Main Logo

Saturday 9 September 2023

ගෝඨාභය හා මහින්ද එළවා දුර්වල රනිල් පත්කර ගැනීම

 ගෝඨාභය හා මහින්ද එළවා දුර්වල රනිල් පත්කර ගැනීම

 

මෙය බිරිතානි හතරවැනි නාළිකාව (චැනල් 4) ගැන මගේ පළමු කෙටි සටහන පිළිබඳ කිහිප දෙනකු පළ කර ඇති ප්‍රතිචාර පිළිබඳවයි. මගේ පළමු සටහන වූයේ "චැනල් 4 කුමන්ත්‍රණයක් නොවේ. එය බ්‍රවුන්රිග් ඩා ඔයිලි (ඩොයිලි) සිංහල ජාතිකත්වයට එරෙහි ඇරඹූ ක්‍රියා දාමයෙහි තවත් පුරුකක් පමණකි." යන්නයි. අද වන විට එයට දක්වා ඇතිහා හා” ප්‍රතික්‍රියා 1500ක් පමණ වෙනවා. පළමුව  ප්‍රතිචාර කිහිපයක් දක්වනවා. ප්‍රතිචාර මගේ සටහනට සෘජුව දැක් වූ ප්‍රතිචාර නොව මගේ සටහන බෙදා හදාගත් ඇතැමකුට  දක්වා ඇති ප්‍රතිචාරයි. පළමු සටහනට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. දෙවැනි සටහනට දක්වා ඇති ප්‍රතිචාර විසින් එසේ අවස්ථාව ලබා නොදීම යුක්තියුක්ත කෙරෙනචා.

 

අදාළ ප්‍රතිචාර මෙසේයි

 

රාජපක්ෂ නැත්නම් සිංහල ජාතිය නැද්ද බන්...අහිංසකයෝ 350 ක් මැරුනේ හේතුවත් නොදැන බන්...උබවත් මමවත් මේ ,,,, දන්නේ නැ බන්...මේ  ලියපු මහත්තයා දන්නෙත් නැ ...අපි ඉත්තෝ විතරයි..”

රාජපක්ෂලට බලපාන දෙයක් නම් පඬිනැට්ට තුමා ඔන්දස්පොට් හෑලි ලියනව.

රටට ජනතාවට බලපාන දේවල් වලට නම් හෑලි ලියන්නෙ අවුරුදු 3-4ක් ගියාට පස්සෙ!

තක්කඩිය!!!”

පඩි නැට්ටා තුමාටව තියෙන්නෙත් පුර්තුග්‍රීසි වාසගමක් නේ.”

ඇමරිකාවෙ දරුවන් සමග සැපෙන් සිටිමින් ලියමි.”

ධම්මික පැණිය හොඳටම බීල වගේ මහාචාර්යතුමා

“Channel 4 රටට විරුද්ධව නෙමේ නේද රාජපක්ෂ රෙජීමය විවේචනය කිරීම ගැන නේද

ප්‍රහාරය පිටිපස්සේ හිටියේ සලේ අපි හෙළිදරව් කලේ Channel 4 එකට කලින්.”

 

මේ අවසාන ප්‍රතිචාරය යූටියුබ් වැඩ සටහනක දී යමකු කළ ප්‍රකාශයක්. එය කලින් කාදිනල්තුමාට දැන්වූවා නම් අඩු තරමෙන් එතුමාගේ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් නතර කරගන්න තිබුණා. කොහේ ප්‍රතිචාර දැක්වුවත් මගේ සටහන වෙනුවෙන්. මා කියා සිටියේ බිරිතානියේ අදාළ චැනල ප්‍රබන්ධය බ්‍රවුන්රිග්ලා සිංහල ජාතිකත්වයට එරෙහි   ඇරඹූ ක්‍රියාදාමයෙහි තවත් පියවරක් පමණයි යන්නයි. එයට විරුද්ධ ලියා ඇත්තේ රාජපක්‍ෂලා බලපාන දෙයකට මා හැරෙන තැපෑලෙන් හෑලි ලියන බවත් රටට බලාපාන දෙයකට හෑලි ලියන්නේ අවුරුදු තුන හතරකට පසුව බවත් මා තක්කඩියකු බවත් . පඬිනැට්ටා මගේ ලිපි කියවන්නේ නැති බව ඉන් පැහැදිලි වෙනවා. අවුරුදු තිස්පහක් පමණ මා ලියා ඇත්තේ රටට බලපාන දේ ගැන හැකි ඉක්මණින්. චැනල් 4 සි්ද්ධියත් රටට බලපාන එකක්. එය පසුව පැහැදිලි කරන්නම්.

 

රාජපක්‍ෂලා නැත්තන් සිංහල ජාතියක් නැද්ද කියා එක් පඬි නැට්ටකු අහනවා. අපොයි නැහැ. සිංහල ජාතිය අවුරූදු දෙදහසකට වැඩිය පැවතුණේ රාජපක්‍ෂලා නැතුව. ඉදිරියටත් පවතීවි. අහිංසකයො 350ක් හරි කීයක් හරි මෑරුණෙ හේතුවක් නොදැන බව නම් ඇත්ත. චැනල් 4 කියන්නෙ ඔවුන් මැරුවෙ ගෝඨාභය බලයට පත් කරන්න කියලා. ඔය තියෙන්නෙ හේතුව. එහෙත් අවාසනාව හේතුව මියගිය අයට දැන්වීමට නොහැකි වීමයි.

 

අද රට දෙකට බෙදල රාජපක්‍ෂ විරෝධයක් අටවල. එසේ බෙදුවෙ කවුද කියන එකයි ප්‍රශ්නය. මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂල තමයි. එහෙත් ඔවුන්ට රනිල්ට හරි රනිල්දාසට හරි සජිත්ට හරි බැසිල්ට හරි නාමල්ට හරි නැති ජාතිකත්වයක් තියෙනවා. එතන තමයි ප්‍රශ්නය. ජාතිකත්ව නායකත්වය දේශපාලනයෙන් ඉවත් කිරීම තමයි බටහිරයන්ගෙත් ඉන්දියාවෙත් අභිලාෂය. ඔවුන් පරගලයක් කෙළෙ සඳහා. රාජපක්‍ෂ විරෝධයක් කියන්නෙ මහින්ද ගෝඨාභය විරෝධයක් මිස බැසිල් නාමල් විරෝධයක් නොවෙයි. බැසිල් නාමල් ඔය හොඳට දේශපාලනය කරන්නෙ.

 

බ්‍රවුන්රිග්ලා කළ දේ හා චැනල් 4 කළ කරන දේ අතර සම්බන්ධය හඳුනාගන්න බැරි කම තමයි “ හා හා” ප්‍රතික්‍රියාවලින් කියැවෙන්නෙ. සිද්ධි අතර සම්බන්ධය දැකීම අද ඊයෙ වැඩක් නො වෙයි. ඒක ගැලීලියොගෙ වැඩකුත් නො වෙයි. ගැලිලියො හා නිවුටන් අහසෙ තියෙන ඇතැම් සිද්ධි හා පොළොවෙ තියෙන ඇතැම් සිද්ධි අතර සම්බන්ධයක් දැක්කා. පැරණි වෛදිකයො සසර හා කර්මය අතර සම්බන්ධයක් දැක්කා. සිංහල ජාතිකත්වයට එරෙහි ක්‍රියා දාමයක් ඇරඹූ ප්‍රථම අය බ්‍රවුන්රිග් හා ඩා ඔයිලි නෙ වෙයි. චෝලයන් පෘතුගීසීන් ලන්දේසින් එය කළා.

 

කවුද මගේ නම පෘතුගීසි කියා තිබුණා. ඇත්ත එයත් ජාතිකත්වයට එරෙහිව පෘතුගීසීන් අපට පුරුදු කළ දෙයක්. පෘතුගීසීන් බෞද්ධ පන්සල් කඩා දැම්මා, ඇතැම් පත්තිනි දේවාල කතෝලික පල්ලි බවට පත් කළා. ලන්දේසින් පාසල් ඇති කරල මගින් රෙපරමාදු ආගම ප්‍රචාරය කළා.රෝම ලන්දේසි නීතිය දුන්නා. කුල භේදයක් ඇති කළා. ඉංගිරිසින් තමයි එය සූක්‍ෂම සැලසුම් සහගත කළෙ. ඔවුන් තම ක්‍රිස්තියානි ආධිපත්‍යය අප මත පැටෙවුවෙ ආගමට හරවා ගෙන නො වෙයි. ඔවුන්ගෙ සංස්කෘතිය ආකල්ප දැනුම නීතිය හා තවත් දේ  අප මත පැටෙවුවා. මා පෘතුගීසි නමක් තියාගෙන බටහිර විද්‍යාව ඉගෙන සිංහල ජාතිකත්වය වෙතට ආපහු ආවා. ඇතැමුන් සිංහල නම් ඇතුව ඉංගිරිසි දැනුමෙන් මත් වෙලා.

 

සොළීන් සිංහල ජාතිකත්වය දුර්වල කළත් විජයබාහු රජු නැවත ජාතිකත්වය පණ ගැන්නුවා. හයවැනි පරාක්‍රමබාහි දවසත් එවැන්නක් වුණා. ජේ ආර් චන්ද්‍රිකා රනිල් ආදීන් ජාතිකත්වය දුර්වල කළත් මහින්ද හා ගෝඨාභය ජාතිකත්වය පණ ගැන්නුවා. බටහිරයන් ඉන්දියාව සමග එක් වී ඔවුන් ඉවත් කළා. රනිල් කියන දුර්වල නායකයා පත් කර ගත්තා. අද ඉන්දියාව ලෝක බලවතෙක්. මෝදිට ඕන භාරතයක් ගොඩ නගන්න. එහෙත් භාරතය කියා කිසි දිනෙක රටක් රාජ්‍යයක් තිබී නැහැ. මෝදිට ඒකෙන් කමක් නැහැ. ඔහු මුස්ලිම් අනන්‍යතා ඉන්දියාවෙන් ඉවත් කරනවා. එහෙත් බටහිරයන් ගැන වාර්තා වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙ නැහැ. බටහිරයන්ට චීනයට විරුද්ධ ඉන්දියාව අවශ්‍යයි.

 

දුර්වල ජේ ආර් යටතෙ ඉන්දියාව දහතුන අප මත පැටෙවුවා. දුර්වල රනිල් යටතෙ ඉන්දියාව මෙරට අණසක පතුරවන්න ඉඩ තියෙනවා. එහෙත් චීනයත් තියෙනවා. කුමක් වුවත් විජයබාහු රජු සොළින් පරාජය කළාක් මෙන් අනාගත ජාතිකත්ව නායකයකු අප ඉන්දියාවෙ අණසකින් මුදා ගනීවි. අපේ දියසේන සංකල්පයෙන් කියන්නෙ එවැන්නක්.

 

මා මහින්ද හා ගෝඨාභය වෙනුවෙන් ලියනවා නො වෙයි. මා ලියන්නේ ජාතිකත්වය වෙනුවෙන්. මහින්ද හා ගෝඨාභය මේ කාලයේ ජාතිකත්ව නායකයන්. එපමණයි. මා රනිල්  හරි රනිල්දාස  හරි සජිත්  හරි ජාතිකත්ව නායකයන් ලෙස සලකන්නේ නැහැ. චැනල් 4 අවශ්‍යතාව ඡන්දයෙන් පැරදුණු දුර්වල රනිල් යටතේ දෙමළ වෙල්ලාලයන් මගින් රටේ ඉන්දියාවෙ අණසක පිහිටුවන්න. චැනල් 4 රාජපක්‍ෂ රෙජිමය විවේචනය කරන්නේ රටට ජාතිකත්ව නායකත්වය අහිමි කරන්න. කියන්නෙ රටට විරුද්ධ . ඉංගිරිසින් තම අධ්‍යාපනය ඔස්සේ සිද්ධි අතර සම්බන්ධය දකින්න  ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ පඬියන් ලබා දෙන දැනුමට වලිගය වනන පඬිනැට්ටන් ටිකක් පමණයි මෙරට අධ්‍යාපනයෙන් බිහි වන්නෙ.

 

ඇත්ත මා දරුවන් සමග ඇමරිකාවෙ ඉන්නවා. ඔවුන් මා බලා ගන්නවා. ඔවුන් අධ්‍යාපනය ලබන කාලයේ අවුරුදු දොළහක් රැකියාවක් නැති සිටි මට ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න බැරි වුණා. එහෙත් ඔවුන් සිංහල බෞද්ධයන් ලෙස මා රැක බලාගෙන සැපෙන් ඉන්න ඉඩ සලස්සනවා. ගැන ඊර්ෂ්‍යාවක් ඇති කර ගන්න එපා. මේ දිනවල අමෙරිකාවේ නැවත කොවිඩ් කතා පැතිරෙනවා. ධම්මික පැණිය ලෝකයට ගෙනි යන්න තිබුණු අවස්ථාව නම් නැති කෙළේ සලේ. ඉක්මණින් සලේගේ ගමන් බලපත්‍රය ලබා ගෙන ඔහු ඔය කියන දවස්වල ලංකාවේ හිටියේ කියා අපට කියන්න. (මතු සම්බන්ධයි)