වැවයි
දාගැබයි සීගිරියයි ශූන්‍යයයි
අප හිතන විධියට අප (සිංහලයන්) ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කර තියෙනවා. එය නැහැ කියා මා කියන්නේ නැහැ. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. ලෝකයේ අපට එවැනි පිළිගැනීමක් නැත්තේ ඇයි ද කියා. අපට පමණක් නොව අද දකුණු ඉන්දියාව ලෙස හැඳින්වෙන ද්‍රවිඩ දේශයටත් එවැනි පිළිගැනීමක් නැහැ. මේ කලාපයේ යම් පිළිගැනීමක් ඇත්තේ මොහෙන්ජදාරෝ හරප්පා සංස්කෘතියේ නිපැයුම්වලට. ඉන් බාහිර ව යමක් කියැවෙනවා නම් ඒ ඊනියා අරාබි හින්දු ඉලක්කම් ගැනයි.
එහෙත්
ලෝකයේ වැඩියෙන් කතා වෙන්නේ බැබිලෝනියානු මිසර (ඊජිප්තු) මායා ඉන්කා ආදී ශිෂ්ඨාචාර ගැන. ග්‍රීකයන් ගැන ලොකු කතාවක් කියැවෙනවා. රෝමය ගැනත් කියනවා. මෙයට හේතුව පැහැදිලියි. අද ලෝකය කියන්නේ බටහිරට. යම් සංස්කෘතියක් නිර්මාණ ආදිය ශ්‍රේෂ්ඨ ද නැත් ද කියා තීරණය කෙරෙන්නේ බටහිරයන් විසින්. එහෙමත් නැත්නම් බටහිරයන්ට සාපේක්‍ෂ ව. බටහිර සංස්කෘතියට ඔවුන්ගේ ක්‍රිස්තියානි සභ්‍යත්වයට සාපේක්‍ෂ ව. ඔවුන්ගේ සංස්කෘතියට දායක වී ඇති ආකාරය අනුවයි ශ්‍රේෂ්ඨත්වය තීරණය කෙරෙන්නේ.
ග්‍රීකයන් මිසරයන් පමණක් නොව ඉන්කාවන් ද ඔවුන්ට ආසියා අප්‍රිකා කලාපයට වඩා වැදගත් වී තියෙනවා. අප්‍රිකාව නම් වැදගත් වී ඇත්තේ කායික ශ්‍රමිකයන් සැපයීමෙන්. අද ආසියාව වැදගත් වන්නේ මානසික ශ්‍රමිකයන් සැපයීමෙන්. අද ඇමරිකා එක්සත් ජනපදයට නම් කායික ශ්‍රමිකයන් සැපයෙන්නේ මෙක්සිකෝවෙන් හා දකුණු ඇමරිකාවෙන්. ඒ කියන්නේ මායාවරුන්ගෙන් හා ඉන්කාවරුන්ගෙන්
නො වෙයි. ස්පඤ්ඤයන් විසින් වැනසුණු දකුණු ඇමරිකාවෙන්.
යුදෙවුවන් ගැන බටහිරයන්ගේ ඇත්තේ ඔවුන්ගේ ව්‍යවහාරයට අනුව ආදර ද්වේෂ (love-hate)
සම්බන්ධයක්. බටහිරයන් යුදෙවුවන්ගෙන් වියුක්ත චින්තනය හා දෙවියන් වහන්සේ ලබා ගෙන තියෙනවා. එහෙත් ඔවුන් යුදෙවු දෙවියන් වහන්සේ තමන්ගේ බවට අවශෝෂණය කිරීමේ දි වෙනත් අර්ථකථනයක් දී තියෙනවා. මුස්ලිමුන් වෙනත් ම අර්ථකථනයක් දී තියෙනවා.
බටහිරයන්ට බ්‍රහ්මන් අවශ්‍ය නැහැ. බ්‍රහ්මන් ලෝකයත් එක්ක ඉන්නවා. යුදෙවු දෙවියන් වහන්සේ ලෝකයෙන් වෙන් වෙලා. එහෙත් යේසුතුමා ලෙස පැමිණීමෙන් විෂ්ණු දෙවියන් මෙන් කටයුතු කරලා. බටහිරයන්ට භාරතයෙන් අවශ්‍ය වුණේ ඉලක්කම්. ශූන්‍ය සහිත ඉලක්කම්. ඒ ඉලක්කම් අද අරාබි හින්දු ඉලක්කම් ලෙස සැලකෙනවා. භාරතීය තාරකා විද්‍යාව ඉතා වර්ධනය වූ මට්ටමක තිබුණත් එය ජ්‍යොතිෂය හා සම්බන්ධ නිසා ඒ ගැන වැඩි සැලකිල්ලක් නැහැ.
අපේ
සංස්කෘතියේ නිර්මාණ බටහිරයන්ට අවශ්‍ය නැහැ. ඔවුන්ට තබා අපටත් අවශ්‍ය නැහැ. මට තේරෙන විධියට අපේ නිර්මාණ හතරක් තියෙනවා. අප කවුරුත් දන්නා වැව දාගැබ. අප දන්නා එහෙත් නියමිත ගෞරවය ලබා නො දෙන සීගිරිය. මා හිතන විධියට ශූන්‍යය සඳහා වූ සංකේතය. ඒ සංකේතය අද ඊනියා අරාබි හින්දු ඉලක්කම්වලට රිංගවා ගෙන.
මේ
නිර්මාණ හතරෙන් දෙකක් භාරතයෙන් ස්වායත්ත කියා කියන්න පුළුවන්. ඒ වැව හා සීගිරිය. ආර්ය ශිෂ්ටාචාරය මෙරටට පැමිණ ඇත්තේ ක්‍රිස්තු පූර්ව හයවැනි හත්වැනි සියවස් පමණ කාලයේ කියා හිතන්න පුළුවන්. එහෙත් වැව එයට පෙර ද තිබී ඇති බව පැහැදිලියි. පණ්ඩුකාභය කුමරුට සෙල්ලම් කිරීමටත් මෙරට වැවක් හදලා තිබුණා. වැව එක්කෝ යක්‍ෂයන්ගේ නැත්නම් නාගයන්ගේ නිර්මාණයක් වෙන්න ඕන. එය භාරතීය ආර්ය සංසකෘතියේවත් ද්‍රවිඩ සංස්කෘතියේවත් නිර්මාණයක් නො වෙයි. මා නම් ලංකාවෙන් පිට වැව් දැක ඇත්තේ කාම්බෝජයේ. එහි වැව් නවවැනි සියවසෙන් පමණ පසුව නිර්මාණය වී ඇත්තේ.
මෙරට
වැව් නාග රූපයකින් ද සරසා තිබෙනවා. සමහරවිට වැව නාගයන්ගේ නිර්මාණයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැව ජලය සමග සම්බන්ධ නිසා නාග රූප ඉදිකළා වෙන්න පුළුවන්. ඒ අතර යකා බැඳි වැව වගේ කතා අප සංස්කෘතියේ තියෙනවා. ඒ කුමක් වුවත් වැව කබොජයන්ට හැරෙන්න අනෙක් අයට වැදගත් නො වූයේ ඇයි? අප වැවට ප්‍රූසිද්ධියක් දුන්නේ නැද්ද? කබොජයන් නම් ලංකාවෙත් හිටි ජන කොටසක්. ඔවුන් කාම්බෝජයට ගියේ කවදා ද?
සීගිරියට සියවස් පහක පමණ අතීතයක් තියෙන බව පේනවා. එය ඉසිගිරිය වී ද? දේවානම්පිය තිස්ස රජුත් ඒ ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන් වෙනවා. මා තොරතුරු සෙවීමේ දක්‍ෂයකු නො වෙයි. මට කළ හැක්කේ හිතළු කීම පමණයි. සීගිරිය හෙවත් ඉසිගිරිය ඉසින් නැත්නම් සෘෂින් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන කියා මට හිතෙනවා. අපේ සංස්කෘතියේ ඉහින් බහින ලෙඩක් නැහැ ඉසින් බැස්ස ගල ආදී ව්‍යවහාර තියෙනවා. ඉසින් බැස්ස ගල නම් අදත් තියෙනවා. ඉහින් බහින ලෙඩ කියන්නෙ ඉසින් බහින ලෙඩ. එහෙත් අද ඉසින් බහින්නේ නැහැ. අද ඇත්තේ කන්සල්ටන්ට්ලාට පෙන්න ලෙඩ. ටිකක් අමාරු ලෙඩකට තමයි විශේෂඥයන් බලන්න යන්නෙ. අද නම් සමහරු සුළු ලෙඩටත් විශේෂඥයන් හමුවෙන්න යනවා. එදා අමාරු ලෙඩට ඉසින් පැමිණ වෙදකම් කරන්න ඇති. ඉසින් බහින ලෙඩ පස්සෙ ඉහින් බහින ලෙඩ වෙලා තියෙන බව කියන්න පුළුවන්.
ඒ කොහොම වුණත් සීගිරිය හංගා ගෙන සිටීම ප්‍රසිද්ධියක් නො දීම නම් ආර්යයන්ගෙ වැඩක් වෙන්න ඕන. භාරතීය ආර්යයන්ට අද බටහිරයන්ට මෙන් ම අපේ නිර්මාණ වැදගත් වී නැහැ. ඔවුන් වුවමනාවෙන් ම ප්‍රසිද්ධියක් නොදී ඒ වසා ගෙන සිටියා ද? සීගිරිය පසු කලෙක ප්‍රසිද්ධියට පත් වුණෙ සීගිරි කාශ්‍යප නිසා. ඔහු බෞද්ධයෙක්. ඔහු වැඩි වශයෙන් පුද පූජා පවත්වා ඇත්තේ ඉසරුමුණියේ හා වෙස්සගිරියේ. ඉන් කියැවෙන්නේ කුමක් ද?
ශූන්‍ය සංකේතය නම් අප බුදුදහම ලබා ගැනීමෙන් පසුව නිර්මාණය කරන ලද්දක්. එයත් සීගිරිය අවට තමයි සිදු වී ඇත්තේ. එහෙත් එයටත් තැනක් නැහැ. ශූන්‍යය සඳහා වූ හල් කිරීම පසුව ද්‍රවිඩ භාෂාවල බිංදුව නිසා බිංදුව බවට පත් වී ඇති බව තේරුම් ගන්න පුළුවන්. එහෙත් අප තව තවත් හල් කිරීම සහිත ඉලක්කම් ලියා ඇති ගඩොල් හොයා ගෙන ඒ කාල නීර්ණය කරන්න ඕන. ඉන් පසුව අපට ඒ ගැන කියන්න පුළුවන්.
දාගැබ
කියන්නෙ වක්‍ර රේඛා යොදා ගනිමින් තනන ලද පිරමිඩ්. මෙරට දාගැබ් එලෙස නිර්මාණය වුණේ කෙසේ ද? ඒ සඳහා මූලික සැලැස්ම කවුරුන් විසින් කෙරුණි ද? බටහිරයන් උත්තර භාරතීයයන් හා අනෙක් අය අපේ නිර්මණ ගැන කතා කිරීම කෙසේ වෙතත් අපි කතා කරන්න පටන් ගමු. ඉතිහාසය මකා නොදමා ඉතිහාසය හදාරමු.