Main Logo

Thursday 28 September 2023

ඉන්දියාවේ බයිලා

 

ඉන්දියාවේ බයිලා

 

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා පළාතේ සික් නායකයාගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ කියන්න මා දන්නේ නැහැ. එහෙත් මේ කතාවෙන් පිළිබිඹූ වන කරුණක් තියෙනවා. ඉන්දියාවේ දෙබිඩි පිළිවෙතයි, කුහකත්වයයි.  සික් ජාතිකයන් ඉන්දියාවේ වෙන රාජ්‍යයක් ඉල්ලා සටන් කරනවා. ඉන්දියාවේ ඇත්තේ ව්‍යාජ  සන්ධීය (pseudo federal) රාජ්‍යයක් කියා කියනවා. එසේ තිබියදීත් සික් ජාතිකයන් වෙන රාජ්‍යයක් ඉල්ලනවා.

 

ඉන්දියාච භාරතය නමින් හැඳින්වීමට දරණ උත්සාහය කුමක් වෙනුවෙන් කියා හිතා ගන්න පුළුවන්. අද ඉන්දියාව නමින් හැඳින්වෙන දේශයේ කිසි දිනෙක එක් රාජ්‍යයක් තිබී නැහැ.  භාරතය නමින් ඉතිහාසයේ රාජ්‍යයක් නැති ප්‍රදේශයක් ගැන කියැවෙනවා. එය හිමාලයේ සිට දකුණේ මහා සාගරය දක්වා විහිදුනා කියනවා. ඉන්දියාව මේ තැත් කරන්නේ කිසිම රටක් රාජ්‍යයක් නොතිබූ තැනක රජ්‍යයක් තිබුණු බව කියන්නයි.

 

ඉංගිරිසින් එන විටත් ඔය ඉන්දියාව කියන දේශය කෑලි කෑලි හැටියට තිබුණෙ. ඇතැම් පළාත්වල ඊනියා මහාරාජල හිටියා. ඇතැම් මහරාජලට තිබුනෙ පොඩි රාජ්‍ය. පොඩිරාජා කිව්ව නම් හොඳය කියලත් හිතෙනවා. ඉංගිරිසින් තමයි සියල්ල එකතු කර මහාරාජල ගැනත් බලාගෙන ඉන්දියාව කියල රටක් හැදුවෙ. රටට අද තියෙන පකිස්ථානයත් බංග්ලාදෙශයත් අයත් වුණා.

 

කවුරු හරි කියයි දන්නෙ නැහැ  රාම රාවණ පරාජය කරල ලංකාවත් භාරතයට ඇඳා ගත්තා කියල. විභීෂණ රාමගේ නියෝජිතයා හැටියට රට පාලනය කළා කියන්නත් බැරි නැහැ. තව ටිකෙන් ඉංගිරිසි පෙරදිග වෙළෙඳ සමාගම යටතෙ තිබුණ විධියට ලංකාවෙ මුහුදුබඩ පෙදෙස් දිගට මදුරාසියෙන් පාලනය කළා නම් ලංකාවත් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙන්න තිබුණ. කොහොම හරි අපි ඒවයින් ගැලවිලා.

 

පන්ජාබයට නැත්නම් පංචනදී ප්‍රදේශයට දිර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඇලෙක්සැන්ඩර් රජුගෙ කාලයෙත් පන්ජාබය වෙන ප්‍රදේශයක් හැටියට තිබිලා. එක් පුරාවෘත්තයකට අනුව සිංහලයන් පන්ජාබය පැත්තෙන් පැමිණි අයගෙනුත් පැවත එනවා. මා කියන්නෙ නැහැ පන්ජාබය වෙන රටක් බවට පිළිගත යුතු කියා. එහෙත් ඉන්දියාව පන්ජාබ ප්‍රශ්නය තියාගෙන අපේ ප්‍රශ්නවලට, ඇත්තට ඉන්දියාව හා බටහිරයන් හදපු ප්‍රශ්නයකට මැදිහත් වෙලා අප ලවා ඔවුන්ට අවශ්‍ය විධියට රට කරවන්න හදනවා.

 

මෙරට ඇත්තේ දෙමළ ප්‍රශ්නයක් නො වෙයි. එය වෙල්ලාලයන්ගේ ප්‍රශ්නයක්. ලන්දේසි කාලෙ මෙරටට ආනයනය කරනු ලැබූ පිරිසක් එතෙක් යාපනයේ සිටි සිංහලයන් ඊනියා අඩුකුල බවට පත්කර වහලුන් කර පෘතුගීසීන්ගෙ කාලයෙ නිලතල දැරූ ඉන් ටික කලකට පෙර පැමිණි කරෙයිවර් හා මඩපල්ලි කුල පහත දමා යාපනයේ හින්දු කුල පීඩනයක් ඇති කිරීමත් පසුව ඉංගිරිසින්ගෙ අනුග්‍රහයෙන් රටේ ඉහළ පදවිවලට පත් වී රටේ නායකත්වය පැතීමත් තමයි මෙරට ප්‍රශ්නය. ඉන්දියාව පසු කලෙක වෙල්ලාලයන් යොදා ගත්තා ලංකාවට තම අණසක පැතිරවීමට. එහි දී ඉන්දියාව බටහිරත් සමග කටයුතු කළා.

 

ඉන්දියාව තමයි දහතුන අප මත පැටෙව්වෙ. එයින් ඔවුන්ට අවශ්‍ය උතුරු හා නැගෙනහිර  පළාත් එක් කර වෙල්ලාලයන්ට භාර දී එමගින් තම අණසක පතුරවන්න. ඊනියා සාම සාධක හමුදාව එව්වෙත් අරමුණෙන්. එහෙත් කරෙයිවර් කුලයේ ප්‍රභාකරන් එයට කෑමැත්තක් දැක් වූයේ නැහැ.  ජනාධිපති ප්‍රේමදාසත් ඉන්දියාවෙ මැදිහත්වීමට කැමති වුණෙ නැහැ. ජේ ආර් හරි ඔහුගෙ හෙංචයියකු හරි එකල ජනාධිපතිවෙලා හිටිය නම් ඊනියා සාම සාධකයන් මෙරට පැල් බැඳගන්න තිබුණා. ප්‍රේමදාස රටේ මතයට ගරු කළා.

 

ඉන්දියාවෙ බොරුව තමයි ඊනියා දෙමළ ජනයාට ඉංගිරිසින් ඇති කළ උතුරු හා නැගෙනහිර පළාත්වල යම් ස්වාධිපත්‍යයක් දුන්නොත් රට දෙකඩ කරන්නෙ නැතුව පවත්වගෙන යන්න පුළුවන් කියන එක. එහෙත් අපට අහන්න තියෙන්නෙ පන්ජාබය ව්‍යාජ සන්ධීය රාජ්‍යයක හිඳිමිනුත් වෙන රාජ්‍යයක ඉල්ලන්නෙ ඇයි කියන එක. අපි දහතුනට එකඟ නැහැ. ඒත් දහතුන දුන්නත් ව්‍යාජ සන්ධීය රාජ්‍යයක් ගොඩ නැගුවත් වෙල්ලාල අවශ්‍යතා ඉටුවෙන්නෙ නැහැ. වෙන රාජ්‍යයක් ඉල්ලීමට ව්‍යාජ සන්ධිය රාජ්‍යය විසඳුමක් නොවන බව සික් ප්‍රශ්නයෙන් පැහැදිලි වෙද්දී බටගොඩ (වඩුකොඩෙයි) යෝජනාවලින් වෙල්ලාලයන් ඊනියා නිජබිමක් ගැන කතා කරද්දී  ඉන්දියාව අපට බයිලා කියන්නේ ඇයි?

 

වෙල්ලාලයන් 1917 සිට තමන්ට රටේ නායකත්වය නොලැබෙන බව පෙනී ගිය විට දෙමළ ජාතිවාදයක් බිහි කළා. 1949 දී ඔවුන් පිහිටු වූ පක්‍ෂය හැඳින්වූයේ ඉලංකෙයි තමිල් අරසු කච්චි නැත්නම් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය කියා. එහූ වෙල්ලාලයන්ට දහතුන දීම පණින රිලවුන්ට ඉනිමං බැඳීමක්. ඉන්දියාව අපේ නැති ප්‍රශ්නයකට ඊනියා විසඳුම් ඉදිරිපත් කරන්නේ තම රටේ ඇති ප්‍රශ්නයට විසඳුමක් නොදී.

 

පන්ජාබය ඉතිහාසයේ සවාධීන රාජ්‍යයක් හැටියට ඇතැම් කාලවල පැවතිලා තියෙනවා. එහෙත් වත්මන් උතුරු පළාතේ කිසි දිනෙක ස්වාධීන රාජ්‍යයක් තිබී නැහැ. එහි ටික කාලයක් පාණ්ඩ්‍ය විජයනගර් රාජ්‍යවල පමණක් නොව මුස්ලිමුන්ගේ අනුමැති රාජ්‍ය පැවතිලා තියෙනවා. එහෙත් සිංහල රජවරු විටින් විට එහි බලය අත්පත් කරගෙන තියෙනවා. අවසානයේ දී 1620 දී පෘතුගීසීන් යාපනය යටත්කර ගෙන ඇත්තේ සෙනරත් රජුගෙන්. කියන්නේ යාපන ප්‍රදේශය පෘතුගීසීන් යටත් කර ගෙන ඇත්තේ සිංහල රාජ්‍යයෙන්. එවැනි ඉතිහාසයක් ඇති රටක් රාජ්‍යයක් ගැනයි කිසි දා රටක් රාජ්‍යයක් නොතිබූ ඉන්දියාව කතා කරන්නේ. පෘතුගීසි බයිලා හොඳට කියන්නේ ඉන්දියාව ?