Main Logo

Monday 31 October 2016

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඩිව් ගුණ සේකර සිරසට පැහැදිලිව කියලා තියෙනවා තමා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ කෝප් කමිටු වාර්තාව ගැන. ඒත් හැම දෙයක් ම කියන්න නැතිව ඇති. ඔහු කියන විධියට රනිල් තමාට බැඳුම්කර පිළිබඳ උපදෙස් දී ඇති බව කෝප් කමිටුවේ දී අර්ජුන් මහේන්ද්‍රන් කියලා  තියෙනවා. මාධ්‍ය වාර්තා අනුව අර්ජුන් මෙවර කෝප් කමිටුවටත් ඒ බව, එනම් රනිල් උපදෙස් දුන් බව පිළිගෙන තියෙනවා. ඩිව් ගුණසේකරගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හිටි දවසෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මෛත්‍රිපාල පසුව පිළිගත්තා බැඳුම්කර සිද්ධිය උඩ රනිල්ට (අගමැතිට) විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවනම් ජයගන්න තිබුණ බව (ඊයේ ලිපිය බලන්න). 

2015 ජූනියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා බව පැහැදිලියි. එයට වෙනත් හේතුත් තියෙන්න ඇති. ඒ කාලෙ රනිල් අගමැති කම පික්පොකට් ගහලා තිබුණත් පාර්ලිමේන්තුවෙ වැඩි බලය තිබුණෙ සංධානයට. මෛත්‍රිපාල රනිල් අගමැති කෙළෙ දි මු අගමැති ලෙස ඉන්න විටයි. දි මු ඉවත් කළ බවට ගැසට් නිවේදන පළ කෙළෙ රනිල් අගමැති ලෙස පත්කිරීමෙන් පසුවයි. ඒ බොරු නීත්‍යානුකුල බවක් ලබා දෙන්න. මෛත්‍රිපාල වැඩ කරන්නෙ රනිල්ට ඕන විධියට.  පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ පළමුවෙන් ම ඩිව් ගුණසේකර අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන්න. එය ඉදිරිපත් කෙරුව නම් එය ප්‍රසිද්ධ වෙනවා. මා අධිකරණයට ගියේ එය ප්‍රසිද්ධ කරවා ගැනීමට.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවැනි ප්‍රධාන කරුණ රනිල් වික්‍රමසිංහ විශ්වාස භංග යෝජනාවෙන් බේරාගන්න. මෛත්‍රිපාල එදා වගේ ම අදත් රනිල් බේරාගන්න උත්සාහ කරනවා ද? දැනගන්න කැමතියි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. රනිල්ට මොකක් ද කරන්නෙ? අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටු දෙකකට ම කියලා තියෙනවා නම් එයාට උපදෙස් දුන්නෙ රනිල් කියලා එහෙනම් මොන තර්කයක්වත් ඉදිරිපත් කරන්න බැහැ රනිල් නිවැරදි කාරයකු කරන්න. ඒත් සුනිල් හඳුන්නෙත්ති රනිල් ව බේරලා. දැන් අනුර දිසානායක සුපුරුදු පරිදි කියනවා රනිල් අර්ජූන්ට උපදෙස් දුන්න කියලා. ජ වි පෙ හැමදාමත් මිනිසුන් රවටනවා. ඔය ජ වි පෙ හිතවතුන් බලං ඉන්න ඊනියා වඩා සාධරණ සමාජය ජ වි පෙරමුණට ඇතිකරන්න බැහැ. ලෙනින්ට බැරි වෙච්ච දේ අනුර  දිසානායක ද කරන්නෙ. මාක්ස්වාදය කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් දැනුම් පද්ධතියක්.

අජිත් පෙරේරාලා හර්ෂ ද සිල්වාලා රනිල් ගැන කිසිවක් කියන්නෙ නැහැ. අජිත් පෙරේරා සුනිල් හඳුන්නෙත්ති එක්ක බොරු රණාඩුවක් කරනවා. ඉංගිරිසි කතාවක් ඒ විධියට ම සිංහලට පරිවර්තනය කළොත් ඒක සෙවනැළි බොක්සිං ගහගැනීමක්. රජිව් විජේසිංහ කියන විධියට අජිත්ලා මන්ත්‍රීවරුන් වෙන්නත් බැඳුම්කර මුදල් බලපාල තියෙනවා. රජිව්ට අනුව එ ජා ප මැතිවරණ අරමුදල තරවෙලා තියෙන්නෙ බැඳුම්කර සල්ලිවලින්. එ ජා ප මන්ත්‍රීන්ට සදාචාරය කියන එකක් අබමල් රේණුවක් තරම්වත් ගෑවිලාවත් තියෙනවා නම් ඔවුන් සියළු දෙනා ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් අස්වෙන්න ඕන. ඒක කරන්න ඉස්සෙල්ල අගමැති ඉල්ලා අස්වෙන්න ඕන.

මේ පාර්ලිමේන්තුව පත්වුනෙ දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ. ඒ සංශෝධනයෙන් වුනෙ අගමැතිගෙ බලතල වැඩිවෙච්ච එක. අද අගමැතිව අස්කරන්න ජනාධිපතිට බලයක් නැහැ. ජනාධිපතිට අවුරුදු හතරහමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බැහැ. ජනාධිපතිට ඇමතිවරයකුවත් අස්කරන්න බැහැ අගමැති කියන්නෙ නැතිව. අගමැතිගෙ බලය වැඩි වෙලා. රනිල් කියන්නෙ පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා කියලා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕකයි. රනිල්ගෙ බලතල වැඩි කරන්න සංධානෙ අයත් දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නා. ඒකට විරුද්ධ වුනෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකිලා හිටියා. අනෙක් ඔක්කොම පක්‍ෂව ඡන්දෙ දුන්න. ඒ දවස්වල මහින්ද පාර්ලිමේන්තුවෙ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ රනිල් ගැන මොකුත් කියන්නෙ නැත්තෙ මොක ද? අර්ජුන් මහේන්ද්‍රන්ට හා රජිව් විජේසිංහට අනුව රනිල් වැරදිකාරයෙක් නොවෙයි ප්‍රධාන ම වැරදි කාරයා. අර්ජුන්ට හා බෑණාට දඬුවම් කළොත් රනිල්ටත් දඬුවම් කරන්න ඕන. ඒ නිසා අර්ජුන්ලටත් දඬුවම් කරන එකක් නැහැ. අද වන විට රනිල්ට විරුද්ධව විශාල බලවේගයක් ගොඩ නගන්න ඕන. රනිල් අස්කරන්න බැරි නම් පාර්ලිමේන්තුවත් විසුරුවා හරින්න බැරි නම් රනිල්ට විරුද්ධව පාර්ලිමේන්තුවෙ විශ්වාස භංග යෝජනාව එදා බැරිවුනත් අදවත් ගේන ඕන. දැන් ඒකාබද්ධ විපක්‍ෂෙට බහුතරයක් නැති නිසා විශාවාස භංග යෝජනාව පරදිවි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. අවශ්‍ය මහජන මතයක් ඇතිකරන එක. අවසානයේ දී සිංහල විරෝධී රනිල් එළවන එක. අද උතුර නැවතත් දෙමළ ජාතිවාදීන්ගෙ කෙළි බිමක් වෙලා තියෙන්නෙ රනිල් බටහිරයන් හා ඉන්දියානුවන් කදයන විධියට වැඩ කරන නිසා.

මට රනිල් ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක්. ඔහුගෙ දේශපාලනය පරාජය කළෙ නැත්නම් රට ම ඉවරයි. රනිල්ට විරුද්ධව වැඩ කරන්න සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගන්න ඕන. ජ වි පෙ මොන කතා කිව්වත් අවසානයෙ දී රනිල් රකිනවා. ඒකාබද්ධ විපක්‍ෂෙ කරන්නෙත් ඒක ද? ඩිව් ගුණසේකර අතුරු වාර්තාවෙ අඩංගු දේ මහජනතාවට දැනගන්න සලස්වනව ද? ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකු හරි ඒ ගැන දන්නවා. මට ඒ ගැන වැඩි දුර කතාකරන්න බැරි නඩුව හින්ද. ඒකාබද්ධ විපක්‍ෂෙ වැට් ගැන දක්වන උනන්දුව රනිල් හා බැඳුම්කර ගැන දක්වන්නෙ නැත්තෙ ඇයි? රනිල් හා ඒකාබද්ධ විපක්‍ෂය අතර ගණුදෙනුවක් තියෙනව නම් ඒක භයානකයි. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 31