Main Logo

Saturday 2 September 2023

රොකට් එකක් ඇරියේ චිචි විතරයි

 

රොකට් එකක් ඇරියේ චිචි විතරයි

 

මා සාමාන්‍යයෙන් මාතෘකාවක් යටතෙ ලියන්නෙ නැහැ. යම් අදහස් කිහිපයක් සංගත එකට ගැට ගහලා ඊට පස්සෙ තමයි මාතෘකාවක් යොදන්නෙ. මාතෘකාවකට අනුව ලියන එක පාසල් රචනා සඳහා හොඳ වෙන්න පුළුවන්. ඒත් ක්‍රමයත් වෙනස් කරන්න පුළුවන්. ඒකට අධ්‍යාපන ඇමතිතුමා හා අධ්‍යාපන විශාරදයන් කැමති වේවි දන්නෙ නැහැ.

 

ඒත් අද මට මාතෘකාවක් දීල තියෙනවා. වමාලා හිටපු වමාලා ජෙප්පන් සෙප්පන් චම්පකවාදීන් ආදීන්. ඔවුන් අතර සමානකමක් තියෙනවා. ඔවුන්ට මාක්ස්වාදී සම්භවයක් තියෙනවා පමණක් නොව ඔවුන් යම් ආකාරයක විද්‍යාත්මක සමාජවාදීන්. මට නම් හිතෙන්නෙ ඔවුන්ට ඊනියා මනෝරාජික සමාජවාදීන් තරමටවත් සමාජයට බලපෑමක් කරන්න බැහැ කියා. ලංකාවෙ නම් ශ්‍රී නි පක්‍ෂයෙ හා පොහොට්ටුවෙ ඇතැමුන් මනෝරාජික සමාජවාදීන්. වමාලට  මාතෘකාව වෙලා තියෙන්නෙ ඊයේ ලිපියේ තිබූ එක් වාක්‍යයක්.  ඔවුන්ට අනුව වාක්‍යය  තමන් මා ගැන ඇති කරගෙන තියෙන මතය තහවුරු කරනවා. මා රාජපක්‍ෂවාදියෙක් කියන එක ඔවුන්ට සක්සුදක් සේ පැහැදිලියි. ඔවුන් සමහරකු මේ ලිපියේ මාතෘකාව දුටු විගස තව තවත් තම මතයේ එල්බ ගනීවි. ඔවුන්ගෙන් සමහරකු තමයි අර බුලත් දෙන ව්‍යාජ ඡායාරූපය සකස් කෙළේ. 

 

දේවනාගරී අක්‍ෂරවලින් තම පිටුව හඳුන්වා දෙන රනිල් ඇල්බට් නම් ව්‍යාජ නමකින් පෙනී සිටින  අයකු මෙසේ කියා තිබුණා. “මේ මිනිහා තමාට ජාතිකවාදී ලේබල් එක කොහොම අලවගන්න හැදුවත් මූගේ රාජපක්ස සට්ටැඹි ගතිය හිටි ගමන් මතු වෙනවා."  තවත් අයකු උපහාසයෙන් කියා තිබුණා "රොකට් එකක් ඇරියේ චිචි විතරයි"  කියා.

 

මා ඊයේ ලිපියේ කියා තිබුණේ කුමක් කියා බලමු. අදාළ සම්පූර්ණ කොටස මෙසේයි.

 

"අප කොතරම් බටහිරයන් අනුකරණය කළත් කොතරම් සුඛොපභෝගී වාහනවල ගමන් කළත් තට්ටු දෙකේ තුනේ ගෙවල් හැදුවත් නුවර පෙරහැරට හිනහ වුණත් අපට රොකට්ටුවක් යවා ගන්න බැහැ. සිංහලයන්ගේ අනුකාරකත්වය එන්න එන්න වැඩි වෙනවා. එකල ගේට් යන්න ගේට්ටුව ලෙස සිංහලයට අවශෝෂණය කිරීමට අපට හැකි වුණා. ෆර්නැන්ඩුලා ප්‍රනාන්දුලා වුණා. එක් වෙබ් පිටුවක එය හිනහවට ලක් කරලා තිබුණා නම් පරිවර්තනය කරන්න බැහැ කියලා. ඔහු දන්නෙ නැහැ පරිවර්තනය හා අවශෝෂණය අතර වෙනස. එහෙත් තැනැත්තා දෙවුන්දර යන්න ඩොන්ඩ්‍රා ලෙස ඉංගිරිසියෙන් ලියනවා.

 

අද අපි ගේට්ටුව කියන්නෙ නැහැ. ගේට් එක කියනවා. අප අද නාම පදයක් අවශෝෂණය කරගන්නේ එක කියන වචනය අගට යොදා ගැනීමෙන්. රොකට් එකක් ඇරියෙ චිචි විතරයි. ඒත් ඔහුට ඉන්දියාවට වඩා එක්ස්පෙන්ඩ් කරන්න වෙලා."

 

මා වමාලා තරම් බුද්ධිමතකුවත් විද්‍යාඥයකුවත් ශාස්ත්‍රඥයකුවත් නො වෙයි. මා ලිපි කියවන්නේ ලියන්නේ වාක්‍යයෙන් වාක්‍යයට වෙන වෙන නො වෙයි.  අපට රොකට්ටුවක් යවා ගන්න බැහැ කියා මොහොතකින් රොකට් එකක් ඇරියෙ චිචි විතරයි කියන්නෙ මොක කියල බුද්ධිමතුන් කල්පනා කරන්නේ නැහැ. ඊළඟට අර එක්ස්පෙන්ඩ් කතාව කියන්නෙ කාට කා වෙනුවෙන් කියල හිතන්නෙ නැහැ. මගේ භාෂාවෙ රොකට් එක වගේ යෙදුම් නැහැ. රොකට් එක වගේ යෙදුම් ඇති අය තමයි චිචි රොකට් එකක් ඇරපු බව කියන්නෙ. චිචි ඇරපු රොකට්ටුවක් නැති බව මා කියන බව ඔවුන්ට තේරෙන්නෙ නැත්තෙ ඔවුන්ට පේන්නෙ තමන් බලන විධියට නිසා.

 

ඔවුන්ට අනුව මා රාජපක්‍ෂලාට බුලත් දෙන රාජපක්‍ෂවාදියෙක්. මා කිසිම පුද්ගලවාදියකු නොවන බව ඔවුන් පිළිගන්නේ නැහැ. ඔවුන්ට එසේ පිළිගැනීම ප්‍රශ්නයක් වෙනවා. ඇතැම් මාක්ස්වාදී ජාතිකවාදීන්ට මා ජාතිකවාදියකු වීම ප්‍රශ්නයක්. නිසා ඔවුන් මා ජාතිකවාදියකු නොවන බව කීමට වලිකනවා. ඔවුන් පිළිගන්නා දේ වෙනස් කිරීමට මට බැහැ. අවශ්‍යත් නැහැ. මේ ලිපිය ඔවුන්ගේ පඬිකම ප්‍රදර්ශනය කිරීම සඳහා පමණයි.

 

පඬි නැට්ටන් කියවන්නේ වාක්‍යයෙන් වාක්‍යයට වෙන වෙන . ඔවුන් තරමට විශ්ලේෂණාත්මකයි. සමස්තය එහෙම නැත්නම් සංස්ලේෂණය ඔවුන්ට අදාළ නැහැ.  මේ ඇතැමුන් තමයි හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට වැඩැම්මුවෙ. එක් හාමුදුරුනමක් තමයි කාදිනල්තුමාගේ දකුණත් සවු වණෙ. ගෝඨාභය යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් සිංහල බෞද්ධකම ඉවරයි කියා සිංහනාද කෙළෙ. ඒක බලුසිංහ කියා අහන්න එපා.  

 

ඒත් එක කාරණයක් කියන්න ඕන. මේ සියල්ලන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මහින්ද හා ගෝඨාභය. ඔවුන් දෙදෙනා ගෙදර යැවීම තමයි වමාලා කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙන්නෙ. ඒත් දෙදෙනාත් ගෙදර යැවුවෙ බටහිර හා ඉන්දීය පාලකයන්.  බැසිල් නාමල් ආදීන් දේශපාලනයේ යෙදීම ගැන කිසිවකුට ප්‍රශ්නයක් නැහැ. රාජපක්‍ෂලා අතරින් ජාතිකවාදියකු වුණේ ගෝඨාභය. මහින්ද එතැනට තල්ලු කරනු ලැබුවේ ජාතිකවාදීන් විසින්. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ හා සරත් ෆොන්සෙකාගේ එකතුවෙන් තමයි කොටි පරාජය කෙරුණේ.

 

හයවැනි පරාක්‍රමබාහු රජුගේ හා සපුමල් කුමරුගේ එකතුවෙන් පසු එවැනි එකතුවක් දක්නට ලැබුණේ වසර හයසීයකට පමණ පසු. සීීතාවක රාජසිංහ හා කොනප්පු බණ්ඩාර එකතුවක් කළ හැකි තිබුණා නම් අපේ ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා.

 

දැන් කියන්න මගේ රාජපක්‍ෂවාදීකම අවසාන මොහොතේ හරි එළියට එනවා කියා. එහෙත් කොටි පරාජය නොකළා නම් ඔය සියලු වමාලා හිටපු වමාලා හා අනෙක් අයට පඬි නැට්ට කකුල් දෙක අස්සෙවත් තියාගෙන ඉන්න ඉඩක් ලැබෙන එකක් නැහැ.