Main Logo

Tuesday 25 October 2016

කාලෝගේ ප්‍රශ්නය


කාලෝගේ ප්‍රශ්නය


කලකට පෙර කාලෝ ෆොන්සේකා ඇතුළු මෙරට ප්‍රාඥයන් ලෙස එකිනෙකා විසින් හඳුන්වාගනු ලබන්නන් මගෙන් බොළඳ ප්‍රශ්නයක් ඇහුවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් නම් මා ගුවන් යානයක යන්නේ කෙසේ දැයි ඔවුන් විමසා සිටියා. ගුවන් යානා ගමන් කරන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයක් නිසා නොවෙයි. ඒ රඳාපවතින්නේ යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය, තරල ගතිකය, වැනි ක්‍ෂෙත්‍රවල දැනුම මත. ගුරුත්වාකර්ෂණය නිසා සිදුවන්නේ ඇදවැටීම. ගුවන්යානා මේ ඇදවැටීමට විරුද්ධව බටහිර විද්‍යා අර්ථයෙන් බලයක් ජනිත කළ යුතුයි. ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් නම් ඇද වැටෙන්නේ කෙසේ ද කියා ඇහුවේ නම් ප්‍රශ්නයට වැදගත්කමක් ලැබෙනවා. ගුවන්යානය ඇද නොවැටෙන නිසා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක්  යැයි කෙනකුට අනෙක් පැත්තට ද තර්ක කළ හැකියි.

තර්ක පටලවා ගත්තත් මේ පඬිවරුනට කියන්න ඕන වුනෙ වෙනත් කරුණක්. බටහිර විද්‍යාවේ හා තාක්‍ෂණයේ තරල ගතිකය, යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය ආදිය පට්ටපල් බොරු නම් ගුවන්යානයක් ගමන්කරන්නේ කෙසේ ද යන්න ඔවුන්ගේ ප්‍රශ්නයයි. ඒත් නැත්නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරු නම් මා පරිගණකය යොදා ගන්නේ කෙසේ ද,  මෝටර් රථවලින් ගමන් කරන්නේ කෙසේ ද වැනි ප්‍රශ්න අසන්නට තිබුණා. බොහෝ කලකට පෙර ජ වි පෙ හිතවාදීන් වෙනත් සංදර්භයක මා ජපන් මෝටර් රථයක් පදවාගෙන යන්නේ ඇයි ද කියා ඇසුවා. ඒ ඔවුන් ජාතික චින්තනය තේරුම් ගෙන සිටි ආකාරය. මා ජාතික චින්තනය යන සංකල්පය නොව චින්තනය යන සංකල්පය මත පදනම් වුනා. ඒත් ජාතික චින්තනය වෙනුවෙනුත් පෙනී සිටියා. ජ වි පෙ අනුගාමිකයන්ට අනුව මා බරකරත්තයෙන් අනුරාධපුරයට යා යුතුව තිබුණා. ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පොල්ගෙඩිවලටත් වඩා ලොකු අකුරෙන් ඒ බව සඳහන් පෝස්ටර ද ඇලෙවුවා. ජාතික චින්තනය විජාතික සංකල්පයක් බව ඔවුන් දැන සිටියේ නැහැ!

කාලෝ ෆොන්සේකා කතෝලික පවුලක උපත ලද්දෙක්. ඔහු බුදුදහම ඉගෙන ගත්තේ ඊනියා නූතනත්වයට හෙවත් යුදෙවු ක්‍රිස්තියානියට ගැලපෙන විධියට බුදුදහම සකස්කළ විශ්වවිද්‍යාලවල ඊනියා බෞද්ධ උගතුන්ගෙන්. මේ උගතුන් ඊනියා යථාර්ථයක් ගැන විශ්වාස කළ, කරන අය. කාලෝත් ඊනියා යථාර්ථයක් විශ්වාස කරනවා. (මේ ලිපි සියල්ල කාලෝ්ට ද යැවෙන බව අමතක නොකරන්න. එසේ යැවෙන්නේ බටහිර තාක්‍ෂණය යොදා ගෙන!). ඊනියා බෞද්ධ උගතුන් යථාභූත යන්න ඊනියා යථාර්ථය ලෙස බටහිරයන්ට කියා දෙන්නේ බුදුදහම යුදෙවු ක්‍රිස්තියානදයට යටකිරීමෙන්. මා කාලෝට දුන් පිළිතුර ඔහුට තේරුම් ගියා ද කියා මා දන්නේ නැහැ. කතෝලික පසුබිමක් ඇති අයකුට එය තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. බටහිර විද්‍යාව පිළිබඳ, ලංකාවේ එහි ප්‍රධාන ආරෂකයා වූ  කාලෝ සමග (වෙනත් අය සමග නොව) විවාදයක් කිරීමට මා කැමතියි.

බුදුදහමට අනුව මා කියා කෙනකු නැහැ. මා යනුවෙන් යථාර්ථයක්වත් වෙනත් කිසිවක්වත් නැහැ. එහෙත් මා යන සංකල්පය අප යොදාගන්නවා. මා කියන සංකලාපය බොරුවක් වුවත් මා, මා යන සංකල්පය යොදාගන්නවා. නැති මා, මා යන සංකල්පය යොදා ගන්නේ කෙසේ ද? බෞද්ධ පඬියකුට ඒ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි ද? මා (නැති මා) කාලෝගෙන් (නැති කාලෝගෙන්) ඒ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වන්නේ නැහැ. මා යන්න  බොරුවක් වුවත් මා මගේ ලෝකය නමින් පොත් පිංචක් පළ කළා. මා මගේ මව, පියා, බිරිය, දරුවන්, මුණුබුරන්, සහෝදර සහෝදරියන්, නෑ මිතුරන්් ගැන කියනවා. මා නැතිව මගේ දේ පවතින්නේ කෙසේ ද? මා ද ඇතුළු මේ සියල්ල මනසේ නිර්මාණ. මනස ද ඊනියා යථාර්ථයක් නොවේ. ඒ යථාර්ථයක් නම් ඊනියා විඥානවාදීන් ද එක්තරා ආකාරයකට යථාර්ථවාදීන් වෙනවා. මනස ද මනසේ නිර්මාණයක්. බුදුදහම ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ වන්නේ නැහැ. කසිකබල් මාක්ස්වාදී පඬියන් බුදුදහම විඥානවාදී කරගෙන.

ප්ලේටෝ හොඳ ද්‍රව්‍යවාදියෙක්. ඔහු ද්‍රව්‍යවාදී ලෝකයක හෙවනැල්ලක් ගැන පමණයි කිවුවේ. සියල්ල අවිද්‍යාව නිසා හටගන්නවා. අවිද්‍යාව නිසා මේ සියළු නිර්මාණ, සංස්කාර හටගන්නවා. මා යන්න  බොරුවක්. අවිද්‍යාව නිසා හටගත්  බොරුවක්. ඒත් මා යන සංකල්පයෙන් අප (මා බහුවචනය) කොතරම් වැඩගන්නවා ද? ගුවන්යානයක් නැති වුවත්, නැති මා නැති ගුවන්යානයේ ගමන්කරනවා. සංකල්පවලින් වැඩ ගැනීම නිසා, යොදාගැනීම නිසා ඒ සංකල්ප පවතින්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය යොදා ගැනීම නිසා ගුරුත්වාකර්ෂණය පවතින්නේ නැහැ. සියළු සංකල්ප බොරු. ඉන් සමහරක් පට්ටපල් බොරු.

සියල්ල මායාවක් ලෙස බුදුදහමේ කියැවෙනවා. ඒත් මේ මායාව කියන එකෙන් මායාව නොවන්නක්, ප්ලේටෝට වගේ, තියෙනවා කියා ගම්‍ය වෙන්නේ නැහැ. බොරු හැරෙන්න කිසිවක් නැහැ. ඉන් කියැවෙන්නේ නැහැ බොරු කියා වර්ගයක් තියෙනවා කියලා. බොරුත් බොරු. විවිධ බොරු ගැන කතාකරන්න පුළුවන්. කෝප් වාර්තාවත් බොරුවත්. හඳුන්නෙත්ති නැගිටලා ගිහින් අජිත් පෙරේරාට කෝප් සභාපති ලෙස වැඩකරන්න ඉඩ දුන්නේ ඇයි. අජිත් පෙරේරා සතියක් විතර නිශ්චිතව කිවුවේ එන්නේ එක් වාර්තාවක් කියලා. මේ නාට්‍ය පිටපත ලිවුවේ කවු ද? හඳුන්නෙත්ති සභාපති ලෙස පත්කෙළේ මේ ආණ්ඩුවෙන්. අර්ජුන් මහේන්ද්‍රන් හා රනිල් වෙනුවට බෑණා වරදකරු වෙලා. නඩු දැම්මත් උසාවියෙන් බෑණා නිදහස් වේවි.  බෑණා කරපු වරද කුමක් ද? අපි (නැති අපි) පස්සෙ මේ බොරු ගැන තවත් කතාකරමු.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා 
2016 ඔක්තෝම්බර් 25