Main Logo

Monday 11 September 2023

ඕපන්හයිමර් හා පඬි නැට්ටෝ

ඕපන්හයිමර් හා පඬි නැට්ටෝ

 

පඬි නැට්ටන්ගේ ප්‍රබුද්ධ ප්‍රතිචාර ලියා දැක්වීම සම්බන්ධයෙන් ඇතැම් ජාතිකවාදීන්ට ප්‍රශ්න මතුවෙලා. ඔවුන් හිතන්නේ ප්‍රතිචාර දැක්වීමෙන් මා පඬි නැට්ටන්ට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙනවා කියා. මා කිසිම පඬි නැට්ටකුගේ නමක් ගමක් සඳහන් කර නැහැ. ඔවුන්ට ලැබෙන ප්‍රසිද්ධියක් නැහැ.  එහෙත් මට අවශ්‍ය වෙනවා පඬි නැට්ටන් මට එසේ ප්‍රතිචාර දක්වන්නේ ඇයි කියා දැන ගන්න. එයට හේතුව පඬි නැට්ටන් ගුණදාස අමරසේකර ඇතුළු වෙන කිසිම ජාතිකවාදියකුට එලෙස පරිභව නොකරන නිසා. පඬි නැට්ටන් පොදුවේ ගත් කළ භික්‍ෂුන් වහන්සේට පරිභව කරන්නේ බ්‍රවුන්රිග්ගේ අවජාතක දරුවන් නිසා. ඔවුන් බ්‍රවුන්රිග් මෙන් භික්‍ෂූන් වහන්සේට කියන්නේ කහකඩයන් කියා.

 

බ්‍රවුන්රිග් දැන සිටි කරුණ නම් භික්‍ෂූන් වහන්සේ සිටින තාක් ඉංගිරිසින්ට මෙරට යටත් කරගන්න බැරි බව. අප 1815 දී ගිවිසුමකින් රට ඉංගිරිසි රජුට භාර කළා මිස යටත් වුණේ නැහැ. අදිකාරම්වරුන් ආදීන්ගේ නිලතල එසේ තිබුණා පමණක් නොව බුද්ධාගම හා දේවාගම රැකීමටත් පෝෂණය කිරීමටත් ඉංගිරිසින් බැඳී සිටියා. ඉංගිරිසි ක්‍රිස්තියානින් වෙනත්ආගමක්” රැකීමට පොරොන්දු වී ඇත්තේ වෙන මොන රටේ ? බැඳීම සම්බන්ධයෙන් ඉංගිරිසි යටත් විජිත පාලකයන් සතුටක් දැක්වූයේ නැහැ.

 

එහෙත් ඉංගිරිසින් ගිවිසුම කඩා දන්තධාතූන් වහන්සේගේ භාරකාරත්වයෙන් නිිදහස් වුණා. 1840 දී. රනිල් මේ රට සුරපුරයක් කරන්න යන 2048 අවුරුදු දෙසීයකට පමණ පෙර. 1814 ඇරඹූ ඉංගිරිසි ක්‍රිස්තියානි පාසල් මගින් අප සංස්කෘතියෙන් ක්‍රිස්තියානි කළා. ථෙරවාදී රටවල්වලින් ලාඕසය හැරෙන්න අනෙක් රටවලට මා ගොස් තියෙනවා. ශ්‍රද්ධාවෙන් අඩුම බෞද්ධයන් ඇත්තේ ලංකාවේ. ඇමෙරිකාවේත් ඉන්න වෙනත් ථෙරවාදී බෞද්ධයන් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන්ට වඩා ශ්‍රද්ධාසම්පන්නයි. අවුරුදු දෙසීයක පමණ ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ප්‍රතිඵල. අද සිංහලයන් අතර ඇත්තේ ඊනියා විද්‍යාත්මක බුද්ධාගම්කාරයන්. අමරසේකරත් සසරක් ගැන විශ්වාස නොකරන විද්‍යාත්මක බුද්ධාගම්කාරයෙක්.

 

පඬි නැට්ටන් ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය පිළිගන්නා ඊනියා විද්‍යාත්මක චින්තනයක් ඇත්තවුන්. මෙරට එකදු විද්‍යාඥයකුවත් බිහි වී නැතත් බොහෝ නාමික විද්‍යාඥයන් මොටාවේ හා ඊනියා පර්යේෂණ ආයතනවල ඉන්නවා. මොටාවේ ශාස්ත්‍ර පීඨවලින් පිටවන්නෙත් විද්‍යාත්මක චින්තනයක් ඇතියවුන්. ඔවුන් අර ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය රැකීමට බැඳී ඉන්නවා. මා ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට හිස නොනමන බැවින් පඬි නැට්ටන්ට මා කෙරෙහි ඇත්තේ දැඩි වෛරයක්. ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ද්වේෂයෙන්. ඔවුන් පමණක් නොව ඇතැම් ජාතිකවාදීන් මා ඉදිරිපත් කර ඇති ඥානවිභාගයට හා සත්භාවවේදයට විරුද්ධයි. අපේ ක්‍රමය අනුව බටහිර මෙන් නොව ඥානවිභාගය (epistemology) හා සත්භාවවේදය (ontology) එකක්.

 

කෙසේ නමුත් මෙහි ඇත්තේ ඉංගිරිසි ක්‍රිස්තියානි දැනුම් ආධිපත්‍යය හා සමස්තයක් ලෙස ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය රකින පඬි නැට්ටන් හා මා අතර ගැටුමක්. පද්ධතිය රකින පඬි නැට්ටන් මා  විහිළුකාරයකු මෝඩයකු පසුගාමියකු මොලේ ස්නායු වැඩ කරන්නෙ නැති නාකියකු හා අවසාන වශයෙන් රාජපක්‍ෂවාදියකු බව කියනවා. මට ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතියට විරුද්ධ කළ හැකි දෙයක් නැහැ. මා අවුරුදු තිස්පහකට වැඩි කාලයක් ලියා ඇති කිසිවකගෙන් කිසිම ඵලක් වී නැහැ. ඒත් ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය එයට විරුද්ධ හඬක් නැගීමටවත් ඉඩක් දෙන්නෙ නැහැ.

 

බොහෝ පඬි නැට්ටන් ඕපන්හයිමර් චිත්‍රපටය බලා ඇති. ඔවුන් සමහර විට සිනමා සංවාදත් පවත්වා ඇති. මා පඬි නැට්ටන් මෙන් සිනමාව හදාරා නැහැ. සිනමා විචාරයත් මට එහි කතාව පිළිබඳ විචාරයක්. අශෝක හඳගම විමුක්ති ජයසුන්දර වැන්නන්ගේ චිත්‍රපට නරඹන්නේ නැතුව විචාරයට ලක් කරන්න පුළුවන්. ඔවුන්ගේ කතා වස්තු සිංහල බෞද්ධ විරෝධී. ඔවුන් ඊනියා ඉහළ ගණයේ සිනමා අධ්‍යක්‍ෂවරුන් වන්නේ කතා වස්තු පඬි නැට්ටන්ට හා ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතියට රුචි නිසා.

 

ඕපන්හයිමර් චිත්‍රපටය නැරඹු අය සමහර විට හිතනවා ඇති එය ඕපන්හයිමර් හා පරමාණූ බෝම්බය නිෂ්පාදනය කිරීම පිළිබඳ කතාවක් කියා. මට නම් හිතෙන්නේ එය ඇමරිකානු රාජ්‍යාරක්‍ෂාව හා ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය රැකීම පිළිබඳ කතාවක් කියා. ඕපන්හයිමර් සංස්කෘතෙන් භගවද්ගීතය කියවූ තැනැත්තෙක්. ඔහූ ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෙක්. ඇමරිකාවට ක්වොන්ටම් භෞතික විද්‍යාව හඳුන්වා දී ඇත්තේ ඔහු. ඇමරිකානුවන්ට පරමාණූ බෝම්බය අවශ්‍ය වූයේ රාජ්‍යාරක්‍ෂාවට හා ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය රැකීමට. අද ඔවුන් යුක්‍රේනයේ කරන්නේත් ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය තහවුරු කිරීම.

 

ඉංගිරිසින් හා ඇමරිකානුවන් පෞද්ගලිකත්වය රැකීම ගැන කතා කළත් යටින් ඇත්තේ සමස්ත ක්‍රිස්තියානි ආධිපත්‍යය රැකීමයි. සමස්තයට පෞද්ගලිකත්වය යටයි. ඕපන්හයිමර්ට පරමාණු බෝම්බය නිෂ්පාදනය කිරීම බුද්ධිමය කටයුත්තක්. බෝම්බය නිසා ඔහු මරණය ගෙන එන්නකු බවට පත්වෙනවා. ඔහුට භගවද්ගීතය මතක් වන්නේ හිත හදාගන්න. ඕපන්හයිමර් කලක් මාක්ස්වාදී අදහස් ගැන බුද්ධිමය උනන්දුවක් දැක්වූ අයෙක්. ඔහුගේ භාර්යාව කලකට පෙර කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකාවක් ඉඳලා. මේ සියල්ල මැද ඇමරිකානු රාජ්‍යාරක්‍ෂාවට ඔහු ප්‍රශ්නයක් වෙනවා.

 

ඇමරිකානුන් සෝවියට් දේශයට විරුද්ධයි. ඊනියා මාක්ස්වාදයක් නිසාවත් සමාජවාදයක් නිසාවත් නො වෙයි. ලෙනින්ගේ සෝවියට් දේශය ඇමරිකානු බිරිතානි සංස්කෘතියට පිටින් ඇති නිසා. අදත් බිරිතානිය හා ඇමෙරිකාව රුසියාවට විරුද්ධවන්නේ පුටින් මාක්ස්වාදියකු නිසා නො වෙයි. ඉංගිරිසින් දැන ඉන්න ඇති මාක්ස්ගේ විහිළුවලින් තම පද්ධතියට අබමල් රේණුවක හානියක් නොවන බව. එසේ නොවන්නට මාක්ස්ට එංගලන්තයේ ජීවත්වීමටත් බිරිතානි කෞතුකාගාර පුස්තකාලය පරිහරණය කිරීමටත් ඉංගිරිසින් ඉඩ දේවි ?

 

ඇමරිකාව හා එංගලන්තය හා අනෙක් බටහිර රටවල් ජර්මනියට ජපානයට හා ඉතාලියට විරුද්ධ වුණේ ඔවුන්ගේ යුදෙවු විරෝධය නිසා නොවෙයි කියා මට හිතෙන්නෙ. ෂේක්ස්පියර් මර්චන්ට් ඔෆ් වෙනිස් ලියා ලෝකයට කිවුවෙ යුදෙවු විරෝධය. එහෙත් හිට්ලර්ගෙ නැගිටීමත් සමග බිරිතානියට හා ඇමරිකාවට සිද්ධ වුණා තම පද්ධතිය රැකගැනීම හා රාජ්‍යාරක්‍ෂාව වෙනුවෙන් ස්ටැලින් සමග එක පෙරමුණකට එන්න. එය ඉතා තාවකාලික වූවක්. යුද්ධ ජයග්‍රහණයෙන් පසු බිරිතානියත් ඇමරිකාවත් නැවතත් සුපුරුදු සෝවියට් විරෝධය පටන් ගත්තා. ඕපන්හයිමර්ට ප්‍රශ්න ඇති වුණා. ඔහුගේ වාම බුද්ධිමය අදහස් භාර්යාව කලකට පෙර කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකාවක් වීම ආදිය ඕපන්හයිමර්ට බලපෑවා.

 

මෙහි දී පැහැදිලි වන්නේ ඇමරිකාවේ ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය ක්‍රියා කරන ආකාරයයි. පරමාණූ බෝම්බය හැදීමට මුල් වූ මැන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥයා ඔහු වුවත් පුද්ගලයාට වඩා පද්ධතිය ලොකු වුණා. පුද්ගලයා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ වැදගත් වුවත් පද්ධතියක් ලෙස ගත් කල පුද්ගලයා වැදගත් නැහැ. පුද්ගලයන් ලෙස ජනාධිපති වුවත් එතරම් දෙයක් පද්ධතියේ කරන්නේ නැහැ. ජනාධිපති ටෘමන් පරමාණු බෝම්බය හෙළිමට තීරණය කළ තැනැත්තා. ඔහු තමයි අණ දුන්නේ. එහෙත් ඔහු නාගසාකි කියන නම දන්නේ නැහැ. ඔහු පද්ධතිය වෙනුවෙන් අණ දී තියෙනවා. චිත්‍රපටයේ එවැනි දේ ඉතා කෙටියෙන් නමුත් තීව්‍ර කියැවෙනවා.

 

බයිඩන් වියට්නාමයට යනවා. අර පද්ධතිය වෙනුවෙන්. අද ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට රුසියාව හා චීනය තර්ජනයක්. කොමියුනිස්ට් කතාවක් නිසා නො වෙයි. බටහිර ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතියේ අවශ්‍යතාවට ඔවුන් ඉන්දියාව චීනයට විරුද්ධ ඉදිරියට ගන්නවා. G 20 රැස්වීම ඉන්දියාව ලෝක බලවතකු කිරීමේ තවත් අවස්ථාවක්. වියට්නාමයත් චීනයට විරුද්ධ ඉදිරියට ගන්නවා. බයිඩන් වියට්නාමයට යන්නේ පද්ධතියේ අවශ්‍යතාව වෙනුවෙන්.

 

ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය වෙනුවෙන් අපේ රටේ පඬි නැට්ටන් ඉන්නවා. ඔවුන්ගේ කාර්යභාරය ආධිපත්‍යය හා පද්ධතිය ලංකාවේ රැක ගැනීම. ඔවුන්ගේ වාම කතාත් අවසාන වශයෙන් ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය වෙනුවෙන්. පද්ධතියේ ආධිපත්‍යය නොපිළිගන්නා අයට ඔවුන් අපහාස කරනවා. ද්වේෂ කරනවා.

 

ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය වෙනත් ඕනෑම රටක අයකු තමන්ට තර්ජනයක් නො වේ නම් තමන්ට සේවය කරන්නේ නම් පිළිගන්නවා. රදර්ෆර්ඩ්ගේ සිට විට්ගන්ස්ටයින් දක්වා විද්වතුන් එංගලන්තයට පැමිණ සේවය කළා. ඇමරිකාවේ විවිධ ජනවර්ග ඉන්නවා. ඔවුන්ගෙන් පද්ධතියට තර්ජනයක් නොවනතාක් සේවය කරනතාක් ප්‍රශ්නයක් නැහැ. අද බිරිතානි අගමැති ඉන්දීය සම්භවයක් ඇත්තෙක්. සමහර විට 2025 දී ඉන්දීය සම්භවයක් ඇත්තෙක් ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන්. එහෙත් නිසා බිරිතානියවත් ඇමරිකාවවත් ඉන්දීය වන්නේ නැහැ. ඉන්දියාව නම් සමහර විට මේ විධියට ගියොත් නමින් පමණක් භාරතය වේවි.

 

මට මතක නැති වුණා. මා ඕපන්හයිමර් නැරඹුවා.