Main Logo

Tuesday 26 September 2023

ත්‍රෛලෝක පූජිත බුද්ධිමත්තු

 

ත්‍රෛලෝක පූජිත බුද්ධිමත්තු

 

දැන් හැම තැන වගේ ඇහෙන්නෙ බුද්ධිමත් වීම පිළිබඳ කතා. තාර්කික වීම පිළිබඳ කතා. හැඟීම්වලින් වැඩ කරන්න එපා කියනවා. මිනිසුන්ට හැඟීම් නැතුව නො වෙයි. හැඟීම්වලට බුද්ධිමත් වැදගත්කමක් දීම තමයි බුද්ධිය කියන එකෙන් කෙරෙන්නෙ. කාට කාටත් හැඟීම් ඇතිවෙනවා. හැඟීම් නැති පෘථග්ජනයකු ඉන්නවා කියා මා දන්නේ නැහැ. අප ගීතයක් රස විඳිනවා. වාදනයක් රස විඳිනවා. බුදුහාමුදුරුවොත් පංචශිඛගේ වීණා වාදනය රස වින්දා. ඒත් එහි ඇළුනෙ නැහැ.

 

අප නවකතාවක් කියවල රස විඳිනවා. සමහර වෙලාවට එහි ඇළෙනවා. සසර දික්වෙනවා. ගුණදාස අමරසේකර අහාවි සසරක් තියෙනවා කියල දන්නෙ කොහොම කියල. ඒක ඉන්ද්‍රිය ගෝචර නැහැ කියාවි. ඒත් සමහරු සසර දකිනවා. වෙනත් ඥාන තියෙන අය. අපට ඥාන නැහැ. එහෙත් අප අය විශ්වාස කරනවා. මේ දවස්වල සයන්ටිෆික් ඇමරිකන් සඟරාව කියවනව නම් ඔය මරණාසන්න අවස්ථා ගැන ලියැවෙන ලිපි කියවන්න පුළුවන්.

 

දැන් අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. සයන්ටිෆික් ඇමරිකන් සඟරාව ඇමරිකාවේ ධනවාදී විද්‍යාවේ සඟරාවක් ? මා එය විශ්වාස කරනවා ?  බටහිර විිද්‍යාව පට්ටපල් බොරු නොවෙයි ? ප්‍රශ්න අසන්නේ බුද්ධිමතුන් බුද්ධියෙන් මිස හැඟීමෙන් නො වෙයි කියලයි කියන්නෙ. කොහොම වෙතත් බුද්ධිමතුන් බටහිර විද්‍යාව විශ්වාස කරනවා. ඔවුන් බටහිර විද්‍යාඥයන් කියන දේ විශ්වාස කරනවා. නිසා මට කොහොම වෙතත් බුද්ධිමතුන්ට ඇමරිකාවේ පළවන සයන්ටිෆික් ඇමරිකන් හා එංගලන්තයේ පළවෙන නිව් සයන්ටිස්ට් සඟරා කියවන එක වැඩදායක වෙයි.

 

ගීතයක රස වින්දට පස්සෙ ගැන විචාර ලියන්නෙ මොකට ? සාහිත්‍ය විචාරය කියා දෙයක් තියෙන්නෙ අහවල් දේකට ? සිංහල ගුරුවරයකු වූ  අපේ පියා එකල පාසලේ සාමාන්‍ය පෙළට සිංහල සාහිත්‍යය ඉගැන්නුවා. සාහිත්‍ය විචාරයත් එහි කොටසක්. අප යමක් හොඳයි කිවුවොත් එතුමා අහන ප්‍රශ්නයක් වුණෙ මොකද හොඳ යන්නයි. පාසලේ සාහිත්‍යය ඉගෙන ගත්තෙ නැති වුණත් ගෙදරදි අපට සාහිත්‍ය විචාරය දැනගන්න ලැබුණා.

 

නමුත් සාහිත්‍ය විචාරය කියන්නෙ මොකක් කියල කල්පනා කරන විට පැහැදිලි වෙන දේ තමයි අපේ හැඟීම් ඊනියා බුද්ධියට යට කිරීමක් යන්න. අප හැඟීම් ඊනියා බුද්ධිමත් ආකාරයකට කියනවා ලියනවා. මා නම් බුද්ධිමතෙක් නෙවෙයි. චැනල් 4 ප්‍රචාරයට එරෙහි මහජනයාගේ අත්සන් එකතු කිරීමට මා කළ යෝජනාව මුග්ධයකුගේ අදහසක් ලෙස ප්‍රතික්‍ෂෙප කෙළේ අද ජාතිකවාදී කඳවුරේ ඉන්නවා කියන බුද්ධිමතෙක්.

 

චැනල් 4 ගැන මොන පරීක්‍ෂණ කළත් අය තමන් දරණ මත ඊනියා බුද්ධිමත් ආකාරයකින් ප්‍රකාශ කර එක්කෝ පරීක්‍ෂණ වාර්තාව පිළිගන්නවා, නැත්නම් ප්‍රතික්‍ෂෙප කරනවා. තම තමන් දකින ආකාරය අනුව එහෙමත් නැත්නම් දෘශ්ටිවාදය අනුව. අප බොහෝ විට දෘශ්ටිවාද සමාජයෙන් අහුල ගන්නවා, ඉඳ හිට එක් අයකු දෙන්නකු තමන්ගෙ දෘශ්ටිවාදයක් ප්‍රකාශ කරනවා. ලංකාවේ එහෙම අය නැහැ.

 

අපට චැනල් 4 බොරු කියල කෝන්ගහගේ ලවාවත් ප්‍රමිත තෙන්නකෝන් ලවාවත් ටිරාන් අලස් ලවාවත් චැනල් 4 ඇත්ත කියා කියන අයට පෙන්නන්න බැහැ. කාදිනල්තුමාට පෙන්නන්නත් බැහැ. දැනටමත් සිරිල් ගාමිණී පූජකතුමා ගැන ප්‍රශ්න කරලා. ටිරාන් අලස් ප්‍රභාකරන් එක්ක කළ ගණුදෙනුව ගැන ප්‍රශ්න කරල අලස් විසි කරාවි. මට අවශ්‍ය වුණෙ මහජනයා වැඩේට සම්බන්ධ කර ගැනීමට පමණයි. අත්සන් ටික චැනල් 4 ඇරිය කියල ඔවුන් නාළිකාව වහල දාන්නෙ නැහැ.

 

මා කියන්නෙ බුද්ධිය කියන්නෙ හැඟීම් යුක්තියුක්ත කරන යන්ත්‍රයක් හරි එවැන්නක් හරි පමණයි යන්න. අවශ්‍ය නම් යාන්ත්‍රණයක් කියන්න. මා එසේ කියන්නේ මා බුද්ධිමතකු නොවන නිසා යැයි ඊනියා බුද්ධිමතකු කියන්න ඉඩ තියෙනවා.  මා ඊනියා බුද්ධිමතකු කියන්නේ කලින් මොනව කිව්වත් මෙරට බුද්ධිමතුන් නැති බව මා දන්නා නිසා. අපට ඇති ලොකු ප්‍රශ්නය බුද්ධිමතුන් නැති රටක් වීම නො වෙයි. බොහෝ දෙනා තමන් බුද්ධිමතුන් බව පෙන්වීම.

 

ඊනියා බුද්ධිමතුන් කියන්නෙ අප තර්කානුකූල විය යුතුයි හැඟීම්වලට වහල් නොවිය යුතුයි සත්‍යය තර්කයෙන් ලබා ගත යුතුයි වගේ කතා. ඔවුන්ට අවශ්‍ය සාක්‍ෂි සාධක සහිත ඔප්පු කරන්න.  ඒත් තර්කයත් විශ්වාසයක් මත පදනම් වෙන්නක්. සසර ගැන අප අර අභිඥා ලද්දවුන් කියන දේ විශ්වාස කරනවා. ඊනියා බුද්ධිමතුන් ජේම්ස් වෙබ් අවකාශ දුරේක්‍ෂයෙන් (JWST)  ලබා ගන්නා නිරීක්‍ෂණ විශ්වාස කරනවා. ඒත් එසේ නිරීක්‍ෂණ කරන්න ඔවුන්ට බැහැ.

 

රාමනුජන් ඔය තර්ක සාධන විශ්වස කළේ නැහැ. ඔහුට ප්‍රතිඵල ලැබුණේ නමක්කාල් දෙවඟනගෙන්. තම ප්‍රතිඵල සාධනය කිරීම ගැන ඔහු කීවේ දෙවියන්ගේ කතා සාධනය කිරීම (ඔප්පු කිරීම) අනවශ්‍ය බවයි. රාමනුජන් මෙරට ඊනියා බුද්ධිමතුන්ගේ අහළකින්වත් තියන්න බැහැ. අපේ රට කෙතරම් වාසනාවන්ත ?

 

එහෙත් වඩා භයානක ප්‍රශ්නයක් අද සමාජයේ තියෙනවා. අපට බුදුදහමින් කියා දෙන්නෙ හැඟීම්වල නොඇළෙන්නත් සසර දිග්ගස්සන හැඟීම් පාලනය කරන්නත්. එහෙත් ඊනියා බුද්ධිමතුන් කරන්නේ හැඟීම් යුක්තියුක්ත කරන එක. අද මෙරට සංස්කෘතික බැම්ම කඩා වැටීමට මේ යුක්තියුක්ත කිරීම් බලපාල තිියෙනවා.

 

අවුරුදු හැටකට එහා පැත්තෙ පේරාදෙණි මොටාවෙ අංකුර බුද්ධිමතුන්ගෙ බයිලාවක් තිබුණ. දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ …….. .. .. .. ඔවුන් මොටාවෙන් ගියාට පස්සෙත් කියන්නෙ බයිලා තමයි.