Main Logo

Wednesday 5 October 2016

ස්විස් ව්‍යවස්ථාව

ස්විස් ව්‍යවස්ථාව 

බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය, මෙරට දෙමළ ජාතිවාදය බිහිකළ බවත්, එය පිටුපස සිටින බවත්, එයට අනුග්‍රහය දක්වන බවත් අප කියන්නේ අවුරුදු විසිපහකට වැඩි කලක ඉඳලයි. ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා කෘතිය ලියැවී ද අවුරුදු විසිපහකට ආසන්නයි. එහෙත් එහි අදහස් සමාජයට ගොස් නැහැ. එසේ වුවත් බටහිර කුමන්ත්‍රණ ගැන නම් අවුරුදු දහයකට මෙහා කාලයක අසන්නට ලැබෙනවා. ඒ සඳහා ජනමාධ්‍යයෙහි ද විශාල ප්‍රචාරයක් ලබා දෙන බව පැහැදිලියි. බටහිර කුමන්ත්‍රණ යන්න ජනතාවට දැනෙන කරුණක්. සිංහලයන්ට වියුක්ත ව යමක් කී විට එය තේරුම් ගැනීමේ අපහසුතාවක් තියෙනවා.

දෙමළ ජාතිවාදීන්ට බටහිර ලැබෙන ප්‍රචාරය ඒ රටවල ඉන්න සිංහලයන්ට ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්නෙ බටහිර කුමන්තුණයක් හින්ද නොවෙයි. කොහොමටත් කුමන්ත්‍රණ කියන දේ කලක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ නැහැ. මිනිසුන් කුමන්ත්‍රණය කරන්නේ යම් විශේෂිත කරුණක් සම්බන්ධවයි. බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට විරුද්ධව අබෞද්ධ හමුදා හා පොලිස් නිලධාරීන් කුමන්ත්‍රණයක් කළා. ඒ ආණ්ඩුව පාසල් රජයට පවරා ගැනීමට කරන ලද තීරණයෙන් පසුව. ඒ කුමන්ත්‍රණය අසාර්ථක වුනා. කුමන්ත්‍රණකරුවන් ලංකාවේ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වුනා. ඒත් පසුව ඔවුන් එංගලන්තයේ සාමි මන්ත්‍රණ අධිකරණයෙන් නිදහස් කරනු ලැබුවා. ඒ දිනවල අපට තිබුණු නිදහසේ රඟ එයින් ම පැහැදිලි වෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වන තුරු අප එංගලන්තයේ පෙකැණි වැලෙන් නිදහස් වෙලා තිබුණෙ නැහැ.

චන්ද්‍රිකා කුමාරතුංග හා මෛත්‍රිපාල සිරිසේන (මොහුට ජනාධිපති වූ පමණින් පක්‍ෂ සභාපතිකම හිමිවන්නේ නැහැ.) හැරෙන්නට ශ්‍රී ල නි ප නායකත්වය දැරූ අනෙක් අය මේ පෙකැණිවල කපන්න පියවර ගත්තා. බණ්ඩාරනායක මහතා කටුනායක ත්‍රිකුණාමල කඳවුරු එංගලන්තයෙන් පවරා ගත්තා. සිංහල රාජ්‍ය භාෂාව කළා. බණ්ඩාරනායක මැතිණිය ජනරජ ව්‍යවස්ථාව ගෙනාවා. බුද්ධාගමට නිසි තැන ලබාදීමට ව්‍යවස්ථාව සකස් කළා. මහින්ද රාජපක්‍ෂ බටහිරයන්ට අවනත නොවී ඔවුන්ගේ නිර්මාණයක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා.

එහෙත් අද තත්වය කුමක් ද? නෙළුම් පොකුණේ සමරුඵලක කුඩුකිරීමක් ගැන  කියන මෛත්‍රිපාල යටතේ අද ලෝකයේ සිදුවන්නේ කුමක් ද? සමරුඵලක කුඩු කිරීමක් ගැන මෑතක දී අසන්නට ලැබුණේ මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන්. විහාරස්ථානයේ කාර්යයකට ජනාධිපති එන බවට පොරොන්දු වී නොපැමිණි නිසා උන්වහන්සේ ඒ වෙනුවෙන් තනා තිබූ සමරුඵලකය කුඩු කළා. ඒ විහාරස්ථානයේ රණවිරු  සැමරුම් ස්මාරකයක් ඉදි කිරමේ උත්සවයක් මේ මස එකොළොස්වැනි දා පැවැත්වෙනවා.

ඊළම අද ලෝකයේ පිළිගැන්වීම සඳහා බටහිර රටවල් ක්‍රියාත්මක වෙනවා. පසුගිය දා ඕස්ටේ‍ර්ලායවේ විසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඊළමක් ගැන කියැවුනා. ඕස්ටේ‍ර්ලියාවේ සිංහල සංවිධානයක් වූ ස්පර් මුල් වී එහි ආණ්ඩුවට කරුණු කීමේ ප්‍රතිඵලයක් ලෙස ඊළම නම් ලැයිස්තුවෙන් හැළුණා. ළඟ දී ඩෙන්මාර්කයත් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඊළමක් පිළිගත්තා. එයත් පසුව වෙනස් කෙරුණේ මූලික වශයෙන් ම සිංහල සංවිධානවල මැදිහත්වීමෙන්.

මේ වැරදීමකින් සිදුවන දේ නොවෙයි. බටහිරයන් වෙනත් රටවල මෙවැනි දේ කරන්නේ දැනුවත් ව. ඒවා වෙනස් නොකර කලක් තිබුණොත් ඒ අනුව ක්‍රියාත්මක වුවහොත් එය බුත්තියට සවිවීමක් ලෙස කෙළවර විය හැකියි. අපේ තානාපති කාර්යාල මේ ගැන සැලකිල්ලක් නැහැ. ඒ නිසා බටහිර රටවල සිටින සිංහලයන්ට මෙවැනි ක්‍රියා ගැන විමසිල්ලෙන් ඉන්න වෙනවා. මේ සම්බන්ධයෙන් වීසා ප්‍රශ්නයක් නොවූවත් වැදගත් පුවතක් ඊයේ (2016 ඔක්තෝම්බර් 04) දි අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වුනා. ලංකාවේ සංචාරයක යෙදීමට නියමිත ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් රාජ්‍යයේ මන්ත්‍රිවරියක වන සිමොනෙට්ටා සොම්මරුගා (මේ නම උච්චාරණය කෙරෙන්නේ එලෙස නොවිය හැකියි. ඇතැම් ඊනියා ජාතිකවාදීන් ඒ ගැන කලබල විය යුතු නැහැ) පිළිබඳ ව ස්විට්සර්ලන්ත රජය නිකුත් කර ඇති නිල නිවේදනයකට අනුව ලංකාව නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන තිබෙනවා.

මෙය වැරදි යැයි තවම මෙරට ආණ්ඩුව කියා නැහැ. දිර්ඝ ඉතිහාසයක් ඇති ලංකාවේ මෙන් නොව ස්විට්සර්ලන්තයේ ඉතිහාසය ඉතා කෙටියි. එහි ෆෙඩරල් ව්‍යවස්ථාව අනුව අපට ව්‍යවස්ථාවක් දැනටමත් සම්පාදනය වෙලා ද කියා අප දන්නේ නැහැ. අපේ ව්‍යවස්ථාව ගැන වැඩියෙන් ම උනන්දු වන්නේ බටහිරයන්. දැන් නවසීලන්තයේ නමත් ඒ සම්බන්ධයෙන් කියැවෙනවා. බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ ම සිංහල විරෝධී ව දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීම සඳහා සහසන්ධීය රාජ්‍යයක් බිහිකිරීමට. විග්නේස්වරන් කෑගසන්නේත් සම්බන්ධන් කෑ නොගසන්නේත් ඒ ව්‍යවස්ථාව සඳහායි.

සිංහලයන් බටහිර රටවල අවශ්‍යතාව නිසි පරිදි තේරුම් ගෙන නැහැ. ඔවුන්ට ථෙරවාද සංස්කෘතිය නැතිකිරීමට අවශ්‍ය බව කී විට ඇතැම් ජාතිකවාදීන් ද අපට හිනහවෙනවා. එක් මාධ්‍යවේදී පඬියකු මගෙන් ඒ පිළිබඳ එකල හාර හාරා ප්‍රශ්න කරා. ඔවුන් තවමත් හිතන්නේ තෙල් වැනි භෞතික සම්පත් ගැන පමණයි. බටහිරයන්ගේ කුමන්ත්‍රණයක් නැහැ. ඔවුන් වැඩකරන්නේ සැලැස්මක් අනුව. ඒ තේරුම් නොගෙන කුමන්ත්‍රණ බයිලා කීමෙන් අප අමාරුවේ වැටෙන්න පුළුවන්.





මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 05