Main Logo

Saturday 8 October 2016

එට්කා බැටකා

එට්කා බැටකා

රනිල් ඉන්දියාවේ දී එට්කා ගැන ප්‍රකාශයක් කර තිබුණා. රනිල් පොත් කියවන්නකු ලෙස, බුද්ධිමතකු ලෙස, ප්‍රසිද්ධියට පත් කිරීමේ වෑයමක් අද ඇතැමුන් අතර පවතිනවා. පසුගිය දා වික්ටර් අයිවන් එක්තරා සඟරාවක් සමග පවත්වන ලද සාකච්ඡාවක දී ද මේ උගත්කම ගැන කියා තිබෙනවා. ජාතික හෙළ උරුමයේ රතන හිමි වරක් පැවසුවේ රනිල්ට ජාතික චින්තනය ගැන ද හොඳ අවබෝධයක් තිබෙන බවයි. රනිල් නූතනත්වයේ මිනිසකු නූතන මිනිසකු බව වික්ටර් අයිවන් ඉහත සඳහන් සාකච්ඡාවේ දී පවසා තිබෙනවා. නූතනත්වය දැන් අවුරුදු පන්සියකට වඩා පරණයි. ලෝකය දැන් වෑයම් කරන්නේ නූතනත්වයෙන් එළියට යෑමටයි. එ අර ඊනියා පශ්චාත්නූතනත්වයට නම් නොවෙයි. රතන හිමි කෙසේ වෙතත් එක්තරා කාලයක චම්පක නම් පශ්චාත්නූතනවාදයත් සමග සම්බන්ධකම් පැවැත්වූවා. රනිල් පශ්චාත්නූතනවාදියකු ද කියා වික්ටර් අයිවන් කියා නැහැ.


රනිල්, වික්ටර් අයිවන්, රතන හිමි ආදීන් ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන කෙතරම් කියවා ඇත් ද කියා දන්නේ නැහැ. චම්පකට නම් ඒ ගැන කිසිම තේරුමක් නැති බව මා දන්නවා. ක්වොන්ටම් යාන්ත්‍රිකය කිසිවකුටවත් නොතේරෙන බව කීවේ භෞතික විද්‍යාවට නොබෙල් තෑග්ග දීනු ෆයින්මාන්. ඔහු මේ කියා ඇත්තේ, ඒ වචනවලින් ම නොවුනත් නූතනවාදීන්ට, නූතනත්වයට ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරුම් ගැනීමට බැරි බවයි. නූතනත්වයේ න්‍යාය වූ ඇරිස්ටෝටලීය න්‍යාය මගින් ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරුම් ගන්න බැහැ. ඒ පිළිබඳ ව මා ඊනියා ජාත්‍යන්තර සඟරාවකට ලියූ ලිපි දෙකක සබැඳි මෙහි දැක්වෙනවා.  (1008.4213 ArXiv On Schrodinger's Cat) (1006.4712 Arxiv On Quantum Ontology)  නූතනත්ව පඬියන් අපට අතීතකාමීන්, මිථ්‍යාමතධාරීන්, ජාතිවාදීන් ආදී වචනවලින් සංග්‍රහ කරනවා. ඔවුන් ෆයින්මාන් ගැන අසා තිබෙනවා දැයි මා දන්නේ නැහැ. එහෙත් ඔවුන් බ්‍රෙක්සිට්, ට්‍රම්ප් ගැන අසා තිබෙන්න ඕන.

සැමුවෙල් හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම පොත ලියුවේ බටහිරයන්ට ඉදිරියට ඇති තර්ජන ගැන කියන්නයි. එහෙත් එයින් කියැවෙන්නේ ඊනියා ජාත්‍යන්තරවාදය අවසන් වේගෙන යන බවයි. ඊනියා ජාත්‍යන්තරවයනවාදය නූතනත්වයේ අවසන් ප්‍රතිඵලය. මේ ඊනියා ජාත්‍යන්තරවාදය මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නේ යටත්විජිතවාදයේ අවශ්‍යතාවක් ලෙස. මේ සියල්ලට එරෙහි වෙනත් චින්තන, ඇරිස්ටෝටලීය නොවන වෙනත් න්‍යාය, ජාතිකත්ව ක්‍රමයෙන් මතුවෙනවා. නූතනත්වය අවසන් වීමට තවත් කලක් යාවි.  එහෙත් එයින් කියැවෙන්නේ නැහැ අප නූතනත්වය පසුපස යා යුතුය කියා. මෙරට අධ්‍යාපනය හේතුකොටගෙන බොහෝ දෙනා බටහිර ඊනියා දියුණුව පසුපස යනවා. ඒකට ඊනියා යථාර්ථය කියලා කියන්නෙ අක්මුල් නැති තාක්‍ෂණික තරුණයන්. දියුණුව කියන එකත් අර්ථදක්වන්නෙ බටහිරයන්මයි.

රනිල් නූතනත්වයේ දාසයෙක්. ඔහුගේ පවුල් පසුබිම, අධ්‍යාපනය, ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ආදී සියල්ලෙන් ඔහුට ඒ දාස භාවය උරුම කර තිබෙනවා. ඔහු අනෙක් බොහෝ දේශපාලනඥයන් හා මධ්‍යම පාංතික රටවැසියන් මෙන් ලෝක දෙකක ජීවත් වන්නේ නැහැ. ඔහු උගතකු වුවත් නැතත් මේ කරුණු අදාළයි. ඔහු එට්කා අත්සන් කිරීමට මෙතරම් වළිකන්නේ මේ දාස භාවය නිසයි. ඔහු තවමත් ඉන්නේ යුරෝපා සංගම අවධියේ. එංගලන්තයේ ද’’ක්‍ෂිණාංශික කොන්සරවෙටිව් පක්‍ෂය මෙන් ම රනිල් ද බ්‍රෙක්සිට් හෙවත් එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට විරුද්ධ ඇති. රනිල් ලෝක දක්‍ෂිණාංශික පක්‍ෂවල සම්මේලනයේ ආසියා ශාන්තිකර කලාප ශාඛාවේ ප්‍රධානියෙක්. ඔහු අද පාර්ලිමේන්තුවේ ආධිපත්‍යයක් පතුරවනවා. ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ නැහැ. තම පක්‍ෂය තුළ වෙනත් කිසිවකුට ඉඩක් දෙන්නේ නැහැ. මාධ්‍යයට තර්ජනය කරනවා. ඔහු ආසියාවේ නියම දක්‍ෂිණාංශික දේශපාලනඥයෙක්.

රනිල් ඉන්දියාවේ දී කියා තිබුණේ ලංකාවට වත්මන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ, කර්ණාටක, ආන්ද්‍ර ප්‍රදේශ්, තෙලඟනා ප්‍රාන්ත සමග ආර්ථික කලාපයකට යෑමට එට්කා ගිවිසුමෙන් අවස්ථාව ලැබෙනවා කියා. දැන් බළලා මල්ලෙන් එළියට පැනලා. රනිල් නූතනත්වයේ දාසයකු ලෙස  එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල දක්‍ෂිණාංශික දේශපාලනය අනුගමනය කරනවා. ඒ අනුව ඔහු ඉන්දියාවේ කලාප ආධිපත්‍යයත් පිළිගන්නවා. එට්කා ගිවිසුමේ අරමුණ අප තව තවත් ඉන්දීය කලාප ආධිපත්‍යයට නතුකිරීම. එහි දී අප ආර්ථික වශයෙන් ඉන්දියාවේ ද්‍රවිඩ ප්‍රාන්ත සමග කලාපයක් බවට පත්වෙනවා. මෙරට වෘත්තීයකයන්ට ඉන් වන පාඩුවට අමතර ව අප ඉන්දියාවේ ද්‍රවිඩ කලාපයේ තවත් ප්‍රාන්තයක් බවට පත්වෙනවා. අවසානයේ දී ඉන්දියාවේ පූර්ණ දේශපාලන ආධිපත්‍යයට යටවෙනවා.

රනිල්ට ඒ ගැන කැක්කුමක් නැහැ. ඔහුට ජාතිකත්වයක් නැහැ. ඔහු ඊනියා ජාත්‍යන්තරවාදියෙක්. වික්ටර් අයිවන්ට අනුව උගතෙක්. රතන හිමි කුමක් කීවත් රනිල් ජාතික චින්තනය ගැන බලන්නෙත් ඊනියා ජාත්‍යන්තරවාදී ඇහැකින්. ඊනියා ජත්‍යන්තර වුවමනාවට රනිල් ලංකාව ඉන්දියාවෙ ද්‍රවිඩ කලාපයේ තවත් ප්‍රාන්තයක් බවට පත්රන්න යනවා. එහෙම කරන්නෙ එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වෙන්න තීරණය කරලා තියෙන වෙලාවක. ඇමරිකා එක්සත් රාජයේ සාමාන්‍ය සුදු ජාතිකයන් ජාතිකත්වය සඳහා ට්‍රම්ප්ට ඡන්දය දෙන්න සූදානම් වෙලාවක. ට්‍රම්ප්ට විරුද්ධව වැඩ කරන්නෙ රනිල් වෑනි ම ඊනියා ජාත්‍යන්තරවාදියො. අප මැරීගෙන යන ජාත්‍යන්තරවාදයක් වෙනුවෙන් ඉන්දියාවෙ ද්‍රවිඩ ප්‍රාන්තයක් වෙලා බැටකන්නේ අහවල් දෙයකට ද?


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 08