Main Logo

Friday 29 September 2023

ජාමූල හා කුම්බලා මාළු

 

ජාමූල හා කුම්බලා මාළු

 

සජිත් ප්‍රේමදාස හොඳ කතාවක් කියල. ජාමූල දෙවැනි වාරිකය අපට ලැබෙන්නෙ නැහැ කියනවා. ලැබෙන්නෙ සජිත් බලයට පත් වුණාම කියනවා. ඉන් කියැවෙන්නෙ දෙවැනි වාරිකය කිසි දා නොලැබෙන බව කියන්න මා දන්නේ නැහැ. ඒත් ඒක හොඳ කතාවක්. ජාමූල නියෝජිත පිරිසක් ඊයෙ පෙරේදා ඇවිත් එළඹුනු නිගමනයක් ගැනයි සජිත් කියන්නෙ.

 

අද ජවිපෙ ඇතුළු බොහෝ දෙනා කියනවා ජාමූල සමග ගණුදෙනු කරන්න අවශ්‍ය කියා. අපට පුතේ මගක් නැතේ ජාමූල මග මිස මගක් නැතේ කියා තමයි කියන්නෙ. හැබැයි එක්ක කියනවා අපි ජාමූල කොන්දේසිවලට යටත් වෙන්නෙ නැහැ කියා. තම තමන්ගෙ පාක්‍ෂිකයන් සතුටු කරන්න. මොකෝ ජාමූල අපේ කොන්දේසි පිළිගනීවි කියා හිතනවා ?

 

සජිත් කිසිම පැකිළීමකින් තොරව තමා බලයට පත්වුණොත් ජාමූල දෙවැනි වාරිකය ලැබෙනවා කියන්නෙ ඔහු ජාමූල කොන්දේසිවලට එකඟ වෙන බව නැත්නම් ජාමූල සජිත් කොන්දේසිවලට එකඟ වෙන බව ? ප්‍රශ්නය අහන්න වෙන්නෙ නැති එක වෙන ප්‍රශ්නයක්.

 

අද මහා බැංකු සංඛ්‍යාන අනුව නම් ලංකාව ජීවත් වෙන්න ඉතා හොඳ රටක්. උද්ධමනය තනි ඉලක්කමකට බස්සලා ? අර බටහිර කතාවක් තියෙනවා බොරු පට්ටපල් බොරු සංඛ්‍යාන කියල. ඒකට හතරවැන්නක් එකතු කරන්න පුළුවන් මහා බැංකු සංඛ්‍යාන කියල. මෙරට ආර්ථිකය ගොඩ නැංවීමට කිසිවක් නොකර රට හොඳ අතට ගමන් කරනවා.

 

ජාමූල දෙවැනි වාරිකය නොදෙන්නෙ ඔවුන්ගේ නියම අනුව අප වැඩ කරල නැති නිසා. බදු මුදල් එකතු කිරීමේ ප්‍රශ්න තියෙනවා කියනවා. ජාමූල කියන විධියට වැඩ කරන්නෙ නැත්නම් ආයෙ වාරික බලාපෙරොත්තු වෙන්න එපා. මට අමතක වුණා සජිත් එනකම් බලාපොරොත්තු වෙන්න එපා.

 

ඒත් වැඩ බලන මුදල් ඇමති ෂෙහාන් සේමසිංහ කියා තියෙනවා ජාමූල වාරිකය ප්‍රමාද වුණාට අපි සැලෙන්නෙ නැහැ කියල. රාජ්‍ය ආදායම සියයට හතළිස්තුනකින් වැඩි වෙලා කියනවා. ඒවත් සංඛ්‍යාන තමයි. රාජ්‍ය ආදායම වැඩිවෙලා නම් ඔය වැටුප් ගෙවන එක ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඒත් බන්දුල ගුණවර්ධන ශූරින් හැමදාමත් වැටුප් ගෙවන එක ගැන නාහෙන් අඬනවා.

 

ඒකට කමක් නැහැ. රනිල් ජර්මනියෙන් ආවම ජාමුල එක්ක කතා කරල ප්‍රශ්නෙ විසඳයි කියලයි වැඩ බලන මුදල් ඇමතිතුමා කියන්නෙ. රනිල් විශ්වකර්මයෙක් නො වෙයි. ඔහු ජාමූල කොන්දේසි කිහිපයකට එකඟ වේවි. ඒත් ජාමූල ඉන් සෑහීමකට පත් වේවි ? ඒක බලා ගන්න ටික කලක් යාවි. ඒත් අතර රාජ්‍ය ආදායම තවත් ඉහළ යාවි. උද්ධමනය කියන වචනයත් නැති වේවි.

 

මදිවට උත්තර ලංකා සභාගය කියනවා ආණ්ඩුව එට්කා ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කරන්න සූදානම් කියල. ඉන්දීය ශ්‍රමිකයන් මෙරටට කඩා වදින බවකුත් කියනවා. මේ සියල්ල ඇත්ත වුණත් බොරු වුණත් අප වැටී තියෙන අමාරුව මෙයින් පැහැදිලි වෙනවා. අප මේ තත්වයට වැටුණෙ මොකද කියන එක හොයන්නෙ නැතුව එක එක ගණන් හිලවු කිය කිය ඉඳීමේ තේරුම ඇමතිකම් රැක ගැනීම කියා අහන්න වෙනවා.

 

අපි ණයට කාපු ජාතියක්. අද ණය ගෙවා ගන්න බැරුව ඉන්නවා. අපේ අධිපරිභෝජනය බොරු ෂෝක් මධ්‍යම පාංතික ආකල්ප එයට බලපෑවා.  ප්‍රසාරණය වී ඇති මධ්‍යම පංතිය තම ආකල්ප වෙනස් කර ගැනීමට සූදානම් නැහැ. මධ්‍යම පංතිය කියා එකක් මාක්ස්වාදී පංති විග්‍රහය අනුව නැහැ කියල මධ්‍යම පාංතිකයෙක් කියන්න බැරි නැහැ. මාක්ස්වාදී සංකල්ප වැඩ කෙළෙ කවදා ?

 

මෙරට උගතුන් මධ්‍යම පංතියෙ තමයි. ඔවුන්ගෙ බොරු ෂෝක්වලට තම බොරු උගත්කම ප්‍රදර්ශනය කිරීමත් අයත් වෙනවා. විලාසිතා ප්‍රදර්ශනය කරනවා වගේ තමයි උගත්කම ප්‍රදර්ශනය කිරීමත්. හෙට අනිද්දා මෙවර නොබෙල් ත්‍යාගලාභීන් නම් කරාවි. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග කාට හිමි වේවි ? ඔය උද්ධමනය අඩු කරන්න රාජ්‍ය වියදම වැඩි කරන්න උපදෙස් දුන් අය නව සංකලප ප්‍රවාද ගොඩ නගන්න ඇති.

 

අපි ණයට කාපු එක ඇත්ත. ඒත් ඔය තෙල් නැව් නෑවිත් ඉඳීම ගෑස් සිලින්ඩර පිපිරීම ආදිය ණය ගෙවා ගන්න බැරි වීම නිසා සිදු වූ දේ ? තෙල් ආනයනය කිරීම කඩේට ගිහින් පාන් ගෙඩියක් ගන්නව වගේ වැඩක් ? පාන් ගෙඩි බනිස් ගෙඩි බිත්තර ගෙඩි ආදිය නැට්ට නැති ගෙඩි. පඬි නැට්ටන්ගෙ ඔළු ගෙඩි වගේ නො වෙයි. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වුණෙ මහින්ද හා ගෝඨාභය ගෙදර යවා ජාමූල ගෙන්වා ගැනීම. රනිල් මෙහි දී ඉටු කරන්නේ ජාමූල අවශ්‍යතාව පමණයි. ජාමූල ගෙන්වා ගත්තා කීම වැරදියි. ජාමූල ගෝඨාභය හා මහින්ද ගෙදර යවා තමන් පැමිණිලා. ජාමූල පිටුපස ඉන්නෙ කවුද කියා අමුතුවෙන් කියන්න ඕන. කුම්බලා මාළු කැවා නම් දිරවා ගනින් බළලෝ කියන එක වැරදියි. කුම්බලා මාළු කැවුවෙ කවුද?