දළදා
පෙරහැරේ ඇත්තු හා පඬි නැට්ටෝ
නුවර
පෙරහැර ඉවර වෙලා ටිකක් දවස්. දැන් අලි ඇතුන්ට කරදරයක් නැහැ. මා කියන්නේ පෙරහැරේ ගෙන යෑම සම්බන්ධ ව නො වෙයි. පඬි නැට්ටන්ගෙ සත්ව කරුණාවෙන් කරදරයක් නැහැ කියන එක. පඬි නැට්ටන්ට වමාලට රනිල්දාස වැනි ලොකු ජෙප්පන් හැරෙන්න අනෙක් ජෙප්පන්ට තරමක ප්‍රශ්නයක් ඇති වෙලා. ඒකත් එක අතකින් බැලුව ම අලි ප්‍රශ්නයක්. රනිල් කියුබාවට උදවු කරන්නන් කියල. ධනවාදයේ අන්තිම ම බංකොළොත් රටක් සමාජවාදී රටකට උදවු කරන්නෙ කොහොමද? අපි යන්නේ කොයි පාරේ. ෆිදෙල් කස්ත්‍රො ගිය පාරේ. චේ ගෙවාරා ගිය පාරේ.
ඒකට
කමක් නැහැ අලි ඇතුන් යන්නෙ මහා පාරේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ පාරවල තාර දාල තියෙන්න නැතුව ඇති. ඒ පාරවලත් අලි ඇතුන් ගියා. පඬි නැට්ටන්ට හරි ප්‍රශ්න. අලි ඇතුන් පෙරහැරට එක් කළෙ කවුද? කීර්ති ශ්‍රී රාජසිංහ රජුට කලින් පෙරහැර තිබුණා ද? පඬි නැට්ටන් ප්‍රශ්න කරන්නෙ බෞද්ධ සංස්කෘතිය ගැන. බුදුදහම ගැන ඔවුන්ට ප්‍රශ්න අහන්න බැහැ. එක් දාර්ශනිකයකු නම් මගේ මිතුරකුට කියා තියෙනවා බුදුහාමුදුරුවන්ටත් වැරදිච්ච තැන් තියෙනවා කියලා. කවුරු හරි පඬි නැට්ටකු එවැනි තැනක් දෙකක් දුහුනන් දැනුම් උදෙසා පවසනවා ද?
බුදුහාමුදුරුවන් හැරෙන්න අනෙක් අය සියල්ලන් ම, දර්ශනිකයන් විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් කවුරුත් පාහේ කර තියෙන්නෙ ඊනියා යථාර්ථයක් තියෙනවා කියා හිතා ගෙන (උපකල්පනය කර ගෙන කියමු) ඒ යථාර්ථය මොකක් ද කියල කියන්න උත්සාහ කරපු එක. ආභාසන
(simulation) කාරයනුත් අවසානයේ කියන්නෙ යථාර්ථය කාගෙ දෝ ආභාසනයක් කියා. මට තේරෙන විධියට නම් බුදුහාමුදුරුවන් දේශනා කළේ ඊනියා ලෝකය මායාවක් කියා. ලෝකය පවතින්නේ ද නැත නොපවතින්නේ ද නැත කියා. ඉදින් එය (A) ඇත්නම් මෙය (B) ඇත ය කියා. එය ඇතැයි කියා දේශනා කර නැහැ.
ප්‍රශ්න ඇති වෙන්නෙ යථාර්ථය මෙහෙමයි අරෙහෙමයි කියන අය අතරෙ. මට සමහර වෙලාවට හිතෙනවා ථෙරවාදීන් ඒ ඊනියා යථාර්ථය තේරුම් ගැනීමට උත්සාහ නොකළ නිසා ද ථෙරවාදීන් පස්වැනි සියවසෙන් පමණ පසුව ශාස්ත්‍රීය වශයෙන් යමක් අභිසංස්කරණය නොකළෙ කියා. ඒ කොහොම වුණත් බුදුහාමුදුරුවන්ට වැරදිච්ච තැනක් පෙන්වනකම් අපි පෙරහැරෙ අලි ගණන් කරනවා.
මා
ඊනියා පර්යේෂකයකු නම් නො වෙයි. තොරතුරු හොයන්නකු ද නො වෙයි. මට ඒ එකක්වත් බැහැ. එක් එක් අය එකතු කරන තොරතුරු බලල කතන්දර කියන එක තමයි මගේ කාර්යය. මා ජනශ්‍රැතිවේදියකුත් නො වෙයිි. සමාජ විද්‍යාඥයකුත් නො වෙයි. ඇතැම් සිල්වාල විශිෂ්ට සමාජ විද්‍යාඥයන් වෙන්න ඇති. මා නිකම් ම නිකම් සිල්වා කෙනකු පමණයි.
නුවර
පෙරහැර ආරම්භ වුණෙ අනුරාධපුරේ කියලයි මට හිතෙනේන. ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඒකට අනුරාධපුර පෙරහැර කියන්නෙ නැත්තෙ මොක ද කියල. ඒකට පිළිතුරක් ඔය පාසල්වල නම් බැලුවොත් තියෙනවා. ඇතැම් පාසල්වල නම් වෙනස් වෙලා තියෙනවා. කොළඹ ඇකඩමිය අද රාජකීය විදුහල වෙලා. ඒත් හැමෝ ම කියන්නෙ රාජකීය විදුහල පටන් ගත්තෙ 1835 කියල. ඒ කාලෙ රාජකීය විිද්‍යාලයක් තිබුණෙ නැහැ. නුවර පෙරහැර පටන් ගත්තෙ පෙරහැර නුවර පවත්වන්න පටන් ගත්තට පස්සෙ නො වෙයි.
නුවර
පෙරහැර දළදා පෙරහැරෙත් ඇසළ පෙරහැරෙත් එකතුවක් කියා කියනවා. ඇසළ පෙරගැර වැස්ස වළාහක දෙවියන්ගෙන් වැස්ස ඉල්ලලා පවත්තපු පෙරහැරක්. දළදා පෙරහැර දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් පවත්තපූ පෙරහැරක්. ඒ පෙරහැර දෙක එකතු වුණෙ අනුරාධපුර යුගයෙ ද නැත්නම් ඊට පස්සෙ ද කියල පර්යේෂකයකුට දැන ගන්න පුළුවන්. දළදා පෙරහැර අනුරාධපුර යුගයෙත් පවත්තපු බවට නම් සාක්‍ෂි තීයෙනවා. මා දන්නෙ නැහැ දඹකොළ පටුනෙ ඉඳන් අනුරාධපුරයට දන්ත ධතුන් වහන්සේ වැඩැම්මුවෙත් පෙරහැරකින් ද කියල.
ඒ කොහොම වුණත් වැඩිකල් යන්න ඉස්සෙල්ල දන්ත ධාතුන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත් වුණා. පඬි නැට්ටන් අහන්න බැරි නැහැ රජසැප අත්හැර ගිය උතුමකුගෙ දතක් රාජ්‍යත්වයේ සංකේතය ලෙස ගැනීම බුදුදහමට එකඟ ද කියලා. අද පඬි නැට්ටන් තමයි බුදුදහම ආරක්‍ෂා කරන උපාසකයන්. ඔවුන් ම නෙ අහන්නෙ දතක් ඇතා පිටින් ගෙනි යන්නෙ මොක ද බුදුහාමුදුරුවන්ට නිගා කරමින් ඇතුන්ට හිරිහැර කරන්නෙ මොක ද වගේ විදග්ධ ප්‍රශ්න. වැස්ස ඉල්ලලා දත හොලවන්න කියන්නෙත් ඔවුන්. ඔවුන් නොදන්න දෙයක් නැහැ. ඒත් නුවර පෙරහැරෙ විකාශය දන්නෙ නැහැ. ඒ පෙරහැර කිහිපයක එකතුවක්. වැස්ස වෙනුවෙන් කෙරෙන පෙරහැර ඉන් එකක්.
බුදුදහම ගැන ප්‍රශ්නයක් අහන්න බැරුව ලතවෙන පඬි නැට්ටන් බුදුදහම වෙනුවෙන් පෙනී සිටින බවක් පෙන්වමින් බෞද්ධ සංස්කෘතිය ගැන ප්‍රශ්න අහනවා. දන්ත ධාතුන් වහන්සේ පමණක් නොව පාත්‍රා ධාතුන් වහන්සේ ද මෙරට රාජ්‍යත්වයේ සංකේත වෙලා තියෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේ නිදන් කර ඇති රුවන්වැලි සෑය අපේ ජාතිකත්වයේ සංකේතයක්. සිදුහත් කුමරු රජසැප අත්හැර ගිය එක ඇත්ත. එහෙත් සිංහල බෞද්ධ රජවරු බුදුහාමුදුරුවන්ට රාජ්‍යය ම පිදුවා. කිහිප වතාවක් ම පූජා කර තියෙනවා. එහි ඇති වරදක් නැහැ. අප බුදුහාමුදුරුවන්ට
පූජා කරන්නෙ හොඳ ම දේ. රජකුට පූජා කරන්න රාජ්‍යයට වඩා දෙයක් නැහැ. පූජා
කිරීම හා පූජා භාර ගැනීම කියන්නෙ දෙකක්. බුදු හාමුදුරුවන් පූජාව භාර ගන්න එකක් නැහැ. ඒ වෙන ම කාරණයක්.
එසේ
පිදුණූ රාජ්‍යයේ සංකේතය බවට දන්ත ධාතුන් වහන්සේ පත් වුණා. දන්ත ධාතුන් වහන්සේගේ ආරක්‍ෂකයා රජු බවට සංකල්පයක් ඇති වුණා. දන්ත ධාතූන් වහන්සේ මගුල් ඇතා පිට වැඩමවන්න කියා අදහසක් ඇති වෙන්න ඕන. මා දන්නේ නැහැ ඉතිහාසයේ පළමු වතාවට දන්ත ධාතූන් වහන්සේ ඇතා පිට වැඩැම්මෙවුවෙ කවදා ද කියා. ඒත් ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පෙර වෙන්න ඕන. කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරල තියෙන්නෙ ඇසල පෙරහැර හා දන්ත ධාතුන් වහන්සේ වැඩම කළ පෙරහෑර දෙකේ එකතුවට තවත් පෙරහැර හතරක් එනම් හතර දේවාලෙ පෙරහැර එකතු කිරීමයි.
හතර
දේවාලෙ පෙරහැර එකතු කිරීම ඊනියා
හින්දු පෙරහැර එකතු කිරීමක් නො වෙයි. මෙරට දේවාල තිබුණෙ නායක්කාර චාංශික සිංහල රජවරු බිසෝවරුන් ගේන්න ඉස්සර. හින්දු බිසෝවරුන් වෙනුවෙන් හැදුව නම් හදන්න ඕන දේවාල නොව කෝවිල්. බිසෝවරුන් දඹදිවින් ගේන එක කාලයක් තිස්සෙ කෙරුණු වැඩක්. සිංහල කුමාරිකාවන්ට දඹදිවින් කුමාරවරුන් ගෙනාපු එකත් කලක් තිස්සෙ කෙරිල තියෙනවා.
මෙරට
දේවාල ගැමුණු රජු දවසත් තිබුණ. කතරගම දේවාලයේ මහසෙන් දෙවියන්ට පුද පූජා කරන්න ගැමුණු රජු ගිහින් තියෙනවා. එතුමා බිසොවක් හොයා ගත්තෙ කොත්මලෙන්. එකල කොත්මලේ හින්දුන් හිටි බවට ආරංචියක් නැහැ. නාථ දේවාල තියා නාථ කෝවිල්වත් ඉන්දියාවෙ තියෙනවා ද කියා දැන ගන්න කැමතියි.
නුවර
පෙරහැර අවුරුදු දහසකට වැඩි කාලයක් තිස්සෙ විකාශය වුණු සංදර්ශනයක්. එයට විවිධ දේ විවිධ කාලවල එකතු වන්න ඇති. ඒ සමහරක් පිටින් ගෙන අවශෝෂණය කෙරුණු දේ. පඬි නැට්ටන් නම් දන්නෙ අනුකරණය පමණයි. එමෙන් ම පෙරහැරෙන් ඇතැම් දේ හැලෙන්නත් ඇති. පෙරහැර දියවඩන නිළමෙට භාර කෙළෙ ඉංගිරිසින්. ඒ ඉංගිරිසින් 1815 ගිවිසුම කඩා තම සේවාවන් ඉවත් කර ගැනීමෙන් පසු. රජ කාලෙ දියවඩන නිළමෙ තනතුර උසස් එකක් නො වෙයි. ඒත් දැන් උසස් වෙලා තියෙනවා.
පෙරහැරෙ දළදා පෙරහැර තමයි වැදගත් ම කොටස. දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවන්නෙ ඒ කොටසෙ. ඉංගිරිසි දැනුම කට ගාගෙන තමන් දාර්ශනිකයන් විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් ආදීන් වශයෙන් හිතන පඬි නැට්ටන්ට නොතේරුණාට දන්ත ධාතුන් වහන්සේ තම පිට උඩින් වැඩම කරන ඇතාට එහි ඇති වැදගත්කම තේරෙනවා. දන්ත ධාතුන් වහන්සේට කරන ගෞරවයක් වශයෙනුයි ඇතා අර පාවඩය සකස් කරන්නෙ.