Main Logo

Friday 22 September 2023

සමාජවාදී ගමනේ බස් නැවතුම්පොළවල්

 

සමාජවාදී ගමනේ බස් නැවතුම්පොළවල්

 

මෙහි දැක්වෙන බස් නැවතුම්පොළේ ඡායාරූපය දුටු විට මට ඇති වුණේ අනුකම්පාවක්, මහත් කණගාටුවක්. එය කාගේ වැඩක් කියා මා දන්නේ නැහැ. තරුණයන් පිරිසකගේ වැඩක් ජෙප්පන්ගේ වැඩක් එසේත් නැත්නම් ජෙපි අනුගාමිකයන්ගේ වැඩක් කියන්න මා දන්නේ නැහැ. එහෙත් තවමත් මෙරට ඇතැම් පිරිසකට ඇති කිසි දිනෙක සැබෑ නොවන කොටි සංවිධානයේ ඊළාම් සිහිනය වැනි මාක්ස්වාදී  සමාජවාදී සිහිනය එයින් පිළිබිඹු වෙනවා.

 

අප නම් එකල හුරු වී තිබුණේ දෑකැත්තයි මිටියයි සමග 4 ලකුණත් සටහන් කරන්න. තවමත් හතරවැනි ජාත්‍යන්තරය ගැන හදාරණ අය ඉන්න බව  පෙනී යනවා. අය විප්ලවවාදීන් නොවෙයි. ඊනියා බුද්ධිමතුන් පමණයි. මෙරට බුද්ධිමතුන් නැහැ. ඉන්නේ බුද්ධිමත්බවක් ආරූඪ කරගත් අය පමණයි.

 

හතර ඇතුව හරි නැතුව හරි දෑකැත්තයි මිටියයි මාක්ස්වාදී සමාජවාදයේ සංකේතයක්. ගොවි කම්කරු කතාව කියන්න. මාක්ස්  ගොවියන් ගැන කතා කෙළේ සමච්චලයෙන් අල ගෝනි ලෙස. ඔහුට අවශ්‍ය වූයේ කම්කරු පංති විප්ලවය කර මාක්ස්වාදී සමාජවාදී රාජ්‍යයක් බිහි කරන්න. යථා කාලයේ දී එය රාජ්‍යය වියැකී යන කොමියුනිස්ට් සමාජයක් කරා විකාශය වේ යැයි ඔහු සිතුවා


ට්‍රොට්ස්කි ලෙනින්ට සහාය දැක්වුවත් ඔහුගේ හිතේ සැක තියෙන්න ඇතිසම්භාව්‍ය මාක්ස්වාදයට අනුව ධනපති ක්‍රමය වැඩි දියුණු වූවාට පසුවයි කම්කරු පංති විප්ලවය ඇති වෙන්නෙ. එහෙත් රුසියවේ ධනපති විප්ලවයවත් සිදු වී තිබුණේ නැහැ. කම්කරු පංතියක් තිබුණෙත් නැහැ. ඉතින් මොන කම්කරු පංති විප්ලව ? රුසියාවේ කම්කරු පංති විප්ලවයක් සිදු වූයේ නැහැ. එහි උගතුන් කිහිප දෙනකු ඊනියා කම්කරු පංතියට ආදේශ වී සාර් රජු පන්නා දමා රාජ්‍ය ධනවාදයක් ඇති කළා. ලෙනින් හා බෝල්ෂෙවික් පක්‍ෂය කෙළේ ධනපති විප්ලවයක්. එහෙත් එහි බටහිර යුරෝපයේ මෙන් නොව ඇති වූයේ රාජ්‍ය ධනවාදයක්.

 

රාජ්‍යය තේරුම් ගැනීමට ට්‍රොට්ස්කි බොරු තොගයක් ලිව්වා. නොනවතින විප්ලවය, අසමාන වර්ධනය වගේ බොරු සංකල්ප ටිකක් ඔහු නිර්මාණය කළා. ඔහු මොනව වුණත් බුද්ධිමතෙක්. ලෙනිනුත් බුද්ධිමතෙක්. ඔහු කම්කරු පංතියට විඥානය පිටින් ගෙන යා යුතු කියන කතන්දරේ හැදුවා. ස්ටැලින් බුද්ධිමතෙක් නො වෙයි. ඔහු අංක එකේ අවස්ථාවාදියෙක්. රුසියාවේ ඇති වු රාජ්‍ය ධනවාදය ඔහු බලයට පැමිණීමට යොදා ගත්තේ ඒකපාක්‍ෂික කොමියුනිස්ට් පක්‍ෂයේ බලය අතට ගැනීමෙන්.

 

කොහොම වෙතත් අවුරුදු හැත්තෑපහකින් පමණ සෝවියට් දේශය බිඳ වැටුණා. අද රුසියාවේ පුටින් රජයනවා. එහි ධනපති පෞද්ගලික ව්‍යාපාර තියෙනවා. අද චීනයෙත් පෞද්ගලික ව්‍යාපාර තියෙනවා. රටවල් රාජ්‍ය ධනවාදයෙන් මිදී ක්‍රමයෙන් බටහිර ආකෘතියේ ධනවාදී රටවල් බවට පත්වෙමින් තියෙනවා. බටහිර රටවලට රුසියාව හා චීනය සමග ඇත්තේ සංස්කෘතික ප්‍රශ්න. ලෙනින්ටත් බටහිර සමග තිබුණේ අවසාන වශයෙන් ගත් කළ සංස්කෘතික ප්‍රශ්න.

             

ඇමරිකාව දැන ගන්න ඇති ට්‍රොට්ස්කිගෙන් නම් තම ක්‍රමයට කිසිම තර්ජනයක් නැති බව. ස්ටැලින්ගෙන් දිවි ගලවා ගැනීමට ට්‍රොට්ස්කි අවසානයේ දී ගියේ මෙක්සිකෝවට. ඇමරිකාවට දකුණෙන් ඇති අල්ලපු රට. ට්‍රොට්ස්කි තර්ජනයක් වූවා නම් ඇමරිකාව ඔහුට මෙක්සිකෝවට එන්න ඉඩ දෙන්නේ නැහැ. එංගලන්තය මාක්ස්ට එහි ජීවත් වීමට ඉඩ දුන්නෙත් ඔහුගේ ලියකියවිලිවලින්  රටට හා ක්‍රමයට තර්ජනයක් නොවන බව දැනගත් නිසා වෙන්න ඕන.  අවසානයේ ට්‍රොට්ස්කි ස්ටැලින්ගේ ඒජන්තයකුගේ අයිස් පොරෝ පහරකින් මිය ගියා.

 

අද ලෝකයේ කොහෙවත් මාක්ස්වාදී සමාජවාදී රාජ්‍යයක් නැහැ. බංකොළොත් ලංකාව කියුබාවට ආධාර දෙන්න සූදානම්. ඒත් මෙරට තවමත් යම් පිිරිසක් ඉන්නවා මාක්ස්වාදී සමාජවාදය රටට වඩිනකම්. ඔවුන් තවමත් රුසියාවට චීනයට කියුබාවට කැමැත්තක් දක්වනවා රටවල් මාක්ස්වාදී  සමාජවාදී කියා හිතාගෙන. එහෙත් රටවල් මාක්ස්වාදී සමාජවාදී නො වෙයි. රටවල් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට නම් විරුද්ධයි. සංස්කෘතික ප්‍රශ්නයක්.  ලෝකයේ ඇතැම් තැන්වල සමාජවාදයක් ගැන කතා කරනවා. එය මාක්ස්ට කලින් ඉඳන් කෙරෙන්නක්. සමාජවාදය මාක්ස්වාදීන් හඳුන්වන්නේ මනෝරාජික සමාජවාදය කියා.

 

ලෝකයේ මාක්ස්වාදී සමාජවාදී රාජ්‍ය ඇති නොවුණේ මාක්ස්ගේ හිතළුව වැරදි නිසා. ඔහු සිතු පරිදි ඊනියා කම්කරු පංතියක් නැහැ. කම්කරුවන් නම් ඉන්නවා. එහෙත් කම්කරු පංතියක් නැහැ. මෙරටත් අවුරුදු අනූවකට පමණ පෙර උගත් නාගරික තරුණයන් කිහිප දෙනකු කම්කරුවන් සංවිධානය කළා වෘත්තිය සමිතිවල කම්කරුවන් පංතියක් කියා හිතාගෙන. අවසානයේ දී ජේ ආර් වෘත්තීය සමිති සංවිධානය කළා!

 

අනෙක් අතට මාක්ස් ධනපති විප්ලවය පමණක් දැක සමස්ත සමාජ විකාශය ඇසුරෙන් විස්තර කරන්න හැදුවා. ඔහු තමයි ලෝකයේ අසාර්ථක බුද්ධිමතා. එහෙත් ජෙප්පන්ට වමාලාට හා සමහර පඬි නැට්ටන්ට කිසිවක් ගැන කිසිම දැනුමක් නැහැ. ඔවුන් තවමත් මාක්ස්වාදී සමාජවාදී සිහිනයක් දකිනවා. ඔවුන් මැරෙන තුරු සිහිනය දකිනවා. දෑකැති මිටි අඳිනවා. ඔවුන් කියාවි මා ඇමරිකාවේ සිට රාජපක්‍ෂලාට කඩේ යනවා කියා. ඔවුන් දන්නෙ වෙන මොනවා කියන්න ? 

 

කලකට පෙර එන් එම් පෙරේඑා සහෝදරයා සභාග ආණ්ඩුව සමග මතභේද ඇති කරගත් අවස්ථාවක කිවුවා සමාජවාදී ගමනේ අම්බලම් නැහැ කියා. ඒත් සමහරුන්ට සමාජවාදී ගමනේ බස් නැවතුම්පොළවල් තියෙන බව පේනවා.