Main Logo

Monday 17 October 2016

ඉන්දියාව හා පශ්චිම යුදෙවු කිස්තියානි යුගය


ඉන්දියාව හා පශ්චිම යුදෙවු කිස්තියානි යුගය


මෛත්‍රිපාලගෙ කතාවට මේ තරම් ප්‍රචාරයක් දීමෙන් ම පැහැදිලි වෙන්නෙ මේ රටේ දේශපාලනඥයන්ගෙ, ජනමාධ්‍යවේදීන්ගෙ, ඊනියා සිවිල් සාමාජිකයනාගෙ, සාධාරන සමාජකාරයන්ගෙ ආදී එකී නොකී අයගෙ තියෙන බංකොළොත්කම. මෛත්‍රිපාලට ගෝඨාභය ගැනවත් හිටපු නාවික හමුදා නිලධාරීන් ගැනවත් ඇති අනුකම්පාවක් නැහැ. මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය ඇති කෙළේ මෛත්‍රිපාල නොදැනුවත් ව නොවෙයි. රාජපක්‍ෂලට දඬුවම් කිරීමට වැඩියෙන් ම වුවමනා කරන්නෙ මෛත්‍රිපාලට හා ඔහු එක්ක ඉන්න ඇමතිවරුන්ට. රනිල්ට ඒ තරම් ම වුවමනාවක් නැහැ. මෛත්‍රිපාල තමාගෙ කතාවෙ දි මහින්ද රාජපක්‍ෂට පහර ගහන්න අමතක කෙළෙ නැහැ. අපේ අය ඒ බව අමතක කරන්නෙ ඇයි? තම පුතාගෙ පළහිලව්ව නොවන්නට මෛත්‍රිපාලට  ගෝඨාභය ගැන අනුකම්පාවක් පහළ වෙන්නෙ නැහැ.

එ ජා පක්‍ෂ ආණ්ඩුව (මේ ඊනියා ජාතික ආණ්ඩුවක් නොවෙයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එහෙම වෙන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාල හා කණ්ඩායම ඉන්දියාවෙ අවශ්‍යතාව උඩ තනතුරු දරන ඒත් බලයක් නැති පිරිසක් පමණයි.) පෙරළන එක ලෙහෙසි නැහැ. මෛත්‍රිපාලට මහින්ද අගමැති කරන්න බැහැ. ඉන්දියාවෙ ගෝවාහි දී මෝදි ඒ බව මෛත්‍රිපාලට හොඳින් කියා දෙන්න ඇති. මෛත්‍රිපාල, අවුං සාන් සුකී ගෝවා ගියේ නිකම් නොවෙයි. ලංකාව නම් දැන් දකුණු ඉන්දියාවෙ තවත් ද්‍රවිඩ ප්‍රාන්තයක් වෙලා. ප්‍රාකෘතයෙන් ද්‍රවිඩ කියන්නෙ දකුණ කියන එකයි. එට්කා ගිවිසුම ලංකාව ද්‍රවිඩ ප්‍රාන්තයක් බවට පත්කිරීමේ නෛතික කටයුත්ත ඉටුකරාවි. මුහුද යටින් අදින විදුලි රැහැන්වලින් අප දකුණු ඉන්දියාවට බැඳ තබාවි. අප කළුවරේ හිටියත් මේ විදුලි රැහැන් අවශ්‍ය නැහැ. දකුණු ඉන්දියාවෙ හැමට විදුලිය දෙන්න ඉන්දියාව සමත්වෙලා නැහැ. සමහරවිට අපේ විදුලියත් ඉන්දියාව ගනීවි. 

අද බෙංගාල බොක්ක අවට ඇති රටවල් කියලා සංවිධානයක් හදාගෙන ඉන්දියාව තම කලාපීය ආධිපත්‍යය පළල් කරගන්නවා.   ඉන්දියාව දකුණු ආසියාව පමණක් නොවෙයි අග්නිගිදිග ආසියාව ම තම ආධිපත්‍යයට යටකරගන්න හදනවා. මියන්මාරය, තායිලන්තය, ලංකාව කියන ථෙරවාදී රටවල් තුනක් ඉන්දියාවට යටකරගන්න හදනවා. මේ බටහිර වුවමනාව. ඉන්දියාව බටහිර රටවල කලාපයේ නියෝජිතයා පමණයි. ගෝවා නගරයට මෛත්‍රිපාල වගේ ම අවුං සාන් සුකීත් ගියේ ඒ දවස්වල පෘතුගීසි පාලකයන් හමුවට සිංහල ප්‍රභූන් ගිය ආකාරයට. කොනප්පු බණ්ඩාර නම් එහෙ ගිහින් ඇවිත් විමලධර්මසූරිය වෙලා සිංහලේ අන්තිම රාජධානිය මහනුවර පිහිටෙව්වා. මෛත්‍රිපාල විමලධර්මසූරිය කෙනෙක් නොවෙයි.

බුදුදහම ඉන්දියාවෙන් අතුගා දැමූ ඉන්දියාව අද සූදානම් වන්නෙ ලෝකයෙන් ම ථෙරවාදය අතුගා දමන්න. එයට බටහිරයන්ගෙ සහාය ලැබෙනවා. මේ ලෝකයේ දැන් තියෙන්නෙ පශ්චාත්නූතනත්වයක් නොවෙයි. නූතනත්වය කියන එකත් බංකොළොත් සංකල්පයක්. ලෝකයේ හැමදාමත් තිබිලා තියෙන්නෙ නූතනත්ව. ඒත් බටහිරයන් තම ආධිපත්‍යය පවත්වාගෙන යන යුගයට පමණක් නූතනත්වය කියලා කියනවා. මේ බටහිරයන්ගෙ උද්ධච්චකම මිසක් වෙන එකක් නොවෙයි. කොහොමත් මේ යුගයෙ අවසාන අවධියට අප එළඹීලා. අවශ්‍ය නම් මෙයට පශ්චාත් නොවෙයි පශ්චිම නූතනත්වය කියලා කියන්න පුළුවන්. මෙයට වඩා හොඳ නම පශ්චිම යුදෙවු ක්‍රිස්තියානි යුගය කියන එකයි.

මේ පශ්චිම යුදෙවු ක්‍රිස්තියානි යුගයෙ එක් අවශ්‍යතාවක් තමයි ථෙරවාද සංස්කෘතිය නැති කිරීම. මෛත්‍රිපාල මොන තරම් බෞද්ධ උපාසකයකු කියලා පෙන්නන්න උත්සාහ කළත් ඔහු යොදා ගන්නෙ ලංකාවෙන් ථෙරවාදය නැතිකරන්න. ඔහු කිසිම දිනෙක මහින්ද අගමැති කරන්නෙ නැහැ. එයට බටහිරයන්වත් ඉන්දියාවවත් ඉඩ දෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවෙන් පිට මේ ආණ්ඩුව වෙනස් කරන්න උත්සාහ කළොත් ඉන්දියාව බටහිරයන්ගෙ අනුග්‍රහයෙන් හමුදාව එවනවා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ආණ්ඩුව වෙනස් කළ යුතුයි. අප අහුවෙලා ඉන්නෙ මරඋගුලකට.

එදා ජනවාරි අටවැනි දා මහින්ද පාන්දර ම අරලියගහ මන්දිරයෙන් පිටවෙලා ගිය එක හොඳයි. තව පැය කිහිපයක් පරක්කු උනා නම් මහා ප්‍රශ්නයක් වෙන්න තිබුණා. ඉන්දියාවත් මැදිහත් වෙන්නත් තිබුණා.  ඒ වගේම තමයි මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපතිත්වය දීලා අයින් වෙච්ච එක. ඒ නිසා අද ප්‍රශ්නවලට මුහුණ පාන්න වෙලා තියෙන එක ඇත්ත. පවිත්‍රා වන්නිආරච්චි රත්නපුරේ දී කිව්වා වගේ හුණු වටයෙ කතාවෙ විධියට මහින්ද සභාපතිකම මෛත්‍රිපාලට දුන්න. මහින්දට හොඳ දේශපාලන ඉවක් තියෙනවා. ඉන්දියාවෙ කලාපීය ආධිපත්‍යයට කල්පනාවෙන් මුහුණ දෙන්න ඕන.

මා මේ සියල්ල කියන්නෙ කිසිවක් නොකර ඉන්න නොවෙයි. ඉතිහාසයෙ අප ද්‍රවිඩ රජවරුන් සමග ගනුදෙනු කරලා අවසානයෙ දි දිනුවා. මේ වතාවෙත් දිනන්න පුළුවන්. අප මහින්දගෙ දේශපාලන ඉවෙන් වගේ ම විශ්ලේෂණයෙන් ද වැඩ කරන්න ඕන. එට්කා හා ව්‍යවස්ථාව පරාද කිරීමට අප අද සම්පූර්ණ ශක්තිය යොදන්න ඕන.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 17