැන කතා කිරීම කිසිම න්‍යායකට ගැලපෙන්නේ නැහැ.
තවත්
කරුණක් කියන්න ඕන. මහාවංසය සොළී කී පමණින් ඒ සියල්ලන් සොළි වන්නේ නැහැ. අපේ වංස කතා දෙමළ සොළී වචන යොදන්නේ නිශ්චිත අර්ථයකින් නො වෙයි. පෘතුගීසීන්ටත් දෙමළ කියා තියෙනවා. අනෙක් අතට ඉන්දියාවේත් අද ඇති ප්‍රාන්ත බෙදීම් අනුව ඓතිහාසික බෙදීම් ගැන කතා කරන්නත් බැහැ. ද්‍රවිඩ පළාත්වල බෞද්ධයන් වූයේ ආන්ද්‍ර ප්‍රදේශයේ වැසියන්. කාන්චිපුරම් අද තමිල්නාඩුවේ තිබුණත් එකල අද කියන විධියට නම් තිබුණේ ආන්ද්‍ර ප්‍රදේශයේ. බුද්ධඝෝෂ හිමියන් බුද්ධදත්ත හිමියන් මෙරටට වැඩම කෙළේ ආන්ද්‍ර ප්‍රදේශයෙන්.
දකුණු
ඉන්දියාවේ බුදුදහම ව්‍යාප්ත වුණේ හත්වැනි සියවසට පෙර විශේෂයෙන් ම පල්ලව කාලයේ. පල්ලව රාජ්‍යය අද ආන්ද්‍ර ප්‍රදේශයේත් තමිල්නාඩුවේ උතුරේත් තිබුණා. දඹදිව කිසි දා නිශ්චිත දේශ සීමා සහිත රාජ්‍ය තිබූ භූමියක් වුණේ නැහැ. හත්වැනි සියවසෙන් පසු දකුණු ඉන්දියාවේ ම බුදුදහම දුර්වල වුණා. අටවැනි සියවසේ අධිසංකරාචාර්යතුමාගෙන් පසුවයි හින්දු ආගම පැතිර ගියේ. මෙරට පැමිණි සොළීන් හින්දු. ඔවුන් පොළොන්නරුවේ බෞද්ධ සිද්ධස්ථාන තිබූ තැන්වල ශිව දෙවියන්ට කෝවිල් හැදුවා. දහහතරවැනි සියවස වන විට දකුණු ඉන්දියාවෙන් බුදුදහම අතුරු දහන් වෙලා. මෙරටට දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ බෞද්ධ ජනකොටසක් නැහැ.
දෙමළ වෙල්ලාලයන්ගේ අරමුණ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂත්වය නැති කිරීමයි. චෙල්වනායගම්ගේ ලේලියගේ අවශ්‍යතාවත් එයයි. එහෙත් දැන් අවුරුදු සියයක් පමණ එසේ කිරීමට තැත්කර වෙල්ලාලයන් අත්කරගෙන ඇති දෙයක් නැහැ.