Main Logo

Sunday 16 October 2016

රාමනුජන් ගණිතඥයෙක් නොවෙයි

රාමනුජන් ගණිතඥයෙක් නොවෙයි


ස්‍රීනිවාසන් රාමනුජන් ගැන මා විදුසර පුවත්පතට ලියා තිබෙනවා. මට මතක හැටියට මේ පිටුවටත් ලියා තියෙනවා. ද මැන් හූ නිව් ඉන්ෆිනිටි චිත්‍රපටිය සම්බන්ධයෙන් ඔහු ගැන ලියූ බවයි මතක. ඒ චිත්‍රපටිය දැන් යූ ටියුබ් මගින් බලන්න පුළුවන් කියා කෙනකු කීවා. මටත් ඒ චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාවක් ලැබුණා. චිත්‍රපටිය නිෂ්පානය කර තියෙන්නෙ ඒ නමින් ම වූ පොත ආධාරයෙන්. රාමනුජන් බටහිර ආකෘතියේ ගණිතඥයකු නොවන බවත් සමහර විට මා කියා ඇති.

රාමනුජන් තමිල්නාඩුව නමින් අද හැඳින්වෙන ප්‍රදේශයේ උපත ලද්දෙක්.  එදා 1887 දී එය මදුරාසි පාලනයට අයත් වූවා.  ඔහු බ්‍රාහ්මණ වාංශිකයෙක්. ඔහුගේ පාසල් අධ්‍යාපනය විටින් විට විවිධ හේතු නිසා කඩා වැටුනා. එහෙත් ඔහු ද’ක්‍ෂ ශිෂ්‍යයකුු වූවා. ඔහු සාමන්‍යයෙන් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමේ දී නියමිත කාලයෙන් අඩකට වඩා ගත්තේ නැහැ. ඔහුට උපාධියක් ගැනීමට ඉන්ිදයාවේ දී නොහැකි වූයේ ඔහු ගණිතය හැරෙන්න අනෙක් විෂයන් කෙරෙහි උනන්දුවක් නොදැක්වූ නිසා. ගණිතයෙහි ද ඔහු උනන්දුවක් දැක්වූයේ ඔහු ප්‍රිය කළ ක්‍ෂෙත්‍රවලට පමණයි.

ඔහු හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයකු වූ ජී එච් හාඩි අතර සම්බන්ධයක් ගොඩ නැගුණේ රාමනුජන් හාඩිට තම ගණිත සූත්‍ර රාශියක් යැවීමෙන් පසුවයි. රාමනුජන් එයට පෙර එංගලන්තයේ  වෙනත් ගණිත මහාචාර්යවරුන්ට ගණිත සූත්‍ර යවා තිබුණ නමුත් යහපත් ප්‍රතිචාර ලැබී තිබුණේ නැහැ. හාඩි එකල ලෝකයේ සිටි තුන්වැනි දක්‍ෂතම ගණිතඥයා ලෙස සමහරුන් හඳුන්වා තිබෙනවා.

හාඩි රාමනුජන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගෙන්වා ගත්තා. ඒ විශ්වවිද්‍යාලයෙහි ලිට්ල්වුඩ් නම් තවත් අතිදක්‍ෂ ගණතඥයෙක් සිටියා. ඒ තුන්දෙනා අතර මිත්‍රත්වයක් හටගත්තා. එහෙත් කේම්බ්‍රිජ් විශ්විද්‍යාලයෙහි ඇතැම් ගණිතඥයන් රාමනුජන් බොරු පණ්ඩිතයකු ලෙස සැලකුවා. අති දක්‍ෂයන් හඳුනාගත හැක්කේ බොහෝ විට අති දක්‍ෂයන්ට. එහෙත් හාඩි හා රාමනුජන් බොහෝ කරුණු අතින් අහසට පොළොව මෙන් වූවා.

හාඩි අදේවාදියෙක්. ඔහු අති දක්‍ෂ ගණිතඥයෙක්. රාමනුජන් දෙවියන් (හින්දු) ගැන දැඩිව විශ්වාස කළා. ඔහු බටහිර ගණිතයේ සාධනය යන සංකල්පය දැන සිටියේ නැහැ. ඔහු ඒ ගැන මායිම් කෙළේ නැහැ. ඔහුට අනුව ඔහු ලියූ සූත්‍ර දෙවියන් ඔහුට කී දේ. ඔහු නමක්කාල් දෙවඟනට පුද පූජා පවත්වා තමයි ගණිත සූත්‍ර ලිවීම ආරම්භ කෙළේ. ඔහු විශේෂයෙන් ම අනන්ත ශ්‍රේණි ගැන උනන්දුවක් දැක්වූවා. අනන්ත ශ්‍රේණියක එකතුව පරිමිත රාශියක් ලෙස ඔහු දැක්වූවා. අනන්තය දත් මිනිසා ලෙස ඔහු හඳුන්වනු ලැබීමට එය ද හේතුවක්. ගුණොත්තර ශ්‍රේණියක් යනු අනන්ත ශ්‍රේණියක්.එයට පරිමිත ඓක්‍යයක් ඇති බව බොහෝ දෙනා දන්නවා.

රාමනුජන් ලියූ සියළු ප්‍රතිඵල නිවැරදි වූයේ නැහැ. ඇතැම් ඒවා වැරදි සහගත බව පෙනුණා. (සමහර බටහිර ගණිත ප්‍රතිඵලත් වැරදි බව අමතක කරන්න එපා) . එමෙන් ම තවත් සමහර ඒවා සාධනය කිරීමට නොහැකි වූවා. හාඩි රාමනුජන්ගෙන් සාධන ඉල්ලුවා. හාඩිට අනුව සාධනයක් නැතිව යමක් ඇත්ත යැයි පිළිගන්න බැහැ. එහෙත් රාමනුජන් කියා සිටියේ දෙවියන්ගේ වචනය ඇත්ත බවත් ඒ සඳහා අමුතුවෙන් සාධන අවශ්‍ය නොවන බවත්. හාඩි හා ලිට්ල්වුඩ් හා ඔවුන්ගේ ශිෂ්‍යයන් බොහෝ විට රාමනුජන්ගේ නිගමන සාධනය කළා. ඒ ප්‍රතිඵල ශ්‍රාස්ත්‍රීය ස’ඟරාවල ද පළ කෙරුණා. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙසත් හාඩිගේ දැඩි අවශ්‍යතාවත් උඩත් ඇතැමුන්ගේ විරුද්ධත්වය මැද රාමනුජන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි සුප්‍රසිද්ධ ත්‍රිත්ව විද්‍යාලයෙහි අධිසාමාජිකයකු ලෙසත් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු  ලෙසත් පත්කරගනු ලැබුවා. රාමනුජන් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකයකු බවට පත් වූ දෙවැනි ඉන්දියානුවා.

ලංකාවේ ඉපදුනු අයගෙන් තවමත් ඒ ගෞරවය ලැබිලා තියෙන්නෙ මහාචාර්ය මලික්් පීරිස්ට පමණයි. ඔහුගේ රටවැසිකම ගැන සඳහන්වන්නේ එක්සත් රාජධ්නිය (එංගලන්තය) කියායි. ඔහු ද්විත්ව රටවැසියකු ද කියා දන්නේ නැහැ. දෙරණ නාලිකාව නම් ඔහුට විශිෂ්ටතම ලාංකික විද්‍යාඥයා ලෙස සම්මානයක් දුන්නා. ඔහු හොංකොං විශ්වවිද්‍යාලයේ සේවය කරනවා. ඒ කෙසේ වෙතත් තවමත් සිංහල බෞද්ධයකුට ඒ ගෞරවය ලැබී නැහැ. මා එය ගෞරවයක් ලෙස සලකන්නේ නැහැ. ඒත් බුදුදහම විද්‍යාත්මක යැයි කියන මෙරට සිංහල බෞද්ධ විද්‍යාඥයන් යැයි කියාගන්නා අය එය ගෞරවයක් ලෙස සැලකුවත් තවමත් ඔවුන් කිසිවකුටවත් ඒ ගෞරවය හිමිකරගන්න බැරි ඇයි? බුදුදහමේ ඔය කියන විද්‍යාත්මක බව නැද්ද?

එය ද්විතීයික කරුණක්. මේ ලිපියෙහි අරමුණ රාමනුජන් බටහිර ගණිතයෙහි ශාස්ත්‍රීය ක්‍රමය අනුගමනය නොකළ දෙවියන්ගේ වචනය ලියූ පුද්ගලයකු බව අවධාරණය කිරීමයි. හාඩි එයින් සෑහීමකට පත්වුනේ නැහැ. ඔහු ඊනියා ඇත්ත ලෙස පිළිගත්තේ සාධනය කළ හැකි ප්‍රතිඵල පමණයි. අපි මේ ඊනියා ඇත්ත ගැන පසුව කතාකරමු. ඒ සඳහා ඉඩක් ලැබේවිද කියන්න අමාරුයි. දේශපාලන කරුණු ඒ තරම්ම ඉදිරියට එනවා. රාමනුජන්ට ඇත්ත වුනේ දෙවියන්ගේ වචනය. රාමනුජන් බටහිර ගණිතඥයකු නොවෙයි. එහෙත් ඉන්දියාවෙවත් ලංකාවෙවත් ඉන්න බොහෝ දෙනාට ඒ ගැන තේරුමක් නැහැ.

ඉන්දියානුවන් හා ලාංකිකයන් පමණක් නොවෙයි අනෙක් සියළු දෙනාත් තම තමන්ගේ සම්ප්‍රදායෙහි දැනුම නිර්මාණය කිරීමට උත්සාහ ගත යුතුයි. ස්වදේශික ඇමරිකානුවන්ටත් ඔවුන්ගේ ම වූ දැනුම් සම්ප්‍රදායක් තිබුණා. ඔවුන් අපේ මූල සිංහලයන්ට ඇතැම් කරුණු අතින් සමාන වූවා. අප නාථ දෙවියන්ගෙන් දැනුම ලබාගත් විට එයට විරුද්ධ වූ මෙරට පඬියන් රාමනුජන් දැනුම ලබාගත්තේ නමක්කාල් දෙවඟනගේ ආධාරයෙන් බව දන්නේ නැහැ. මෙරට උගතුන්ට දෙවියන්ගේ ම පිහිටයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 16