Main Logo

Sunday 22 October 2023

බටහිරයන් ලංකාව හා පලස්තීනය

 

බටහිරයන් ලංකාව හා  පලස්තීනය

 

ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එලල කර ඇත්තේ ඊශ්‍රායලය බව සම්බන්ධයෙන් කියැවෙන කරුණු (ඊනියා ෆැක්ට්ස් නො වෙයි) අනුව  පැහැදිලියි. එහෙත් ඊශ්‍රායලයට විරූද්ධ ඊනියා මානව අයිතිවාාසිකම් කඩ කිරීමේ චෝදනා ඉදිරිපත් වේය කියා හිතන්න බැහැ. ඉදිරිපත් වුණත් ඊශ්‍රායලය එය සතේකට මායිම් කරන එකක් නැහැ. ඊශ්‍රායලයට ඇමරිකාවේ මෙන් එංගලන්තයේ සහාය ලැබෙනවා. යුදෙවු ක්‍රිස්තියානි කැමති අකමැති සම්බන්ධය අනුව. එහෙත් සිංහලයන්ට බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් කිසිම සහායක් නැහැ. බටහිරයන්වත් ඉන්දියානුන්වත් සිංහලයන්ට නන්දිකඩාල් පරාජය ගැන සමාව දෙන එකක් නැහැ.

 

මා හිතන්නෙ නැහැ බටහිර පුද්ගලයකු දෙදෙනකු හැරෙන්න වෙනත් කිසිවකු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටිනවා කියා. ආයතනික වශයෙන් නම් බටහිර කිසිම සහායක් සිංහලයන්ට ලැබෙන්නේ නැහැ. එහෙත් ඇතැම් බටහිරයන් හා ආයතන පලස්තීනයට පක්‍ෂ නොවූවත් යුදෙවුවන්ට විරුද්ධ ප්‍රකාශ කරනවා. අද ඇමරිකාවෙත් එංගලන්තයෙත් එවැනි ප්‍රකාශ නිකුත් කරනු දකින්න පුළුවන්,

 

ඇමරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාල සංවිධාන ඊශ්‍රායල විරෝධී ප්‍රකාශ කරනවා. ඇතැම් විට පරිපාලනය ගැන නිහඬ වෙනවා. එවිට විශ්වවිද්‍යාලවලට ආධාර කරන්නන් පරිපාලනය විවේචනය කරනවා. ආධාර දීම් නවත්වනවා. විශ්වවිද්‍යාල සංවිධානවලට විරුද්ධ ක්‍රියා කරන ලෙසට රටේ මතයක් ඇති වෙනවා. ශිෂ්‍යයන් අසාදු ලේඛනවලට ඇතුළත් කර ඔවුන්ට රැකියා නොදීමට යෝජනා කරනවා.

 

මෙරට මෙන් අමෙරිකාවේ හා විශේෂයෙන් එංගලන්තයේ ඊනියා වමාලා ඉන්නවා. වමාලාට පක්‍ෂ පුවත්පත් රූපවාහිනී නාළිකා තියෙනවා. එංගලන්තයේ ගාඩියන් පුවත්පත හා තරමකට බීබීසිය වමාලාට පක්‍ෂ මත ප්‍රකාශ කරනවා. වමාලා කිසි දිනෙක කම්කරු පංතියේ ආඥාදායකත්වයක් (Dictatorship of the Proletariat) පිහිටුවීමට වැඩ කරන්නන් නොවෙයි. මෙරට වමාලාත් එහෙම තමයි. ඊනියා වමේ ලේඛකයන් මෙරට වැහි වැහැලා. බුද්ධිමතුන් නොවන ඔවුන්ට ඊනියා බුද්ධිමත් හංවඩුවක් ගහගන්න පුළුවන් වාමාංශික මත ප්‍රකාශ කිරීමෙන්.   

 

ඊශ්‍රායලය ඇති කෙළේ ඉංගිරිසින්. ඔටෝමාන් අධිරාජ්‍යය පරාජය කිරීමෙන් පසු බිරිතානි පාලනයට නතු වූ පෙදෙසක තමයි ඊශ්‍රායලය පිහිටුවනු ලැබුයේ. දෙවැනි ලෝක මහා යුද්ධය නමින් හැඳින්වෙන යුද්ධය අවසාන වශයෙන් ගත්කල ආර්ය කතෝලික ආධිිිපත්‍යයක් පිහිටුවීම සඳහා කරන ලද්දක්. ක්‍රිස්තියානින් යුදෙවුවන්ට විරුද්ධ නමුත් ඔවුන් ආර්ය කතෝලික ආධිපත්‍යයකට එරෙහි යුදෙවුවන් ආරක්‍ෂා කිරීමට ග්‍රීක ඔතොඩොක්ස් සෝවියට් දේශය සමගත් එකතු වුණා.

 

යුද්ධයෙන් ජර්මනිය හා ඉතාලිය පරාජය කිරීමෙන් පසුව විසිරී සිටි යුදෙවුවන්ට රාජ්‍යයක් ගොඩ නැගීමට අවශ්‍ය වුණා. යුදෙවුවන් ලංකාවේ පදිංචි කිරීමේ අදහසකුත් තිබුණා. එකල ලංකාව බිරිතානි යටත්විජිතයක්. අදහස නිශ්ප්‍රභ වුණා. එක් හේතුවක් ලංකාව දුරින් පිහිටා තිබීම. අනෙක් හේතුව ඊශ්‍රායලය හෙවත් පොරොන්දු දේශය පිළිබඳ අදහස මෝසස්ගේ කාලයේ සිට යුදෙවුවන් අතර තිබීම. අවුරුදු දහස් ගණනකට පෙර යුදෙවුවන් ඔය ප්‍රදේශයේ රාජ්‍ය පිහිටුවා ගෙන තිබුණා. එහෙත් ඔවුන් විවිධ රාජ්‍යයන්ට පරාජය වීමෙන් පසු ලෝ පුරා විසිරී ගියා. ඊජිප්තුවේ (මිසරයේ) සිටි යුදෙවුවන්ට ඊශ්‍රායලය දෙන බවට යෙහෝවා දෙවියන් පොරොන්දු වී ඇති බව කියනවා. යුදෙවුවන් ඊශ්‍රායලයට (පොරොන්දු දේශයට) ආපසු රැගෙන යෑමේ ක්‍රියාවලියේ නායකත්වය දෑරුවේ මෝසෙස්.

 

කෙසේ නමුත් ඊට අවුරුදු දහස් ගණනකට පසුව බිරිතානින් 1948 දී යුදෙවුවන්ට පොරොන්දු දේශය ලබා දී තියෙනවා. බිරිතානින් යෙහෝවා දෙවියන්ගේ කාර්යභාරය ඉටු කරලා. එහෙත් ඇතැම් ක්‍රිස්තියානින් තවමත් යුදෙවුවන්ට විරුද්ධයි. යුදෙවු විරෝධී ව්‍යාපාර තවමත් බටහිර රටවල තියෙනවා. ඇතැම්  ඊනියා වමාලාත් යුදෙවු විරෝධීන්.

 

බීබීසිය ඊනියා අපක්‍ෂපාතී කතා කියමින් ඊශ්‍රායලයට විරුද්ධ වෙනවා. මෙරට වමාලා සාමාන්‍යයෙන් පලස්තීනයට පක්‍ෂයි, ඊශ්‍රායලයට විරුද්ධයි. එහෙත් පසුව වමාලාත් රාජ්‍ය දෙකේ විසඳුමට එකඟ වුණා. ඔවුන්ගේ එකඟත්වය ප්‍රශ්නයට තුට්ටුවක වැඩක් නැහැ. අපත් එකල පලස්තීනයට පක්‍ෂ උද්ඝෝෂණ කළා. වැඩක් වුණේ නැහැ.

 

ඊශ්‍රායලය රාජ්‍ය දෙකේ විසඳුම නොපිළිගන්නා බවයි පෙනෙන්න තියෙන්නෙ. බටහිර වමාලා කුමක් කීවත් බටහිර ක්‍රිස්තියානි පද්ධතිය පලස්තීනය අතුගා දැමීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. බයිඩ්න් මෙන් රිසි සුනක් තකහනියක් ඊශ්‍රායලයට ගියේ ගාසා තීරයේ රෝහලකට පහර දුන්නේ කවුද කියා සොයා බැලීමට නොවෙයි. කැමරන් ලංකාවට යන්න එන්නේ සිංහලයන්ට පක්‍ෂ නොවෙයි.   බීබීසිය තමන් දකින ආකාරයට සෙස්සන්ට ලෝකය පෙන්වනවා.