Main Logo

Thursday, 21 September 2023

ලොකු වැඩ පොඩි වැඩ

 

ලොකු වැඩ පොඩි වැඩ

 

මේ දිනවල රනිල් නිව්යෝක් ගිහින්. අපේ පුවත්පත්වල ඔහුගේ චාරිකාව ගැන ඔහු හමුවන රාජ්‍ය නායකයන් ගැන විස්තර ප්‍රචාරය කරනවා. බොහෝ රාජ්‍ය නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාරෂික සමුළුවට නිව්යෝක් යනවා. එහි හොඳ පැත්තක් තියෙනවා. තම තමන්ගේ රටවලට වැදගත්වන රටවල රාජ්‍ය ගණනාවක නායකයන් එක තැනක දී හමුවෙන්න පුළුවන්. ඒක වැදගත්. ඒත් මා හිතන්නේ නැහැ සමුළුවට ඔවුන්ගේ දේශනවලින් වැඩක් තියෙනවා කියා. අපේ ජනමාධ්‍යයේ රනිල්ගේ දේශනය ප්‍රචාරය වේවි. ඒත් බංග්ලාදේශ් අගමැතිණිය කිව්වේ මොකක් කියා කියන්නේ නැහැ. රනිල්ගේ දේශනයටත් පිටරට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. 

 

බොහෝ කලකට පෙර 1959 දී බණ්ඩාරනායක මහතා නිව්යෝක් යෑමට සිටි අවස්ථාවෙ තමයි ඝාතනය කෙරුණේ. එයට පෙර මට මතක හැටියට මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතුවා. මට මතක හැටියට ලේක්හවුස් පත්තරවල මහතා සමුළුව අමතන විට හිස් පුටු තිබුණු බව සඳහන් කෙරුණා. ගැන අප කලබල විය යුතු නැහැ. අප වැනි රටවල රාජ්‍ය නායකයන් කියන්නේ මොකක් කියන එක ලෝකෙට වැදගත් නැහැ.

 

අපි අප ගැන ලොකුවට කතා කළත් ලෝකයාට අප වැදගත් නැහැ. ඔවුන්ට අප වැදගත් වන්නේ (ප්‍රශ්නයක් වන්නේ) අප ඔවුන්ගේ ආධිපත්‍යයට පිටින් යන අවස්ථාවල දී පමණයි. එහෙමත් නැත්තන් අප ඉතා වැදගත් ශාස්ත්‍රීය විද්‍යාත්මක දාර්ශනික යමක් කියා ඇත්නම් පමණයි. ඊනියා සාහිත්‍ය තෑගි සාම තෑගි ආදිය එතරම් වැදගත් නැහැ. එහි දේශපාලනික අගය ඉතා වැඩියි.  තෑගි තීරණය වන්නේත් දේශපාලනික පසුබිමකයි.  

 

මෙහි දී ඔවුන් කියන්නේ කවුද කියන එකත් වැදගත්. තීරණ ගැනෙන්නේ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය මගින්. මෙරට ජනමාධ්‍යයත් ඉතා වැඩි වශයෙන් තොරතුරු ගන්නේ බටහිර ජනමාධ්‍යයෙන්. ලෝකය හසුරවන්නේ කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. මෙරටින් වැදගත් ශාස්ත්‍රීය හරි විද්‍යාත්මක හරි දාර්ශනික හරි අදහසක් පළවෙලා නැහැ. දාර්ශනිකයන් ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් අතිවිශාල පිරිසක් සිටිය දී හා ඔවුන් බටහිර අදහස් පමණක් කියවද්දී.

 

ලෝකය අප ගණන් නොගන්නා බැවින් අප ඉතා සුළු දෙයක් කළත් ලොකුවට කියනවා. එය අප රටට පමණක් සීමා වූවක් නො වෙයි. ආසියා අප්‍රිකා රටවල් බොහොමයක තත්වය එබඳුයි. අප කවුරු හරි බටහිර  යම් ආයතනයක රැකියාව කරනවා නම් ගැනත් ලොකුවට කියනවා.

 

වරක් මා එක් මොටාවක කාලය ගතකරන අවස්ථාවක එක්තරා මහාචාර්යවරයකුගේ පුතකු බටහිර රටක සිට නිවාඩුවකට මෙරටට පැමිණියා. ඔහුට අවශ්‍ය වුණා පුතාගේ දේශනයක් ආචාර්යවරුන්ට අහන්න සලස්සන්න. අපිත් ඇහුවා. ඒත් පුතා ගැන ඉන්පසු කිසිවක් අහන්න ලෑබුණේ නැහැ.

 

සාහිත්‍යයේ පමණක් නොව විද්‍යාවේ ශාස්ත්‍රයේ දර්ශනයේ දේශපාලනය බලපානවා. කියන්නේ බටහිර සම්මතයට අප අනුකූල වෙන්න ඕන කියන එක. අප සාමාන්‍යයෙන් කරන්නේ බටහිර සම්මතයේ හිඳිමින් පොඩි පොඩි වැඩ. එහෙම කරනකම් ප්‍රශ්නයක් නැහැ.

 

රනිල්ගේ කතාවලට බටහිර ජනමාධ්‍යයේ තැනක් ලැබෙන්නේ නැහැ. එහෙත් අපට තැනක් ලැබෙන එක් කරුණක් තියෙනවා. අප මානව හිමිකම් කඩ කළාය කියන එක ගැන. අපට එහි දී තැනක් ලැබෙන්නේ අප බටහිරයන් පරාජය කිරීම නිසා සම්බන්ධයෙන් පළිගැනීමට. අප ඔවුන්ට ප්‍රශ්නයක්. බටහිරයන්ගේ අනුග්‍රහය ලැබූ කොටි සංවිධානය පරාජය කිරීම ගැන ඔවුන් අපට කිසි දා සමාව දෙන එකක් නැහැ. ඔවුන්ට අවශ්‍ය තමන් පැරදුණේ අප මානව හිමිකම් කඩ කළ නිසා බව ලෝකයාට කීමට. එහෙම නැතුව අප වැනි රටකට බටහිර අනුග්‍රහය ලැබූණු කොටි පරදවන්න පුළුවන් ?

 

රනිල්ගෙ කතාවලට චැනල් 4 ප්‍රචාරයක් දෙන්නේ නැහැ. ඒත් ගෝඨාභයට ප්‍රචාරය දෙනවා. මහින්දට ප්‍රචාරය දෙනවා. බටහිරයන්ට මහින්ද හා ගෝඨාභය කොතරම් රිද්දවල කියන එකයි ඉන් කියැවෙන්නෙ. බටහිරයන් පහළොස්වැනි සියවසේ සිට හැම යුද්ධයක් දිනල තියෙන්නෙ මානව අයිතිවාසිකම් රැකල කියල මා අහන්නෙ නැහැ. මෙරට හමුදාව තරම් මානව අයිතිවාසිකම් රැකි හමුදාවක් ගැන කියන්න පුළුවන් ? ප්‍රභාකරන්ගෙ මිනිස් පළිහ බේර ගෙන ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙ ගිල්ලපූ එක මානව හිමිකම් රැකීමක්. ගැමුණු රජු එළාරට ද්වන්දව සටනකට අභියෝග කෙළෙත් ජීවිත ගණනාවක් රැක ගැනීමට බව එක්සත් ජාතීන්ට කිව්වට වැඩක් නැහැ. මෙරට පඬි නැට්ටන්ට කිව්වත් වැඩක් නැහැ.