Main Logo

Saturday 15 October 2016

ට්‍රම්ප්ට විරුද්ධව කුමන්ත්‍රණයක්


ට්‍රම්ප්ට විරුද්ධව කුමන්ත්‍රණයක්

එක්සත් රාජ්‍ය රිපබ්ලිකන් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට විරුද්ධව ගෝලීය කුමන්ත්‍රණයක් ඇති බව පවසනවා. මේ පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සඳහන් වූ ප්‍රවෘත්තියක්. අප අනෙක් බොහෝ දෑ මෙන් ම කුමන්ත්‍රණ කතා ද බටහිරින් ලබගත් බව මෙයින් පැහැදිලි වෙනවා. ලංකා සමසමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය එකල කුමන්ත්‍රණ කතා පිළිබඳ විශේෂඥයන්.

“Donald Trump issued a breathtaking call to arms Thursday as he emphatically denied allegations that he groped and kissed multiple women without their consent, charging that his accusers were part of a global conspiracy to extinguish his outsider movement.

Scrambling to turn around his floundering campaign, Trump declared war on the media and multinational corporations, alleging they are colluding with Democratic opponent Hillary Clinton to orchestrate “the single greatest pile-on in history” and undermine his campaign, which he said was an “existential threat” to the global establishment.”

මේ වාර්තාවෙන් කියැවෙන්නේ එරී ඇති තම මැතිවරණ ව්‍යාපාරය ආපසු හැරවීම සඳහා ට්‍රම්ප් මාධ්‍යයට බහුජාතික සමාගම්වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ බවක්. ට්‍රම්ප් කාන්තාවන් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ ගැනත් එහි සඳහන් වෙනවා. ට්‍රම්ප් වචනයේ පර්සමාප්තාර්ථයෙන් ම පිටස්තරයෙක්. ඔහුගේ දේශපාලනය සම්ප්‍රදායට එකඟ නැහැ. ඔහුට විරුද්ධව ඊනියා ගෝලීය කුමනත්‍රණයක් නොව ප්‍රබල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. එය ඉතා පැහැදිලියි. ලිබරල් යැයි හැඳින්වෙන ජනමාධ්‍ය ඔහුට විරුද්ධයි. රිපබ්ලිකන් පක්‍ෂයේ ම ලිබරල් ජාත්‍යන්තරවාදීන් ඔහුට විරුද්ධව කටයුතු කරනවා.


රිපබ්ලිකන් පක්‍ෂයේ ඇතැමුන් අද සාකච්ඡා කරන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ඉල්ලා අස්කරවීමටයි. එය සංකීර්ණ ක්‍රියාවලියක්. ක්‍රියාත්මක කිරීම එතරම් පහසු නැහැ. එහෙත් ඔවුන් උත්සාහ කරනවා. පසුගිය දා අප හොඳින් දන්නා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ හුසේන් කුමරු ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් ජාත්‍යන්තර දේශපාලනයට හා සම්බන්ධකම්වලට තර්ජනයක් බව පැවසුවා. එසේ පවසා ඔහු සුපුරුදු පරිදි කියා සිටියේ ජනාධිපතිවරණයට බලපෑම් කිරීමට තමන්ගේ අරමුණ නොවන බවයි! අද බටහිර නූතනත්වයේ ඊනියා ජාත්‍යන්තරවාදීන් හා මානවහිමිකම්වාදීන් ට්‍රම්ප්ට විරුද්ධව සංවිධානාත්මක ව කටයුතු කරනවා.

ට්‍රම්ප් දිනනවා දකින්න මා කැමතියි. එසේ කි වීට ඊනියා මානව හිතවාදීන් ස්ත්‍රීවාදීන් ආදී සියළු ජාත්‍යන්තරවාදීන් මට විරුද්ධව අවි ගනීවි. මා ට්‍රම්ප්ගේ ස්ත්‍රී විරෝධී පුරුෂාධිකාරී ප්‍රකාශ අනුමත කරන්නේ දැයි අසාවි. මේ ලිපියට විවිධ විරෝධතා දක්වාවි. ඔවුන් ලිපියක හරය සමස්තය නොදකින අය. මා මේ පිටුවේ ඒ කිසි ප්‍රතිචාරයක්් කියවන්නේ නැත්තේ එවැනි ප්‍රතිචාර පඬි ප්‍රතිචාර පමණක් නිසා. සමහරුන් මා මුරුංගා අත්තට ඔසවා පහර දෙනවා. ඔවුන් කවුදැයි මා හඳුනනවා. මා ව්‍යාජ මානව හිතවාදියකුවත් ව්‍යාජ සමානත්මතාවාදියකුවත් නොවෙයි. කසිකබල් සමාජවාදීන් නොදන්නා දෙයක් තමයි කසිකබල් මාක්ස්වාදය කිසිදාක වලංගු නොවූ බව. 1980 තරම් ඈත කාලයක දී මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වූයේ මාක්ස්වාදය විද්‍යාත්මක ද යනුවෙන් දීර්ඝ ලිපියක් ලියා. ඒ ලිපිය 1981 පමණ සිළුමිණ පුවත්පතේත් පළවුනා. එයට මුල්වූයේ සමසමාජයට හිතවත් ව සිටි අභාවප්‍රාප්ත අජිත් සමරනායක. අද වනතුරුත් මහා ප්‍රාඥයා ලෙස වැජඹෙන කාලෝ ෆොන්සේකාවත් වෙනත් ඊනියා සමාජවාදියකුවත් ඒ ලිපියට නිසි පිළිතුරක් දී නැහැ. අවුරුදු තිස්පහකට පසු අප එතැනින් බොහෝ එහා ගොස් තිබෙනවා. ඊනියා ජාත්‍යන්තරවාදය හා ජාතිකත්වය ගැන අප නවතම අදහස් පළකරන්නේ අප පසුගිය කාලයේ නිර්මාණය කරගත් දැනුම ඇසුරෙන්.

මා හිලරි ක්ලින්ටන් ස්ත්‍රී දූෂක කාමයෙහි වරදවා හැසිරෙන  බිල් ක්ලින්ටන් සමග එකට ජීවත්වීමවත් අනුමත කරන්නේත් නැහැ. මෙය කාන්තාවන් හා පුරුෂාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්වත් ඊනියා සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්වත් නොවෙයි. මෙය ලෝක දේශපාලනය වෙනස්කිරීමට, නූතනත්වය අවසන්කිරීමට තුඩුු දෙන ජනාධිපතිවරණයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ නූතනත්ව ජාත්‍යන්තර විරෝධී ජාතිකවාදී දේශපාලනයක්. මහින්දත් එවැන්නෙක්. මහින්ද හොරා හොරා යැයි කී පරිද අද ට්‍රම්ප් අශිලාචාරයකු යැයි ජනමාධ්‍ය බෙරිහන් දෙනවා. මහින්දට විරුද්ධ දේශපාලනඥයන් ලෝක හොරු. බැංකු මංකොල්ලය එසේ මෙසේ හොරකමක් නොවෙයි. ට්‍රම්ප්ට විරුද්ධ හිලරිගේ සැමියා බිල් කාලින්ටන් කාමයෙහි වරදවා හැසුරුණේ ධවල මන්දිරයේ ජනාධිපතිගේ සුප්‍රසිද්ධ ඕවල් කාර්යාලේදීමයි.

ජනමාධ්‍ය හා ඊනියා ලිබරල් හා මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන් මැතිවරණවල දී ප්‍රධාන ප්‍රශ්නය අමතක කරවා වෙනත් ද්විතීයික ප්‍රශ්නවලට මුල්තැන දෙනවා. එමගින් ජන මනස අවුල් කරනවා. මුළු ලෝකයේ ම ඒ සිද්ධ වෙනවා. අද ප්‍රධාන ප්‍රශ්නය අවුරුදු පන්සියකට වඩා පැරණි නූතනත්වය හා ඒ මත ගොඩනැගුණු ව්‍යාජ ජාත්‍යන්තරවාදය අහෝසිකර ජාතිකවාද ජයග්‍රහණය කරවීම. ඒ බව මා හැර ලෝකයේ වෙන කිසිවකු නොකියනවා වෙන්න පුළුවන්. මා කියන කිසිවක් මෙරට උගතුන්ගේ පිළිගැනීමට ලක්වන්නේ නැහැ. මෙරට බොහෝ දෙනා කට ඇරගෙන බලා ඉන්නේ බටහිරින් නව දැනුමක් එන තුරු. එය ම ඊනියා ජාත්‍යන්තරවාදයේ සංස්කෘතික ආධිපත්‍යයට යටවීමක්. ට්‍රම්ප් දිනුවත් නැතත් විසිඑක්වැනි සියවස ජාතිකවාදවල ආරම්භය තහවුරු කරාවි.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 15