Main Logo

Sunday 3 September 2023

දේශපාලන අවුල

 

දේශපාලන අවුල

 

දේශපාලන විචාරකයන්ට කොහොම වුණත් බලය ගැනීම ගැන උනන්දුවක් දක්වන දේශපාලනඥයන්ට පුද්ගල සාධකය වැදගත් වෙනවා. එය වාමාංශික පක්‍ෂවලටත් පොදුයි. අද වමක් කියා එකක් නැති වුණත් ඊනියා විප්ලවයකින් බලයට පත්වීමට තැත් කළ වි පෙරමුණටත් පුද්ගල සාධකය වැදගත් වුණා. විජේවීරගේ දෙවැනි අසාර්ථක ඊනියා විප්ලවයෙන් පසු වි පෙරමුණේ පුද්ගල සාධකය තවත් වැදගත් වුණා. දේශපාලන පක්‍ෂ බොහෝ විට බිඳී යන්නේ පුද්ගල සාධකය මත. ඉන් පසු විවිධ හේතු හා මැතිවරණ දේශපාලනයේ සිදුවන සමාජ බලපෑම් නිසා බිඳී යැම් විවිධ දිශාවලට තල්ලු වෙන්න ඉඩ තියෙනවා.

 

ඊනියා විප්ලවයකින් බලය ගැනීමට මෙරට පැරණි වමට කිසි දා වුවමනාවක් තිබුණේ නැහැ. පැරණි වම ඇති වුණේ එංගලන්තයේ. අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය ප්‍රභූන් එසේ කෙළේ තම දෙමවුපියන්ගේ මුදලින්. ඔවුන්ට එකල එංගලන්තයේ සුදු වැසියන්ගේ සුදු අධිපතිවාදයට මුහුණ දෙන්න සිදු වුණා. සමහරු බුදුදහමින් සහනයක් ලබා ගත්තා. තවත් සමහරු තමන් මෙන් සුදු ආධිපත්‍යයෙන් පීඩාවට පත් යුදෙවු ජාතික තරුණියන් සමග ප්‍රේම සමබන්ධකම් ඇති කර ගත්තා. තවත් සමහරු මාක්ස්වාදී පක්‍ෂවලින් සුහදත්වය ලබා ගත්තා. තුන්වැනි කොටස ලංකාවට පැමිණ සමසමාජ පක්‍ෂය පිහිටුවා ගත්තා. මෙයට වෙනස් වූයේ පිලිප් ගුණවර්ධන හා කොල්වින් ආර් සිල්වා.

 

පැරණි වම විප්ලවය ගැන කතා කළා. එහෙත් 1931 වන විටත් සර්වජන ඡන්දය ලැබී තිබුණා. වම ඡන්ද දේශපලනයට ඇබබැහි වුණා. 1964 සභාග රජයට යන තුරු ප්‍රශ්න ඇති වුණේ ට්‍රොට්ස්කි හා ස්ටැලින් අතර. හතළිස් ගණන්වල මුල සමසමාජ පක්‍ෂයෙන් ස්ටැලින්වාදීන් පන්නනූ ලැබුවා. ලෝක ඉතිහාසයේ ට්‍රොට්ස්කිවාදීන් විසින් ස්ටැලින්වාදීන් පන්නනු ලැබුවේ ලංකාවේ පමණක් කියා කියනවා. අනෙක් අවස්ථාවල ස්ටැලින්වාදීන් විසින් ට්‍රොට්ස්කිවාදීන් පන්නනු ලැබ තියෙන්නේ.

 

1964 සමසමාජ පක්‍ෂය සභාගයට ගිය පසු සමසමාජයේ කිහිප දෙනෙක් විප්ලවය කිරීමට කියා පක්‍ෂයෙන් කැඩී ගියා. ඒත් ඔවුන් ඊනියා විප්ලවයකට සූදානම් වුණේ නැහැ. එඩ්මන්ඩ් සමරක්කොඩි කියා හිටියේ ලංකාවේ විප්ලවයේ අපිකේන්ද්‍රය (epicenter) වතු කම්කරුවන් කියා. නිකම් බොරු සෝබන ප්‍රවාදාත්මක කතා පමණයි. නැති කම්කරු පංතියක් ගැන කියවමින් වතු කම්කරුවන් සමග මොන විප්ලව ? එඩ්මන්ඩ්ලාත් අවසාන වශයෙන් කළේ පාර්ලිමේන්තු දේශපාලනය. අතර  බාලා තම්පෝ වෘත්තීය සමිති නිලධාරියකු වුණා. ශන්මුගදාසන් ලංකා කොමියුනිස්ට්   පක්‍ෂයෙන් කැඩී චීන කොමියුනිසට් පක්‍ෂය පිහිටුවා ගත්තා. මේ හැම තැන පුද්ගල සාධකය වැදගත් වුණා. ප්‍රවාද වසා ගැනීමට පමණයි.

 

විජේවීර චින කොමියුනිස්ට් පක්‍ෂයෙන් කැඩුණෙත් නායකයා වීමට. ඔහුට තේරෙන්න ඇති ශ්‍රී නි තිබෙනතාක් පාර්ලිමේන්තුවෙන් බලයට පැමිණෙන්න බැරි බව. ඔහු මාක්ස්වාදය ඔවුන්ගේ බසින් නම් ලංකාවට ගැලපෙන ආකාරයට තේරුවා. තේරීමේ ප්‍රතිඵලයක් ලෙස එක් රැයකින් පොලීසිවලට පහර දී බලය අල්ලා ගැනීමේ කතාව ජෙප්පන් පිළිගත්තා. ජෙප්පන් කියන්නේ එදා ඉඳල ඉතා ඉහළ බුද්ධිමතුන්. ජෙප්පන් වඩාත් විරුද්ධ වුණේ විරුද්ධ වන්නේ ශ්‍රී නි පක්‍ෂයට හා ඉන් බිහිවන පක්‍ෂවලට. ඔවුන් හිතන්නේ තමන්ට බලය ගැනීමට ප්‍රධාන බාධකය ජාතිකත්ව පක්‍ෂ කියා.

 

ශ්‍රී නි බිහිවුණේත් පුද්ගල ප්‍රශ්නයක් උඩ. ඩී එස් සේනානායක තම පුතාට අගමැතිකම දීමට සෝල්බරි අග්‍රාණ්ඩුකාරයා සමග එකඟත්වයකට නොඑන්න ශ්‍රී නි පක්‍ෂය පිහිටුවන්නේ නැහැ. එහෙත් පක්‍ෂය පිහිටුවීමෙන් පසු මෙරට ජාතික බලවේගවලට පුළුවන්කම තිබුණා ශ්‍රී නි ජාතිකත්ව මගට යොමු කරන්න. 1952 මින්නේරිය අතුරු මැතිවරණයෙන් තමයි ශ්‍රී නි පක්‍ෂය රුපාන්තරකරණයකට යොමු වුණේ. ශ්‍රී නි පක්‍ෂය පිහිටුවීමෙන් පසු වමේ පක්‍ෂවලට පාර්ලිමේන්තු දේශපාලනයේ තැනක් නැති බව පැහැදිලි වුණා. 1956 මැතිවෙරණයෙන් වමට යම් ආසන ගණනක් ලැබුණෙ පෙ සමග ගිවිසුමකට එළඹි නිසා. ඉන් පසු පාර්ලිමේන්තු දේශපාලනයෙන් වමේ පක්‍ෂ නැති වීම පමණයි ඉතිරි වී තිබුණේ. විජේවීර කාරණය නම් තේරුම් ගෙන තිබුණා. එහෙත් ඔහුට වෙනත් මගකුත් නැති බව තේරුම් ගන්න බැරි වුණේ කසිකබල් මාක්ස්වාදය ඔහුට ඊනියා මගක් පෙන්වා දී තිබුණ නිසා. අවසානයේ ඔහුට උරුම වුණේ මරණය පමණයි. එපමණක් නොව දහස් ගණනකට ජීවිත අහිමි වුණා. ඇතැම් ජීවිත නැති කෙරුණේ ජෙප්පන් අතින්.

 

ශ්‍රී නි නැති කෙළේ බැසිල් හා මහින්ද පුතුන්. ඔවුන්ගේ උද්ධච්ඡකම් ජාතිකත්වයක් නැති කම ආදිය නිසා  මෛත්‍රිපාල ඇතුළු පිරිසක් ජා සමග එකතු වුණා. ශ්‍රී නි එදා මිය ගියා. දැන් ඇත්තේ අවතාරයක් පමණයි. අවතාරය අද රනිල් බෝතලයක් ඇතුළට දාලා. එහෙමත් නැත්නම් බෝතලේ වලව්වට අරගෙන. පාස්කු ප්‍රහාරයෙන් පසු මෛත්‍රිපාලට බෝතලෙන් එලියට එන්න බැරි තත්වයකට පත් කරලා.  ඔහු අද අමරවීරලා සමග එකට ඉන්න ඕන. දයාසිරිට වෙනත් තීරණයක් ගන්න වෙලා.

 

පොහොට්ටුව බිහි වුණේ පක්‍ෂයක් ලෙස නො වෙයි. එය බැසිල්ගේ සංවිධානයක්. මෛත්‍රිපාලලා පන්නා දැමීමෙන් පසු බැසිල්ට ශ්‍රී නි අහිමි වුණා. ඔහු සංවිධානයක් පිහිටුවා එය පාලනය කරන්න පටන් ගත්තා. ජාතිකවාදීන් ජනාධිපතිකමට තෝරා ගත්තේ පක්‍ෂයක නැති ගෝඨාභය. ඔහු ජාතිකවාදියෙක්.

 

බටහිරයන් හා ඉන්දියානුවන් සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කිරීමට ගෝඨාභයත් මහින්දත් දේශපාලනයෙන් ඉවත් කළා. බැසිල් සංවිධායකයකු වෙන්න පුළුවන්. එහෙත් නායකයෙක් නො වෙයි. පොහොට්ටුවට අද නායකයෙක් නැහැ. පොහොට්ටුවේ ඇතැමුන් ඉන්නේ රනිල් සමග. ඒත් පුද්ගල සාධකය නිසා. මෛත්‍රිපාලට රනිල් සමග ඉන්න වෙලා.

 

ගැන කියන්න දෙයක් නැහැ. එය රනිල්ගේ අදක්‍ෂකම නිසා හදාගත් පක්‍ෂයක්. රනිල්ට මැතිවරණ දිනන්නත් බැහැ. රටක් පාලනය කරන්නත් බැහැ. රනිල් කෙතරම් අදක්‍ෂයකු කියනවා නම් රනිල් වෙනුවට සජිත් වැන්නකු තෝරා ගෙන. අද රනිල් ඊනියා දක්‍ෂයකු බව පෙන්වන්නේ බටහිරයන් ඉන්දියානුවන් හා රංගෙ බණ්ඩාර ඊයේ උපන් දිනය සැමරූ වජිර අබේවර්ධන ආදීන් විසින්. ඒත් බොහෝ දෙනා අනෙක් අයට වඩා රනිල් ගැන දන්නවා.

 

ගෝඨාභය හා මහින්ද ගෙදර යැවීමෙන් බටහිරයන් හා ඉන්දියානුවන් ජාතික බලවේගවලට පමණක් නොව රටට නායකයන් නැති කරලා. නැවතත් නායකයන් ඇති කර ගන්න පුළුවන් ජාතිකවාදී බලවේගවලට පමණයි. එහෙත් ඇතැම් මාක්ස්වාදී ජාතිකවාදීන් (යා දෙක නොරත රත) එය අවුල් කරන්න කටයුතු කරන බව පේනවා.