Main Logo

Sunday 17 September 2023

පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල හා ස්විස් කෝළම

 

පාස්කු ප්‍රහාරය  මෛත්‍රිපාල හා ස්විස් කෝළම

 

ඇත්ත නැත්ත කෙසේ වෙතත් මිනිසුන්ට ඇත්තේ විශ්වාස. බොහෝ විට අප වැඩ කරන කතා (හිතළු, උපන්‍යාස හා තවත් දේ) විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් අප විශ්වාස කරන, විශ්වාස කරන්නට පුරුදු කෙරී ඇති පුද්ගලයන් කියන කරන දේ විශ්වාස කරනවා. අපේ පක්‍ෂපාතකම් අනුව විශ්වාස කරනවා.

 

මා ඊනියා විද්‍යා සඟරා වෙබ් අඩවි සහ තවත් දෑ කියවනවා. එහෙත් මොන තරම් වාස්තවික යැයි කිවුවත් කතා තමන් දරණ මතයට ලෝක දෘශ්ටියට සාපේක්‍ෂ බව පැහැදිලියි. දෘශ්ටිවාදී නොවන්නේ කුමක් ? එවැන්නක් නැහැ. ඊනියා විද්‍යාවටත් දෘශ්ටිවාදයක් තියෙනවා.සෑම විද්‍යාඥයකුට සෑම දාර්ශනිකයකුට සෑම ශාස්ත්‍රඥයකුට දෘශ්ටිවාදයක් තියෙනවා.  ලොවේ දෘශ්ටිවාදයක් නැති වීමට නම් සසර කෙළවර කරන්න ඕන. සසර කෙළවර කිරීමටත් දෘශ්ටියක් අවශ්‍යයයි. සම්‍යක් දෘශ්ටිය. සසර කෙළවර කිරීමත් සමග දෘශ්ටිවාදය නැති වෙනවා.  දැනුම සංස්කරණයත් නැති කරනවා.  

 

මේ කතාව කියන්න මට හිතුණේ පාස්කු ප්‍රහාර කතා නිසා. පහුගිය දා එක්තරා වෙබ් අඩවියක තිබුණා මෛත්‍රිපාල සිරිසේන අපේ හිටපු ජනාධිපතිතුමා  චැනල් 4 අනාවරණ සමග පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දී ඇති තීන්දුව වෙනස් කිරීමට අභියාචනා කරනවා කියා. මට ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. මෛත්‍රිපාල වැන්නකු එවැන්නක් කරාවි යන සැකය මට ඇති වුණා. චැනල් හතරේ ඊනියා අනාවරණ සාක්‍ෂි නො වෙයි.  අද වන විට වෙබ් අඩවිය අදාළ ප්‍රවෘත්තිය ඉවත් කර ඇති බව පේනවා.

 

යමක් කර ඇති බව පෙන්වීමට සාක්‍ෂි ඉදිරිපත් කළ හැකි නමුත් නොකළ බව පෙන්වීමට සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ කෙසේ ? සලේ ඔය කියන කාලයේ ලංකාවට නොපැමිණි බව පෙන්වන්නේ එහෙමත් නැත්තන් ඔප්පු කරන්නේ කෙසේ ? ගමන් බලපත්‍රය බලන්න කී විට සලේට තවත් ගමන් බලපත්‍ර තියෙනවා කියන්න පුළුවන්. මා හිතන්නේ චැනල් 4 සලේ ඔය කාලයේ ලංකාවේ සිටි බව කිසිම සැකයකින් තොරව පෙන්විය යුතු කියා.

 

ස්විට්සර්ලන්තය ගෝඨාභය ඉවත් කිරීමේ දීත් පසුවත් කිනම් කාර්යභාරයක් ඉටු කෙළේ යන්නත් කවදා නමුත් සොයා බලන්න ඕන. බැනිස්ටර් සිද්ධියේ සිට රැකියා දීමේ හා සරණාගතයන් ලෙස පිළිගැනීමේ සිද්ධි දක්වා ප්‍රශ්න තියෙනවා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල කඩිමුඩියේ හකුළා ගියේ මොක ?  

 

මා කලින් කී වෙබ් අඩවියේ මෛත්‍රිපාල සම්බන්ධ ප්‍රවෘත්තිය කොහොම වුණත් මියගියවුන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නෑ හිතවතුන් හැරුණු විට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වින්දිතයා මෛත්‍රිපාල. ඔහුට සම්බන්ධයෙන් තම නොසැලකිල්ල වෙනුවෙන් කියා මහා විශාල මුදලක් ගෙවන්න සිදු වුණා. කාදිනල්තුමා තව මහා මොළකරු හොයා ගෙන නැතුව ඇති. එතුමාගේ දැගසවුවන් වහන්සේත් මහා මොළකරු ගැන කිසිවක් කියන්නේ නැහැ. සිරිල් ගාමිණී පූජකතුමා තම හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. හිටපු ත්‍රස්ත විරෝධීන් ඇතුළු පිරිස් එකිනෙකට සම්බන්ධයක් නැති ඊනියා සිද්ධි රාශියක් නම් කියනවා.

 

කුමක් වුවත් චැනල් 4 මොනවා කිවුවත් මෛත්‍රිපාල වින්දිතයෙක්. අධිකරණයට අනුව ඔහු කළ වරද සැලකිලිමත් නොවීම. සැලකිලිමත් නොවී ඇත්තේ බුද්ධි අංශ වෙන්න පුළුවන්. එසේ නම් බුද්ධි අංශ තත්වයට පත් වුණේ යහපාලන ආණ්ඩුව නිසා කියන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ යහපාලන කාලෙ. ආණ්ඩුවට පාණ්ඩුව හැදිල තිබුණෙ. යහපාලන ඇමති මණ්ඩලය මොක කෙළෙ? කවුද ඇමතිවරු, එකල බලය තිබුණෙ කාට ? පාස්කු ප්‍රහාරයට යහපාලන ආණ්ඩුව වග කියන්න ඕනෙ නැද්ද? එකල හිටි එක බලවතා මෛත්‍රිපාල ?

 

ඔය සමහර ප්‍රශ්නවලට පිළිතුරු හැටියට ජා හිතවතුන් කියන්නෙ එකල රනිල් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳෙවුවෙ නැහැ කියන එක. කියන්නෙ ආණ්ඩුව පාණ්ඩුවක් වුණා කියන එක.  එකල කිසිම ආණ්ඩුවක් තිබුණෙ නැහැ. රාජ්‍ය පාලනයක් තිබුණෙ නැහැ. එක් එක් අය තම තමන්ට අවශ්‍ය විධියට කටයුතු කළා හරි නොකළා හරි. ඔය අතරෙ අපට හුරු පුරුදු ඊර්ෂ්‍යා කැපිලි හා තවත් දේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසුණා.

 

යහපාලනය බලයට පත්වුණෙ මූලික වශයෙන් බැසිල්ගේ ක්‍රියාකලාපය නිසා. මෛත්‍රිපාල වැන්නන් ශ්‍රී නි පක්‍ෂයෙන් අස්වුණෙත් බැසිල් නිසා. අතරට මහින්ද පුතුන්ගෙ වැඩත් බලපෑවා. මිනිසුන් බලය දුන්නෙ කොටි පරාජය කළ මහින්දට මිස රාජපක්‍ෂ පවුලට නොවන බව ඔවුන්ට අමතක වුණා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බටහිර හා ඉන්දියාව රනිල් හා මෛත්‍රිපාල අතර නොපෑහෙන මගුලක් කෙරුවා. වැඩිකල් යන්න පෙර රනිල් මෛත්‍රිපාල ගැටුණා.

 

ජාතිකවාදීන් යහපාලන ආණ්ඩුව බිඳ දමන්න කටයුතු කළා. දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටෙවුවා. මහින්ද හොර අගමැති කෙනෙක් නො වෙයි. එසේ කියන්නේ මොනව කියෙවුවත් ව්‍යවස්ථාව කියවල නැති අය. මෛත්‍රිපාල ජනාධිපති මහින්ද අගමැති කෙළේ ව්‍යවස්ථානුකූල . ගෝඨාභය රනිල් අගමැති කළා වගේ. එහෙත් බටහිර තානාපතිවරු යටත්විජිතල එකතු වෙලා දින පනස්දෙකේ ආණ්ඩුව බිඳ දැම්මා. බටහිර තානාපතිවරු ප්‍රීතිඝෝෂා කෙළේ පාර්ලිමේන්තුවේ දී. ඒත් ඉන් පසුවත් රනිල් මෛත්‍රිපාල හොඳ හිතින් වැඩ කෙළේ නැහැ. අද මෛත්‍රිපාලට ඇත්තේ බියක්.  ඔහුට ආණ්ඩුවට පක්‍ෂපාත වෙන එක හැර විකල්පයක් නැහැ.

 

රනිල් මෛත්‍රිපාල ගැටුම නිසා ඇති වුණේ අරාජික තත්වයක්. බුද්ධි අංශ එකාට එකා නැති තත්වයකට පත්වෙලා තිබුණු බවයි දැන් කියන කතාවලින් අපට හිතා ගන්න පුළුවන්. ඉන් ප්‍රයෝජන ගත්තෙ වහාබ්වාදීන් මුස්ලිම් අන්තවාදීන්. එය බටහිර මුස්ලිම් ගැටුම මිටි තැනින් ගලා ගිය අවස්ථාවක්. රට අරාජික තත්වයක තිබුණු මොහොතක වහාබ්වදීන්ට ලැබුණු අවස්ථාවක්. එය කල දුටු කල වල ඉහ ගැනීමක්. යහපාලන ආණ්ඩුවත් ඔවුන් බලයට පත්කිරීමට කටයුතු කළ අයත් දින පනස්දෙකේ ආණ්ඩුව බිඳ දැමූ සියලු දෙනාත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන.

 

ඉතිහාසයේ දෙය මේ මේ අන්දමට සිදු වුණා නම් කියන කතා එතරම් වැදගත් නැති බව මා දන්නවා. ඒත් මෝඩකමට එවැනි කතා කියැවෙනවා. යම් අයුරකින් දින පනස්දෙකේ ආණ්ඩුව දිගට පැවතුනා නම් කුමක් සිදු වීමට තිබුණ ? අරාජික තත්වය නැති වී බුද්ධි අංශ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න තිබුණා. සහරාන්ලා අක්‍රීය වෙන්න තිබුණා. ජීවිත ගණනක් බේරෙන්න තිබුණා.

 

ඒත් ඔය රට ආරක්‍ෂා කිරීමට පාස්කු ප්‍රහාරය ඇති කර අනාරක්‍ෂිත බවක් තිබුණාය කියා ඡන්ද ඉල්ලූ බව කියන කතා  නිකම් නිකම් කතා පමණයි. ජනාධිපතිවරණයේ දී එවැනි කතා කියැවුණා ? ජනාධිපතිවරණයේ දී පමණක් නොව දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවීමේ දී බලපෑවේ ජාතිකත්වය මිස වෙනත් කරුණක් නො වෙයි. දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවීමට ජාතිකවාදීන් ක්‍රියා කෙළේ ඊට පෙර පාස්කු ප්‍රහාරයක් තිබුණ නිසා නො වෙයි. දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවීමේ දී බලපෑවේ රනිල්ගේ විජාතිකත්වය. අවශ්‍ය වෙලා තිබුණේ රනිල් ඉවත් කර ජාතිකත්වයක් ඇති මහින්ද පත් කරන්න. බටහිරට හා ඉන්දියාවට දිරව ගන්න බැරිත් මෙරට ජාතිකත්වය.

 

2019 ජනාධිපතිවරණයේ දී පාස්කු ප්‍රහාරය බලපෑවේ නැහැ. කාදිනල්තුමාත් අවස්ථාවේ ගෝඨාභයට පක්‍ෂ වුණා. ගෝඨාභය ඉදිරිපත් කෙරුණේ ජාතිකවාදීන් විසින් මිස රාජපක්‍ෂ පවුල විසින් නො වෙයි. ජාතිකවාදීන්වත් රාජපක්‍ෂ පවුලවත් ජනාධිපතිවරණයේ දී පාස්කු ප්‍රහාර වැළැක්වීමට ඡන්දය ඉල්ලුවේ නැහැ. ජාතිකවාදීන්ට අවශ්‍ය වුණේ ජාතිකවාදී ආණ්ඩුවක්. ෆෝඨාභයට ඡන්දය දීමට එතෙරින් ලක්‍ෂ ගණනක් පැමිණියේ පාස්කු ප්‍රහාරවලින් රට ආරක්‍ෂා කිරීමට නො වෙයි. ඔවුන්ටත් අවශ්‍ය වූයේ ජාතිකත්වය.

 

ගෝඨාභයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සමග එංගලන්තය ප්‍රමුඛ බටහිරට හා ඉන්දියාවට නැවතත් නන්දිකඩාල් භීතිය ඇති වුණා. කාදිනල්තුමා නැවතත් නන්දිකඩාල් ගියා. පාස්කු ප්‍රහාරයට වෙනත් අර්ථකථන දුන්නා. ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් කළ, නැත්නම් යෝජනා කළ මහා මොළකරු කවුද කියා හොයමු ? අඩු තරමෙන් මෛත්‍රිපාලගේ බිය නැති කිරීම සඳහාත් කාදිනල්තුමාටත් සිරිල් ගාමිණී පූජකතුමාටත් පරගලයන්ටත් යමක් කතා කරන්න ඉඩක් සපයන්නත්.  අතර ස්විට්සර්ලන්ත කතාත් සොයා බලමු. කලක් නෝර්වේ ස්වීඩන් වැනි රටවල් ඉටුකළ කාර්යභාරය අද ඉටු කරන්නේ ස්විට්සර්ලන්තය ?