Main Logo

Tuesday 19 September 2023

ටෘඩෝ හා අරිශ්ට

 

ටෘඩෝ හා අරිශ්ට

 

කැනඩාවේ අගමෑති ටෘඩෝ ඉන්දියාව ගැන මහත් සැකයකින් කතා කරලා. ඔහු කියා ඇත්තේ  පසුගිය ජූනි මාසයේ කැනඩාවේ බ්‍රිටිෂ් කොළම්බියා පළාතේ සරේහි සික් නායකයකු වූ හර්දීප් සිං නිජාර් සික් දෙවොලක් අසල වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස ඉන්දියාව සිටිය හැකි බවයි. ටෘඩෝ ප්‍රකාශ කර ඇත්තේ සැකයක් පමණයි. ඉන්දියාව ඝාතනය ගැන වග කිව යුතු බවක් ඔහු කියන්නේ නැහැ. එහෙත් ඔහු වහෙන් ඔරෝ කියන්නේ කුමක් ?

 

කැනඩාවේ විශාල සික් ජනකායක් ඉන්නවා. පන්ජාබයෙන් පිට සික් ජනයා වැඩි පුර ඇත්තේ කැනඩාවේ යැයි කියනවා. කැනඩාවේ ලංකාවෙන් ගිය දෙමළ කතා කරන ජනයා යම් ප්‍රමාණයක් ඉන්නවා. කැනඩාවේ දේශපාලනයට සියළු සංක්‍රමණිකයන් වැදගත් වෙනවා. කැනඩාව නිතර ලංකාවෙන් එහි ගිය දෙමළ කතා කරන ජනයා වෙනුුවෙනුුත් පෙනී සිටිනවා. ඔවුන් කරන ප්‍රකාශවල අර කියන්නා වගේ තාර බර ඇරල ගන්න ඕන. ඉන්දියාව ගැන කියන දේත් එහෙමයි.

 

කෙසේ වෙතත් නිජාර් කාලිස්ථානයක් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් කියා කියනවා. අපට ටෘඩෝගේ ප්‍රකාශය වැදගත් වන්නේ කරුණු දෙකක් නිසා. ඉන්දියාව නිජාර් ඝාතනය පිටුපස සිටියත් නැතත් සික් ප්‍රශ්නයක් තියෙනවා. සික්වරුන් අතර ඉන්දියාවෙන් වෙන් වී වෙන රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. එය දේශපාලන ව්‍යාපාරයක්. ඉන්දිරා ගාන්ධි සික්වරුන්ගේ රන් දෙවොළ තුළ ලේ හෙලූ බව බොහෝ දෙනා දන්නවා.

 

මෙරට ඇති වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් ඉන්දියාව මැදිහත් වෙන්නේ දෙමළ කතාකරන ජනකොටස්වලට ඇති ලෙන්ගතුකමක් නිසා නො වෙයි. එක් පැත්තකින් ඉන්දියාවට තම රටේ ද්‍රවිඩ ඡන්ද අවශ්‍ය වෙනවා. එහෙත්  භාරතීය ජනතා පක්‍ෂයට පහුගිය දා කර්නාටකයෙන් අත් වූයේ පරාජයක්. කර්නාටකය අපටත් වැදගත්. එහි විජයනගර් රාජ්‍යය ඇති වීමෙන් පසුව මුස්ලිම් මෙන් වෙනත් ජනයා ලංකාවට පැමිණ ඇති බව පේනවා. කුමක් වුවත් භාරතීය ජනතා පක්‍ෂයට මෙන් කොංග්‍රස් පක්‍ෂයට දෙමළ ඇතුළු ද්‍රවිඩ ඡන්ද වැදගත්.

 

අනෙක් අතට වෙල්ලාල ජාතිවාදය මගින් ලංකාව දෙකඩ කර මෙරට ඉන්දියාවේ අණසකට යටත් කර ගැනීමේ වුවමනාව ඉන්දියාවට තියෙනවා. කුප්‍රසිද්ධ පනික්කාර් කියමන අනුව ඉන්දියන් සාගරය යනු ඉන්දියාවේ සාගරයයි. ඉන්දියාවට අවශ්‍ය  ඉන්දියන් සාගරය හා රටවල් තම අණසකට ගන්න. ඉන්දියාව වෙනුවෙන් 1947 සිට ක්‍රියාකර ඇති අයුරු පැහැදිලියි. අද වන විට බූතානයට හා නේපාලයට ඉන්දියාව බලපෑම් කරනවා. ඇසෑමයක් කියා රටක් නැහැ.

 

එහෙත් මෑතක සිට ඉන්දියාවට කලාපීය බලවතාගේ තත්වයේ සිට ලෝක බලවතකු වීමේ තත්වයටඋසස් වීමක්” ලබා ගැනීමේ අවශ්‍යතාව ඇති වෙලා. එයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් තල්ලුවක් ලැබුණා. චීනයට විරුද්ධ . පසුගිය දා පැවති G 20 රැස්වීම ඉන්දියාවේ ජයග්‍රහණයක් බව කියැවෙනවා. ඉන්දියාවට අවශ්‍ය ලෝක බලවතකු වීමට ලෝක බලවතා වීමට ? බටහිරයන් චීනයට විරුද්ධ ඉන්දියාව යොදා ගත්තත් එරට ලෝක බලවතා වනු දැකීමට නම් කැමති වෙන එකක් නැහැ.

 

මාස තුනක පමණ නිහැඬියාවකින් පසු ටෘඩෝ ඉන්දියාව ගැන සැකයකින් කතා කරන්නේ ඉන්දියාවේ හොඳකට නම් වෙන්න බැහැ. කැනඩාව මේ සැකය මතු කරන්නේ අනෙක් බටහිර රටවල් නොදැනුවත් වෙන්නත් බැහැ. බටහිරයන් චීනයට විරූද්ධ ඉන්දියාව යොදා ගත්තත් තම වසර පන්සීයක ලෝක ආධිපත්‍යය ආසියාවට දෙන්න කැමති වෙන එකක් නැහැ.

 

ඉන්දියාව අපට වෙල්ලාල ප්‍රශ්නය ගැන මොන බයිලා කිව්වත් තම ගෙදර විශාල ප්‍රශ්නයක් තියාගෙනයි එසේ කරන්නේ. ඉන්දියාවට තම ඇහේ තියෙන පොල් පරාල පෙනෙන්නේ නැහැ. සික් ප්‍රශ්නය එක් පොල් පරාලයක් පමණයි. අපට කීමට ඇත්තේ  ද්‍රවිඩ ප්‍රශ්නයත්  තවත් පොල් පරාලයක් බවයි. බටහිරයන්ට අවශ්‍ය විටක ද්‍රවිඩ ප්‍රශ්නය උලුප්පන්න පුළුවන්. ඉන්දියාව අපට අරිශ්ට එවන්න කලින් බෝතලයක් හමාරක් බිව්ව නම් හොඳයි.

 

ටෘඩෝ ඉන්දියාව ගැන කියන්නේ ඉන්දියාවේ ඒජන්තයන් ගැන සඳහන් කරමින්. එහෙත් ප්‍රවෘත්ති  මාධ්‍ය එයට විශාල ප්‍රචාරයක් දෙනවා. අපි විමසිල්ලෙන් බලා සිටිමු.