ඉන්දියාවේ මුස්ලිම් ජනයා
ජාතිය, ජනවර්ගය, ගෝත්‍රය ආදිය නිර්වචන හෙවත් අර්ථදැක්වීම් මත පදනම් වෙනවා. ජීවවිද්‍යාවේ සතුන් වර්ගීකරණයට ලක්කරනවා. එහි දී විවිධ නිර්ණායක යොදාගන්නවා. අප මෙහි දී කතාකරන්නේ මිනිසුන් කොටස්වලට වර්ගකිරීමයි. ඇතැමුනට අනුව ජීවවිද්‍යාත්මක ව මිනිසුන් එසේ කොටස්වලට බෙදන්න බැහැ. මිනිස් වර්ගයාට ලිංගිකව එක්වීමේ දී කොටස්වලට බෙදීම් සැලකෙන්නේ නැහැ.
එහෙත් මිනිසුන් ශාරීරික ව ද වෙනස්වන බව පැහැදිලියි. හමේ පාට, මුහුණුවල හැඩය, උස, හිසකෙස්වල ස්වභාවය ආදී වශයෙන් මිනිසුන් වෙනස් වෙනවා. ඒ භෞතික ව. එයට අමතරව සංස්කෘතික වශයෙන් වෙනස් වෙනවා. භාෂාව, ආගම, සිරිත් විරිත් ආදිය එහි දී බලපානවා. එමෙන් ම ඇතැම් විට භූගෝලීය වාසස්ථාන, ආදී වශයෙන් ද වෙනස් වෙනවා. මේ වෙනස්කම් නැතැයි කියා ඊනියා මානවයකු ගැන කතාකිරීම ඇතැමුනට හුදෙක් මානසික තෘප්තියක් දෙන්නක් පමණයි. අපට ඔය පටු බෙදීම් නැහැ කියා අවශ්‍ය නම් යමකුට හිතාගන්න පුළුවන්. ඒත් ඕනෑම අයකුට සංස්කෘතික වෙනස්කම් හඳුනාගන්න පුළුවන්. ඒ සංස්කෘතික වෙනස්කම් නැතැයි කියා අවශ්‍ය නම් පොරක් වෙන්නත් පුළුවන්. එහෙත් පොරවල් වීමෙන් කිසිවකුටවත්, තමන්ටවත්, වැඩක් නැහැ. ඔවුන්ට පැස්බරුන් මෙන් හිස සඟවා ගෙන ඉන්න පුළුවන්. මේ අන්දමේ පොරවල් බොහෝ දෙනකු පැස්බරුන්ගෙන් වෙනස්වන්නේ නැහැ. අපි ඔවුන්ට පැස්බර පොරවල් කියා කියමු. එයත් වර්ගීකරණයක්!
මේ ඇතැම් ජනකොටස්වලට තමන්ගේ ම වූ ජීවන සම්ප්‍රදායක්, ඇගයීම්, ආකල්ප ආදිය තිබෙනවා. ඒ වගේ ම ඒ ඒ අයට අනන්‍ය වූ දැනුමක්, චින්තනයක් තිබෙනවා. සිංහල බෞද්ධ චින්තනය, කතෝලික චින්තනයෙන් හරි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් හරි වෙනස්. ආසියාවේ හා අප්‍රිකාවේ ජනයාට යුදෙවුවන්ට මෙන් වියුක්ත චින්තනයක් නැහැ. පඬියකුට අහන්න පුළුවන් ඉන්දියාවේ යුදෙවුවන් නැද්ද කියා. ඒත් ඒ යුදෙවුවන් අද වැඩිය නැහැ. ඔවුන් සුළු පිරිසක් තවමත් කේරළය වැනි ප්‍රදේශවල තම අනන්‍යතාව රැකගෙන ඉන්නවා.
ඇතැම් ජනකොටස්වලට තමන්ගේ ම වූ නායකයන් ඉන්නවා. ඒ නායකයන්ගෙන් සමහරු පාලකයන් ද වෙනවා. ඇතැමුන් රජුන් වෙනවා. ඇතැම් විට එක් ජනකොටසක් වෙනත් ජනකොටසකට අයත් අය මගින්, වංශයක් මගින් පාලනය කෙරෙන්නත් පුළුවන්. එක් ජනකොටසක් ඉතිහාසයේ විවිධ අවස්ථාවන්වල, විවිධ වංශ මගින් පාලනය වෙන්නත් පුළුවන්. ඉංගිරිසින් පැමිණීමට පෙර ඉන්දියාව කියා රටක්වත් ඉන්දීය අනන්‍යතාවක්වත් තිබුණේ නැහැ. තැන තැන වාංශික රාජ්‍ය තිබුණා. ඇතැම් වාංශිකයන්ට ප්‍රදේශ රාශියක් පාලනය කිරීමේ අවස්ථාව හිමි වුනා. මෞර්යයන්, සොළීන් හා මුස්ලිම් මුගල්වරුන් එයට උදාහරණ. මෞර්යයන් පාලනය කෙළේ මෞර්යයන් පමණක් නොවෙයි. චන්ද්‍රගුප්ත, බින්දුසාර, අශෝක මෞර්ය රාජ්‍යවල මෞර්යයන් සිටියේ සුළු පිරිසක්. ඒ පාලකයන් (රජවරු) තම සංස්කෘතිය ජනතාවට පැටවීමට තැත්කළා මිස ජනතාවගේ සංස්කෘතිය තම සංස්කෘතිය බවට පත්කර ගැනීමට උත්සාහ කෙළේ නැහැ. මූගල් රජවරුන් ද වැඩි වශයෙන් කෙළේ මුස්ලිම් සංස්කෘතියක් තම පාලන ප්‍රදේශවල පැතිරවීමයි.
මුස්ලිම්වරුන් චේර රාජ්‍යයට හා පාණ්ඩ්‍ය රාජ්‍යයට පැමිණ ඇත්තේ මුගල්වරුන්ට පෙර ක්‍රි ව 650-750 කාලයේ. මූගල්වරුන් අද ඉන්දියාව ලෙස නම් කෙරෙන රටේ හා අද පකිසාතානයේ උතුරු ප්‍රදෙශවලට පැමිණ ඇත්තේ දහසයවැනි සියවසේ මුල සිට. අග්‍රා, ලාහෝර්, දිල්ලි ආදී නගර මුගල් රාජ්‍යවල අගනුවර ලෙස පැවතී තිබෙනවා. මූගල්වරුන් යටතේ හින්දූන් ද, බෞද්ධයන් ද, ජෛනයන් ද සිටි බව අමතක නොකළ යුතුයි. මුගල් අධිරාජ්‍යය කියා කීවත් ඒ රාජ්‍ය ද වාංශික රාජ්‍ය පමණයි. වාංශික රාජ්‍යවල ප්‍රදේශ වැඩී යෑම හා ජාතික රාජ්‍යයක් වෙනත් රටවල් යටත්කර ගැනීම එකක් නොව දෙකක්. දෙවැන්න අධිරාජ්‍ය ගොඩනැගීමක්. අප රටේ කොටසක් සොළීන් විසින් පාලනය කෙරුණේ ඔවුන්ගේ චෝල මණ්ඩලයක ප්‍රසාරණයක් ලෙස. ඉංගිරිසින් අප පාලනය කෙළේ යටත්විජිතයක් ලෙස. ඉංගිරිසින් අධිරාජ්‍යවාදීන්. යටත්විජිතවාදීන්.
චේර දේශයේ හා පාණ්ඩ්‍ය දේශයේ සිටි මුස්ලිම්වරුන්, විශේෂයෙන් ම පාණ්ඩ්‍ය දේශයේ සිටි මුස්ලිමුන් අද තමිල්නාඩුවේ නැගෙනහිරට, එනම් චෝල දේශයටත් සංක්‍රමණය වී ඇති බව පෙනෙනවා. අද තමිල්නාඩුවට එදා පාණ්ඩ්‍ය දේශය ඇතුල් වුවත් ඉතිහාසයේ පාණ්ඩ්‍ය දේශය වෙනම පැවතී තිබෙනවා. එහි බොහෝ කාලවල ප්‍රධාන නගරය වී තිබෙන්නේ මදුරෙයි. ලංකාවේ වඩිග රජවරුන් ආන්ද්‍ර ප්‍රදේශයේ සිට පැමිණ පදිංචි වී ඇත්තේත් මදුරෙයිහි. අද ඉන්දියාව කියන ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාප්තිය අඩුම තරමෙන් හතර ආකාරයකට සිදු වී ඇති බව පෙනෙනවා. පළමුවෙන් ම ක්‍රි පූ 650-750 කාලයේ අරාබීන් ලී ඔරුවලින් පැමිණ චේර හා පාණ්ඩ්‍ය දේශවල මලයාලම් පිළිවෙළින් හා දෙමළ කතාකරන කාන්තාවන් විවාහ කරගෙන මුස්ලිම් ජනකොටසක් බිහිකිරීම. දෙවනුව හින්දු සංස්කෘතියේ කුල පීඩනය නිසා මුස්ලිම් වූ අය. තුන්වනුව මූගල්වරුන් සමග පැමිණි මුස්ලිම් ජනයා. හතරවනුව මූගල්වරුන් විසින් මුස්ලිම් කෙරුණු ජනයා. මේ අය විවිධ භාෂා කතාකරනවා. ආගමින් මුස්ලිම් වුවත් ඔවුන් කතාකරන භාෂාව අනුව අද ඉන්දියාවේ ජනවර්ගවලට බෙදෙනවා.
අද ඉන්දියාව ප්‍රාන්තවලට බෙදා ඇත්තේ කතාකරන භාෂාව අනුව. එදා දෙමළ කතාකරන ජනයා පාණ්ඩ්‍ය, චෝල, පල්ලව ආදී රජවරුන් යටතේ සිටියත් අද ඔවුන් සියළු දෙනාම තමිල්නාඩුව යටතේ එකතු කර තිබෙනවා. තමිල්නාඩුව දෙමළ වන්නේ කතාකරන භාෂාව අනුවයි. ඒ ජාතියක්් නොවෙයි. ලංකාවේ තබා ඉන්දියාවේවත් කෙදිනකවත් දෙමළ ජාතියක්වත් දෙමළ රාජ්‍යයක්වත් පැවතී නැහැ. ඉතිහාසයේ දෙමළ දේශයක් ගැන සඳහන් වන්නේ නැහැ. තමිල්නාඩුව කියන්නේ දෙමළ භාෂාව කතාකරන ජනයා අද පදිංචි වී සිටින ප්‍රදේශය. වත්මන් ඉන්දියාවේ ප්‍රාන්ත භාෂාමය ප්‍රාන්ත මිස ජාතික ප්‍රාන්ත නොවෙයි. එහෙත් එසේ ප්‍රාන්තවලට බෙදූ පසු ඒ ඒ ජනකොටස්වලට ජනවාර්ගික අනන්‍යතාවක් ලැබී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයකුව සිටි මයිකල් ප්‍රනාන්දු කලකට පෙර අනන්‍යතාව ගැන මා සමග ඉරිදා දිවයින පුවත්පත මගින් වාදයක් කළා. ඔහු සිංහල මහාචාර්යවරයකු වූවත් අනන්‍යතාව කියන වචනයේ තේරුම දැන සිටියේ නැහැ. ඔහු එකල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙක්.
අද තමිල්නාඩුවේ අයට දෙමළ කියාත් කොරළයේ ජනයාට මළයාලම් කියාත් කියනවා. මෙය නීතියෙන් ලැබුණු අනන්‍යතාවක්. හරියට බටහිර වත්මන් ජාතික රාජ්‍යවල ජනයා ජාතීන්වලට බෙදනවා වගේ. අද බ්‍රිතාන්‍යය කියන රටේ ඉන්න අයට බ්‍රිටිෂ් කියා කියනවා. එහි විවිධ ජනකොටස් ඉන්නවා. ස්කොට්ලන්තය ළඟ දී වෙන්වන බවක් පේන්න තිබුණත් එහි වැසියනුත් බ්‍රිටිෂ් වෙනවා. එහෙත් මෙයටත් වඩා විහිළුවක් තියෙනවා. ඊනියා එක්සත් රාජධානිය ඇතිවී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ හා උතුරු අයර්ලන්තයේ එක්වීමෙන්. නීතියෙන් ඇත්තේ බ්‍රිතාන්‍යය නොව එක්සත් රාජධානිය. ුක්සත් රාජධානියේ වැසියන් හඳුන්වන්න වචනයක් නැහැ. අද අයිරිෂ් ජනවර්ගය අයර්ලන්තයේත් එක්සත් රාජධානියේත් ඉන්නවා.
ඉන්දියාවේ ජනයා ජනවර්ගවලට බෙදෙන්නේත් ප්‍රාන්තය අනුව. ඒ අනුව මුස්ලිම් ජනයාත් බෙදෙනවා. දෙමළ මුස්ලිම්, මලයාලම් මුස්ලිම් ආදී වශයෙන් ඉන්දියාවේ මුස්ලිමුන් ද ජනවර්ගවලට බෙදෙනවා. මුස්ලිම් කියන එක හුදු ආගමික අනන්‍යතාවක් බවත් විවිධ මුස්ලිම්වරුන් ඉන්න බවක් ඉන්දියාවේ පිළිගැනෙන්නේ එහි දෙමළ හින්දු, බෙංගාල හින්දු ආදී වශයෙන් හින්දූන් බෙදෙන ආකාරයට. මේ විවිධ හින්දූන් අතරත් වෙනස්කම් තිබෙන බව අමතක කරන්න එපා. (මතු සම්බන්ධයි)
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 04