Main Logo

Wednesday 25 October 2023

පොහොට්ටුවට ඇමතිකම් නැහැ

 

පොහොට්ටුවට ඇමතිකම් නැහැ

 

රනිල් ඇමතිවරු දෙතුන් දෙනකු එහාට මෙහාට කරලා. කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමෙන් ඉවත් කරලා. ඒත් රාජිතට සෞඛ්‍ය ඇමතිකම නැහැ. සෞඛ්‍ය ඇමතිකම කාට දුන්නත් බාල ඖෂධ ගෙන ඒමේ චෝදනාව නැති වන්නේ නැහැ. කොහොමටත් ආණ්ඩුවට එතරම් මුදලක් ඇත්තෙත් නැහැ. මේ ක්‍රමයට කොමිස් නැතිව පවතින්නත් බැහැ.

 

එය කතා කළ යුතු ප්‍රශ්නයක් වන්නේ රෝගීන්ගේ පැත්තෙන්. එයටත් වඩා ප්‍රශ්නය පොහොට්ටුවට ඇමතිකමක් දුන්නෙ නැත්තෙ ඇයි කියන එක. මෙටාවේ පඬි නැට්ටන් රනිල් හඳුන්වන්නේ රනිල් රාජපක්‍ෂ කියා. ඔවුන්ට අනුව රනිල් රාජපක්‍ෂලා රකිනවා. රාජපක්‍ෂලා රනිල් රකිනවා. පඬි නැට්ටන් දන්නා තරම. ඔවුන් පරගලයට එකතු වුණෙත් දැනුමෙන් සන්නද්ධ වෙලා. ඔවුන් විශිෂ්ටයින්. ඔවුන් බටහිර දැනුමෙන් පරතෙරට ගිහින්. අර පඬියාගේ මේ පඬියාගේ පොතපත කියවලා මදිවට ගැන පංතිත් පවත්වනවා.

 

රනිල් පත්කරනු ලැබුයේ රාජපක්‍ෂලා විසින් නොව බටහිරයන් විසින්. ඉන්දියාව හම්බන්තොට වරාය ප්‍රශ්නය නිසා ඔහු විශ්වාස නොකරන නමුත් බටහිරයන්ට රනිල් බලයට පත්කිරීමේ දී සහාය දුන්නා. රනිල් බලයට පත්කෙරුණේ සැලසුමක් සහිත ක්‍රියා කිරීමෙන්. තෙල් නැව් ප්‍රමාද කිරීම්, ගැස් පිපිරීම්, ශ්‍රමික මුදල් ප්‍රේෂණ නැවැත්වීම් නිකම් කෙරුණේ නැහැ. ණයට කෑ ජාතියකට ණය ගෙවන එක ප්‍රශ්නයක් වුණා. බටහිරයන් නන්දිකඩාල් පරාජයේ පළිය ගත්තා.  පරගලයන් තම විශිෂ්ට බුද්ධි මහිමය නිසා හිතනවා ගෝඨාභය ඉවත් කළේ තමන් කියා. ඔවුන් සමහරකු ගෝඨාභය ඉවත් කර තනා ගත්තේ යැයි කියන රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව රෑට රෑට පන්දම් පෙළපාළි යනවා විදුලි බිල ගෙවා ගන්න බැරුව. පරගල ගුරුවරු හොඳින් නා ගන්නවා.

 

අර්බුද අවස්ථාවේ බලය ගැනීමට ඉදිරිපත් වූයේ රනිල් පමණයි. අර වජිර මන්ත්‍රීතුමාට අනුව නම් රනිල්ට විතරයි රට ගොඩ ගන්න පුළුවන්. නිසා අනෙක් අය මීළඟ ජනාධිපති තරගයෙන් ඉවත් වෙලා ජනාධිපතිවරණය නවත්තලා ඉතිරි කරන මුදලින් විදුලිය අඩුවට සපයන්න ඕන. මා හිතාගෙන හිටියෙ මෙරට පස්වැනි සියවසෙන් පමණ පසුව විශිෂ්ටයින් බිහි වී නැති බවයි. එහෙත් වජිර මන්ත්‍රීතුමා මා අනාථ කරනවා. මට දැන් නාථ දේව මණ්ඩලය සමග සම්බන්ධ වෙන්න ක්‍රමයකුත් නැහැ.

 

රනිල් පමණක් ඉදිරිපත් වුණේ අනෙක් අය කිසිම මගක් නොදුටු නිසා. ඇති කළ  ආර්ථික අරබුදයෙන් ගොඩ ඒමට කිසිවකුට මගක් තිබුණේ නැහැ. රනිල්ටත් මගක් තිබුණෙ නැහැ. ඒත් බටහිරයන් ඔහු පත් කර ගැනීමට කටයුතු කළා. එදා ඉඳන් වසරකට වැඩි කාලයක් ගෙවී ඇතත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රනිල් කර ඇත්තේ කුමක් ? කිසිවක් නැහැ. දැන් සිදු වන්නේ තෙල් නැව් ප්‍රමාද නොකිරීමත් ගෑස් නොපිපිිරීමත් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ එවීමත් කොත්තු සංචාරකයන් කිහිප දෙනකු පැමිණීමත් පමණයි. මහා බැංකුව මහා බොරු කිවුවත් සාමාන්‍ය මිනිසුන්ට එන්න එන්න අමාරු වෙනවා. මුදල් පහතින් උඩට යනවා. පහළ ජන කොටස්වලට අමාරුයි.  රනිල් කරන දෙයක් හරි කළ දෙයක් හරි නැහැ. රනිල් කරන දේ වැඩක් කරන්න බැරි වැඩක් කරන්නෙ නැති ඕනෑම අයකුට කරන්න පුළුවන්.

 

ඒත් රනිල් වෙනුවට වෙන අයකු පත් කර ගත්තොත් බටහිරයන් නැවත ක්‍රියාත්මක වේවි. උන්ඩියල් මුදලාලිලා බිරියානි වටලප්පම් බෙදාවි. අද පොහොට්ටුවට ඇති ප්‍රශ්නය එයයි. තමන්ට ඇමතිකමක් නොදෙන රනිල් රැකීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය නම් අයවැය පරද්දන්න පුළුවන්. අයවැය ඉදිරිපත් කරන්නේ ලබන මස දහතුන් වැනි දා. සාගර කාරියවසම්ගේ උපන් දිනය වූ එදාට අප වෙනත් උපන් දිනයක් සම්බන්ධයෙන් උත්සවයක් පැවැත්වීමට සිටි නමුත් කාට කාටත් රනිල්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගි වීමට ඇති නිසා එය දින කිහිපයකින් කල් දැමුවා.  එයත් වැදගත් දිනයක්.               

 

අයවැය පරාජය කරලා ඊළඟට මොකද කරන්නෙ. පොහොට්ටුව මුහුණ පාන ප්‍රශ්නය එයයි. මධ්‍යම පාංතික අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේ ? අද ඉටු කරන්නේ ප්‍රධාන වශයෙන් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින්. ශ්‍රමිකයන් හැසිරවිමට උන්ඩියල් මුදලාලිලා ඉන්නවා. ආණ්ඩුවෙන් ඉවත් වී සුවාදීන වූ අයටත් ඇති විසඳුමක් නැහැ. ඔවුන් එදා කෙළේ ගෝඨාභය ඉවත් කිරීමට බටහිරයන්ගේ පරගලයට ශක්තියක් සැපයීම පමණයි. බටහිරයන් ඔවුන්ගෙන් අයකු ජනාධිපති කිරීමට ආධාර කරන එකක් නැහැ.

 

මා පොහොට්ටු ආධාරකරුවකු නො වෙයි. එහෙත් අප විකල්ප ගැන පරෙස්සමෙන් හිතන්න ඕන. අප බටහිර ග්‍රහණයෙන් මිදෙන්නේ කෙසේ ? ප්‍රශ්නය එයයි. අද ජාතිකත්වය ශක්තිමත්. රනිල්ටත් ජාතිකත්වය රවටන්න මාධ්‍ය සාකච්ඡා පවත්වන්න සිදුවන්නේ එබැවින්. කවුද පඬි නැට්ටකු අසා තිබුණා ජාතික චින්තනයට මොක වුණේ කියා. ජාතික චින්තනය අද ජාතිකත්වය ජාතිකවාදය බවට පත් වී තියෙනවා.

 

ජාතිකත්වය ශක්තිමත් වුණත් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට ඇති බලය එයට නැහැ. අප බව නොදන්නවා නොවෙයි. ජාතිකත්වය මගින් බලයට පත් කෙරුණු ගෝඨාභය ඉවත් කිරීමට බටහිරයන්ට හැකි වුණා. බටහිරයන්ට මුහුණ දීමට අපට සැලැස්මක් තියෙන්න ඕන. එය හුදෙක් ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමක් පමණක් නොවෙයි.  ගැමි තරුණ පරපුර අද බටහිරින් මෙහෙයවනු ලබනවා.

 

මධ්‍යම පාංතික අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේ ? ඉන්දියාව සැලැස්මක් ඇති එය කළා. අද ඔවුන්ට මධ්‍යම පාංතික අවශ්‍යතා සපුරාලන්න පුළුවන් ආර්ථිකයක් තියෙනවා. අප ආර්ථිකය හදා ගන්නෙ නැතුව ණය වී මධ්‍යම පාංතික අවශ්‍යතා සපුරාලන්න කටයුතු කළා. එය ගොනාට ඉස්සරහ කරත්තය බැඳීමක් වුණා. බටහිරයන් දැන් අප දක්කනවා. අප දැක්කෙනවා. සාගර කාරියවසම් පෙහොට්ටුවට ඇමතිකම් නැතුව හඬනවා.  

අපට මධ්‍යම පාංතික ආකල්පවලින් මිදෙන්න පුළුවන් නම් ඒ තමයි හොඳ ම විසඳුම.