Main Logo

Thursday 7 September 2023

පැරණි වම ජෙප්පෝ හා චැනල් 4

 

පැරණි වම ජෙප්පෝ හා චැනල් 4

 

කවුරුත් පාහේ දන්නා පරිදි මෙරට වමක් ලෙස පක්‍ෂයක් ඇති වුණේ සමසමාජ පක්‍ෂය සමග. දැනට අවුරුදු අනූවකටත් එහා වකවානුවක. එහෙත් අවුරුදු අනූවක් යෑමට කලකට  පෙර මෙරට වම නැති වුණා. අද වමක් නැති වමාලා ටිකක් නම් ඉන්නවා. අද ඉන්න වමාලා විවිධ වර්ගවල අය. ශ්‍රී නි පක්‍ෂයේ පොහොට්ටුවේ ඇතැමුන් හිතන්නේ තමන් වාමාංශිකයන් එහෙම නැත්නම් වමාලා කියා. ජෙප්පන් හා ඔවුන්ගෙන් කැඩී ගිය සෙප්පන් තමන් වමාලා කියා හිතනවා. අතර විවිධ න්‍යායාචාර්යවරුන් ඉන්නවා තමන් වමාලා කියා හිතන. සමහරු ඉහළ පෙළේ චින්තකයන් කියා කියනවා. ඔවුන් අහවල් අහවල් අයගේ පොතපත කියවා තියෙන බව කියනවා.

 

වාමාංශික පක්‍ෂ නැති වෙන්න පටන් ගත්තේ ශ්‍රී නි පක්‍ෂය පිහිටුවීමත් සමග. සමසමාජ පක්‍ෂය පිහිටුවීමත් ශ්‍රී නි පිහිටුවීමත් අතර කාලය අවුරුදු විස්සක් පමණයි. කියන්නේ වාමාංශික පක්‍ෂ ඇති වෙලා අවුරුදු විස්සක් යන විට   වාමාංශික පක්‍ෂ අභාවයට යෑම ඇරඹුනා කියන එක. ශ්‍රී නි පක්‍ෂය ආරම්භ වී අවුරූදු පහළොවක් පමණ ගතවන විට වි පෙ ඇති වුණා. එය පැරණි වම නොවේය යන අදහසක් තියෙනවා. පැරණි වම ගැන කතා කරන විට වි පෙ ගැන කතා කරන්නේ නැහැ. වි පෙ නව වම ?

 

පැරණි වමේ තිබුණෙත් ප්‍රභූ නායකත්වයක්. නායකයන් කොළඹ ප්‍රභූ පාසල්වල ආදි ශිෂ්‍යයන්. එන් එම් පෙරේරා ශාන්ත තෝමස් විදුහලේත් ආනන්ද විදුහලේත් ආදි ශිෂ්‍යයෙක්. කොල්වින් ආර් සිල්වා පීටර් කෙනමන් රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයන්. ලෙස්ලි ගුණවර්ධන ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. පිලිප් ගුණවර්ධන හා එස් වික්‍රමසිංහ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයන්. ඔවුන් ප්‍රභූන්ගේ දරුවන්. ඔවුන් එංගලන්තයේ හරි ඇමරිකාවේ හරි අධ්‍යාපනය ලැබූවන්.

 

ඇතැමුන් හිතනවා ප්‍රභූන්ට ජාතිකත්වයක් ජාතික හැඟීමක් නැහැ කියා. ප්‍රභූ පාසල්වලින් බිහිවන්නන්ට ජාතිකත්වයක් නැහැ කියා. ධර්මපාලතුමා ශාන්ත තෝමස් විදුහලේ මෙන් රාජකීය විදුහලේත් ආදි ශිෂ්‍යයෙක් හා ප්‍රභූ පවුලක උපත ලත් අයෙක්. පෑරණී වමේ නායකයන්ට ආගමික හැඟීම් තිබුණා. ඉහත නම් සඳහන් අයගෙන් ලෙස්ලි ගුණවර්ධන හා පීටර් කෙනමන් හැරුණු විට අනෙක් අය බෞද්ධයන්. එහෙත් ඔවුන්ගේ ජාතිකත්ව මාක්ස්වාදයේ පංති කතාවෙන් වැසී ගියා. ජාතිය නොව පංතිය මත පදනම් වූ දේශපාලනයක් ගැන කතා කළ මාක්ස් ජාතිය යන්න තම දේශපාලනයෙන් ඉවත් කළා.

 

මාක්ස්ට යුරෝපයේ ජාතිය දකින්න ලැබුණේ මෑත කාලයක. ඔහු නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වෙලා සමාජය විග්‍රහ කිරීම එකල සමාජයේ ප්‍රශ්නයක්. පංතිය යන්න වියුක්ත සංකල්පයක්. අවසානයේ දී එය නැති පංතියක් වුණා. ජාතිය ගැන නැතත් මාක්ස් සංස්කෘතිය ගැන අවධානය යොමු කළා නම් වෙනත් දේශපාලන මතවාදයක් අභිසංස්කරණය කරන්න තිබුණා. පැරණි වමේ නායකයන්ටත් තිබූ ජාතිකත්ව මාක්ස්වාදී බහුබූත විසින් වසනු ලැබුවා මිසක් නැති වුණේ නැහැ. ඔවුන් ප්‍රභූවරුන් වූ නිසා ඔවුන්ට හීනමානයක් තිබුණේත් නැහැ. එන් එම් පෙරේරා වරක් පන්සලක නේත්‍රා පිංකමකට සහභාගි වෙලා තියෙනවා. එහෙත් අර පංති කතාවෙන් මත්වෙලා හිටි සමසමාජ පක්‍ෂය ඔහුගේ ක්‍රියාව තදින් විවේචනය කර තියෙනවා.

 

ශ්‍රී නි බිහිවීමෙන් පසු පැරණි වාමාංශික නායකයන්  ශ්‍රී නි සමග සභාග ආණ්ඩුවල ඇමතිකම් ලබා ගත්තා. ඔවුන්ට වැටහෙන්න ඇති තම ඊනියා පංති දේශපාලනය වෙනුවට ජාතික දේශපාලනයක් කරළියට පැමිණ ඇති බවත් පංති කතා තව දුරටත් වලංගු නැති බවත්. එඩ්මන්ඩ් සමරක්කොඩිගේ විප්ලවකාරීන් හා පසුව පැමිණි විවිධ ට්‍රොට්ස්කිවාදී කුල යථා කාලයේ දී විප්ලවයකින් තොරව ම  නැති වුණා.

 

ඔවුන් අභාවයට ගියත් රෝහණ විජේවීර තම නොදැනුවත්කම හා අනවබෝධය නිසා නගරයෙන් ගමට ගියා. ඔහු ඊනියා නිර්ධන පංතියක් ගැන කතා කළා. එය කිසිසේත් මාක්ස්වාදී පංතියක් නො වෙයි. එය නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වූ පංතියක් නො වෙයි. අද එහි නියම නම කියැවෙනවා. නිර්ප්‍රභූන්. විජේවීර නිර්ප්‍රභූ පවුලක උපත ලද්දෙක්. ඔහුටත් ගෝලයන්ටත් තිබුණේ ප්‍රභූන් කෙරෙහි වු ද්වේෂයක්. මාක්ස්වාදයේ නැති පංතියක් ගැන ඔහු පංති පහකින් අඳ බාලයන්ට කියා දුන්නා.

 

මේ නිර්ප්‍රභූන්ට මාක්ස්වාදය ගැන මෙලෝ හසරක දැනුමක් තිබුණේ නැහැ. තිබුණා නම් නිර්ධන පංතියක් ගැන කතා කරන්නේ නැහැ. එහෙත් මේ නිර්ප්‍රභූ තරුණ තරුණියන්ට ජාතිකත්වයක් තිබුණා. ඔවුන් අති විශාල බහුතරය සිංහල බෞද්ධයන්. විජේවීරගේ පක්‍ෂයේ මේ ජාතිකත්වයත් බොරු මාක්ස්වාදයත් මිශ්‍ර වෙලා තිබුණේ. එහෙත් ඔවුන්ට පැරණි වාමාංශිකයන්ට තිබූ දැක්ම තිබුණේ නැහැ. ඔවුන් ශ්‍රී නි පක්‍ෂය දුටුවේ එකතු විය යුතු පක්‍ෂයක් ලෙස නොව විරුද්ධවාදී පක්‍ෂයක් ලෙස. විජේවීර හා ඔහුගේ ගෝලබාලයන් වැඩියෙන් වෛර කෙළේ ශ්‍රී නි පක්‍ෂයට. ඔවුන් හිතුවේ තමන්ට බලයට ඒමට ඇති මග අහුරා සිටින්නේ ශ්‍රි නි පක්‍ෂය කියා.

 

විජේවීරගෙන් පසුව සෝමවංශ අමරසිංහ ශ්‍රී නි පක්‍ෂය සමග වැඩ කිරීමට උත්සාහයක් ගත්තා. එහෙත් පක්‍ෂයේ බහුතරය ඔහුට විරුද්ධ වුණා. විමල් වීරවංසටත් යම් ජාතිකත්වයක් තිබුණා. දෙදෙනාට පක්‍ෂයෙන් ඉවත් වීමට සිදු වුණා. අද වන විට වි පෙරමුණට කිසිම ජාතිකත්වයක් නැහැ. එය මාක්ස්වාදී පක්‍ෂයකුත් නො වෙයි. එහි අද නිර්ප්‍රභූ ප්‍රභූ ගැටුමක් තියෙනවා. එහෙත් දෙකොටස ජාතිකත්වයට විරුද්ධයි. නිසා ජාතිකත්වයට විරුද්ධ න්‍යායාචාරීන්ට ජෙප්පන් මිතුරන් වෙලා.

 

ජෙප්පන් අද වැඩියෙන් විරුද්ධ රාජපක්‍ෂලාට. රාජපක්‍ෂලාට කිවුවත් මහින්දට හා ගෝඨාභයට. ඔවුන් රනිල් සමග වැඩ කරනවා. ජෙප්පන් විජේවීර මග ගනිමින් තම විරුද්ධවාදියා ලෙස සලකන්නේ ශ්‍රී නි හා ඉන් උපන් පොහොට්ටුවයි.  ඊයේ පෙරේදා චැනල් 4 සිද්ධියේ දී මවුලානා කතාව වැඩියෙන් පිළිගත්තේ සිංහල බෞද්ධ විරෝධීන්. ජෙප්පන් සිංහල බෞද්ධ පවුල්වල උපත ලද්දත් ඊනියා නිර්ප්‍රභූ දේශපාලනය හේතුවෙන් ජාතිකත්වයට විරුද්ධ වෙනවා. රනිල්දාසට අද වඩා කිට්ටූ රනිල් මිස මහින්දවත් මෛත්‍රිපාලවත් නො වෙයි. ජෙප්පන් මවුලානා කතාව පිළිගත්තේ තම පාක්‍ෂිකයන් හරි පක්‍ෂයට ආධාර කළවුන් හරි පාස්කු ප්‍රහාරයට කිසියම් ආකාරයකින් සම්බන්ධ සිටිය දී. 

 

පංති පහකින් ඊනියා නිර්ධන පංති දේශපාලනය ඉගෙන ගත් ජෙප්පන් රට බංකොළොත් වී ඇත්තේ රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා යැයි පිළිගන්නේ වගවිභාගයකින් තොරව. පාස්කු ප්‍රහාරයේ දේශපාලනය වහාබ්වාදය හා බටහිර අතර ඇති ප්‍රතිවිරෝධය බවත් එකල පැවති යහපාලන අරාජිකත්වය හේතුවෙන් විරෝධය මෙරට ක්‍රියාත්මක වූ බවත් ජෙප්පන් නොදන්නවාට බිරිතානින් දන්නවා. බිරිතානින් අතේ පත්තුවන මුසා කියන විටත් රාජපක්‍ෂ විරෝධය වෙසින් එන ජාතිකත්ව විරෝධය නිසා ජෙප්පන් න්‍යායාචාරීන් මුසාව පිළිගන්නවා.  ජෙප්පන් කෙතරම් අසරණ කියනවා නම් ඔවුන්ට චැනල් 4 සරණ යන්න වෙලා.