Main Logo

Friday 28 October 2016

ජී එස් පී +

ජී එස් පී +


ජී එස් පී + කියන්නෙ යුරෝපා සංගමයෙන් යම් රටවලට සපයන වැඩිපුර තීරුබදු සහන ආදිය. ජී එස් පී වගේ නොවෙයි ජී එස් පී+ දෙන්න  රටක් ඊනියා ජාත්‍යන්තර ප්‍රඥප්ති 27ක් අනුගමනය කරන්න ඕන. මේ ප්‍රඥප්ති අතර ඊනියා මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, පරිසරය, යහපාලනය ආදියට සම්බන්ධ කොන්දේසි තිබෙනවා. අගමැති පසුගිය දා බෙල්ජියමට ගියේ මේ වැඩිපුර සහන නැවතත් ලබාගන්න. ඒ සහන රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙ නවත්තලා තිබුණා.

අගමැති බෙල්ජියමට ගියේ රනිල් එක්ක ද නැතිව ද කියන එක මට අහන්න ඕන. පහුගිය දා මෛත්‍රිපාල (ජනාධිපති වෙන්න ඕන) කියලා තිබුණා එයා හිටපු ආරක්‍ෂක ඇමති නාවික හමුදාපතිවරු තුන්දෙනකු උසාවියට දක්කාගෙන ආකාරය ගැන කම්පා වෙනවා කියලා. ඒත් ඊට පස්සෙ  ජනාධිපති හරි මෛත්‍රිපාල හරි කියලා තිබුණෙ එයා ගෝඨභය උසාවි දක්කගෙන ගිය බවක් කිවුවෙ නැහැ කියලා.  

මේක හරි ප්‍රශ්නයක්. ඒකෙ අවස්ථා ගණනක් තියෙනවා. මෛත්‍රිපාල හිටපු ආරක්‍ෂක ලේකම් ගැන කිවුවා. මෛත්‍රිපාල ගෝඨාභය ගැන කිවුවා. ජනාධිපති ගෝඨභය ගැන කිවුවා. ජනාධිපති හිටපු ආරක්‍ෂක ලේකම් ගැන කිවුවා. හිටපු ආරක්‍ෂක ලේකම්ට ගෝඨාභය ගෙදර තියලා උසාවි යන්න පුළුවන් ක්‍රමයක් තියෙනව ද දන්නෙ නැහැ. මේවා දාර්ශනික ප්‍රශ්න නොවෙයි. මිනිසුන් රවට්ටන්න යොදා ගන්න ක්‍රම.

බෙල්ජියමට කවුරු ගියත් බටහිරයන් ජී එස් පී + ප්‍රශ්නෙ ගැන සාකච්ඡා කරන්න ඇත්තෙ අගමැතිත් එක්ක. බටහිරයන් දන්නවා අගමැතිගෙන් අගමැති භූමිකාවෙ නොවන රනිල් වෙන් කරන්න. වෙන් කිරීම ග්‍රීක යුදෙවු ක්‍රූිස්තියානි චින්තනයෙ  ප්‍රධාන ලක්‍ෂණයක්. නවකතා සමාජ විද්‍යා කෘතීන්ගෙන් වෙන් කරගන්නත් බටහිරයන් දන්නවා. ඒක මෙරට මහා පශ්චාත්නූතනවාදීන් දන්නේ නැහැ.

ඒ මොනව වුනත් බෙල්ජියමට ගියේ රනිල් කියමු. රනිල්ට ඕන වෙලාවට අගමැති තොප්පිය දාගන්න පුළුවන්. යුරෝපා සංගමයෙ ලොක්කන් රනිල්ට ජී එස් පී + ලබා දීලා නැහැ. ඔවුන් පොරොන්දු වෙලා තියෙන්නෙ 2017 ඒ ලබාදීම ගැන කතාකරන්න. ආණ්ඩුව මොනවා කිවුවත් ජී එස් පී + ලබාගන්න ගියාම අර ප්‍රඥ්පති 27 ගැන යුරෝපා සංගමය ප්‍රශ්න කරනවා. මෙහි දී වැදගත් වෙන්නෙ පරිසරය, කාන්තා අයිතිවාසිකම් ආදියට වඩා ඊනියා මානව අයිතිවාසිකම්.

මෙරට දෙමළ ජනයාගෙ ඊනියා මානව අයිතිවාසිකම් තමයි වැදගත් වෙන්නෙ. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න තීරණය කළාට තවම ඉවත් වෙලා නැහැ. එංගලන්තය තවදුරටත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් කතාකරාවි. කොහොමත් බටහිර යුරෝපීය රටවල් දෙමළ ජාතිවාදය පෝෂණය කර රැකබලාගන්නවා.  සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න හරි දුර්වල කරන්න හරි ඔවුන්ට දෙමළ ජාතිවාදය අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙරට දෙමළ ජාතිවාදීන්ගෙ ඊනියා මානව අයිතිවාසිකම් රකිනව ද කියන එක ඔවුන්ගෙ සැලකිල්ලට භාජනය වන ප්‍රධාන කරුණක්.

ජී එස් පී + කියන්නෙ මහා ලොකු සහනයක් නොවෙයි. එංගලන්තය යුරෝපා සංගමයෙන් අයින් වුනාට පස්සෙ මේ සහනය තවත් කුඩා වෙනව. වැට් බද්දනෙුත් ලැබෙන්නෙ පොඩි ගාණක්. ආණ්ඩුව මේ පොඩි දේවල් ගැන මෙච්චර උනන්දුවක් දක්වන්නෙ මොක ද? බටහිරයන් හා ඉන්දියාව ආණ්ඩුව පත්කර ගත්තෙම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා දෙමළ ජාතිවාදයට සහසන්ධීය රාජ්‍යයක් ලබා දෙන්න. දැන් ජී එස් පී + ගන්න නම් දෙමළ ජාතිවදීන්ගෙ ඊනියා මානව අයිතිවාසිකම් රකින්න වෙනවා.          

2017 මැයි වෙන්න ඉස්සෙල්ල නව ව්‍යවස්ථාවක් ගෙනල්ල දෙමළ ජාතිවාදී ඉල්ලීම් ඉටුකරන්න ආණ්ඩුව උත්සාහ ගන්න පුළුවන්. ඒ ජී එස් පී + ලබාගන්නත් එක්ක. දෙමළ ජාතිවාදයට මොනව ලබා දුන්නත් ලංකාවට ලැබෙන්නෙ සොච්චමක් පමණයි. බටහිරයන් වියදම් කරන්නෙ ආණ්ඩු පෙරළන්න මිසක් ආණ්ඩු පවත්වාගෙන යන්න නොවෙයි. බටහිරයන් ජී එස් පී+ සහනයෙන් අපට දෙන මුදලට වැඩි විශාල මුදලක් ලංකාව අස්ථායී කිරීම සඳහා දෙමළ ජාතිවාදයට ලබා දෙනවා. අද ලෝකයේ විසිරුණු දෙමළ ජනයා පවත්වාගෙන යනු ලබන්නෙ බටහිරයන් විසින්.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 28