Main Logo

Thursday 27 October 2016

මුසාලිමුන් සිංහල නොවීම

මුසාලිමුන් සිංහල නොවීම

මුස්ලිම් ජනයාගේවත් දෙමළ ජනයාගේවත් නිජභූමියක් ලංකාවේ නැහැ. ඒකෙන් කියන්නෙ මෙරට  මුස්ලිම් ජනයා හා දෙමළ ජනයා ලංකාවේ රටවැසියන් නොවන බව නො වෙයි. රටක රටවැසිබව කියන එක දැන් කාලෙ නෛතික කාරණයක්. රටවැසියන් වන දෙමවුපියන්ගෙ දරුවන් රටේ රටවැසියන් වෙනවා. තවත් සමහරු ලියාපදිංචියෙන් රටවැසිකම ලබනවා. මේ කවුරුත් වෙනසක් නැතිව රටේ රටවැසියන් වෙනවා. ඔවුන්ට පෞද්ගලිකව සමානව සැලකෙනවා. ඔවුන් නීතිය ඉදිරියේ සමානය කියන බොරුව මා කියන්නෙ නැහැ. මුදල් හදල් ඇති අයට බලයට ඇති අයට දක්‍ෂ නීතිඥයන් ලබාගැනීම ආදියෙන් යම් වාසියක් ලබාගන්න පුළුවන්. ඒත් රටවැසියන් ලෙස සාමාන්‍යයෙන් සමානකමක් තියෙනවා.


ජනවර්ග සම්බන්ධයෙන් එහෙම කියන්න බැහැ. රටක හැම ජනවර්ගයක් ම සමාන වන්නේ නැහැ. රටක ජාතියක් ඉන්න පුළුවන්. මා ජාතිය කියන්නේ හුදු නෛතික අර්ථයකින් නො වෙයි. නෛතික අර්ථයකින් නම් අප හැමෝම ලාංකික. එසේ වන්නේ  බටහිර ජාතිය කියන සංකල්පය අනුවයි. බටහිර ජාතිය කියන එක  බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ධනපති ක්‍රමය ඇතිවීමෙන් පසු බිහි වූ සංකල්පයක්. සිංහල ජාතිය හා චීන ජාතිය ඇතිවුනේ අවුරුදු දෙදහසකටත් පෙර. එකල ධනපති ක්‍රමය තබා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියවත් ඇති වී නැහැ. අප බටහිර සංකල්ප අනුගමනය කළොත් අපේ අයිතිවාසිකම් නැතිවෙනවා. බටහිර සංකල්ප ප්‍රවාද ආදිය නිර්මාණය කරල තියෙන්නෙ ඔවුන්ගෙ ආධිපත්‍යය රැකගන්න.

අප කලින් ලිපියක සඳහන් කළ පරිදි පුද්ගලයකුගේ නිජභූමිය හා ජනවර්ගයක නිජභූමිය කියන්නෙ දෙකක්. පුද්ගලයකුගේ නිජභූමිය හැමවිට ම ඔහු අයත් ජනවර්ගයේ නිජභූමිය වන්නේ නැහැ. ජනවර්ගයක් කියන්නෙ යම් සංස්කෘතික සම්බන්ධයක් තිබෙන ජනකොටසක්. ජනවර්ගයක නිජභූමිය කියන්නෙ අදාළ සංස්කෘතිය උපත ලත් භූමිය. ලංකාවේ ඉන්න ජනවර්ග හා ජාතිය අතරෙන් නිජභූමියක් ඇත්තේ සිංහල සංස්කෘතියට හා වැදි සංස්කෘතියට පමණයි. අද වැදිජනයාත් ඉතා විශාල වශයෙන් සිංහල වී ඇති බැවින් මෙරට නිජභූමිය වන්නේ සිංහලයන්ට පමණයි.

සිංහල සංස්කෘතිය මෙරට ජනිත වූ බවට විවාදයක් තියෙන්න බැහැ. සිංහල සංස්කෘතිය වෙනත් රටක දකින්න නැතුවා පමණක් නොවෙයි.  වෙනත් රටක සිංහල සංස්කෘතියක් තිබූ බවට සාක්‍ෂියක් නැහැ. කාලිංගයේ, වංගයේ හෝ ලාට රටේ හෝ සිංහල සංස්කෘතියක් තිබී නැහැ. ඉතා පැහැදිලිව ම ඒ ප්‍රදේශවලිනුත් වත්මනේ කියන විධියට මහාරාෂ්ට්‍ර, රාජස්ථානය වැනි ප්‍රදේශවලිනුත් පෙර තිබූ  පාණ්ඩ්‍ය, චේර ආදී ප්‍රදේශවලිනුත් පැමිණි ජනයා මෙරට සිටි මූල සිංහලයන් සමග මිශ්‍ර වෙලා සිංහල සංස්කෘතිය ගොඩනගලා තියෙනවා. ඔවුන් සිංහල සංස්කෘතියක් පමණක් නොව සිංහල ජාතියක් ද ගොඩනැගුවා. ඒ ජාතියට රජවරුන් සිටියා. නිශ්චිත භූමියක් තිබුණා. දේශපාලන ව්‍ය්‍රහයක් තිබුණා.

කිසිම ජාතියක් පිරිසිදු නැහැ. සෑම ජාතියකට ම විටින් විට පිටින් පැමිණි අය අවශෝෂණය වෙනවා. එසේ අවශෝෂණය වන්නන් ජාතියේ සංස්කෘතිය උකහා ගන්නවා. එලෙස ජාතියට ඇතුල් වෙනවා. එලෙස ම ඔවුන්ගේ සංස්කෘතියේ ඇතැම් අංග ජාතියේ සංස්කෘතියට එකතු කරනවා. මෙරට ජනිත වූයේ සිංහල බෞද්ධ සංස්කෘතියක් හා සිංහල ජාතියක්. ඉන් කියැවෙන්නේ බුදුදහම මෙරට ජනිත වූ බව නොවෙයි. සිංහලයන් (හා මූල සිංහලයන්) ඉතිහාසයේ යම් අවස්ථාවක බෞද්ධ වී තිබෙනවා. සිංහල බෞද්ධයන් වැව් මාළු නොකා හිටියේ නැහැ. සිංහලයන් ඇතැම් විට සුරාපානය නොකර සිටියේත් නැහැ. සුරනිමලගේ සුරාපානය ඉතිහාසයේ සඳහන් වෙනවා.  සිංහලයන් අතර ඇති ඇතැම් කුල මාළු ඇල්ලීමට රා මැදීමට කුරුඳු තැලීමට ගෙනා පිරිසගෙන් සමන්විත වී යැයි කීම බොරුවක්. බටහිර අනුව ඉතිහාසය ලියන තුප්පහියන් හා ඔවුන් ලියන දෙය පුනරුච්චාරණය කරන ජඩමාධ්‍යවේදීන් එසේ කියනවා. ඔවුන් සිංහල බෞද්ධයන්ට විරුද්ධයි. සිංහලයන් සුරාවට මාංශ අනුභවයට ගොදුරු (ඇබ්බැහි –- බටහිර වෛද්‍ය අර්ථයකින් නොවේ) වුනේ නම් බටහිරයන්ගේ පැමිණීමෙන් පසුව. සිංහලයන්ට අරක්කු පුරුදු කෙළේ බටහිරයන්. අරක්කු රා මැදීමෙන් ලබාගන්නා මත්පැනක් නොවෙයි. බේබද්දා කියන වචනය  බටහිරයන්ගෙන් ලබාගත්තක්. බටහිරයන්ට පෙර මෙරට බේබද්දන් සිටියේ නැහැ.

කරාව යන්නෙහි නාවික යන අදහස තිබෙනවා. ඇතැම් නාවිකයන් මුහුදු ගොස් මාළු ඇල්ලීම නිසා ඔවුන් සියල්ලන් ම ධීවරයන් වූයේ නැහැ. කරාව කුලයේ වඩුගේ, මහවඩුගේ, මද්දුමාගේ ආදී වාසගම් තියෙනවා. කරාව සියල්ලන් ම ධීවරයන් වුනේ නැහැ. දුරාව, සලාගම ආදී කුල සම්බන්ධයෙනුත් එසේමයි.  සිංහලයන් පෘතුගීසීන්ගෙන් පසුව සර්නේම් යනුවෙන් කියැවෙන පවුල්නම් ගත්තා. සිල්වා, පෙරේරා, අල්විස් ආදීන් ගොයිගම කුලයේත් ඉන්නවා. ඒත් සිංහලයන්ට තිබුණේ වාසගම්, පෙළපත්නම් ආදියෙන් කියැවෙන නම්.

මගේ වාසගම සහිත නම ඨකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ නලින් කුමාර්. ඨකුර කියන තැනැත්තා ගැන මහාවංසයේ සඳහන් වෙනවා. බුවනෙකබාහු රජු වෙනුවෙන් 1287 දී දඹදෙණියේ මීිත්‍ර සෙනවියා ඝාතනය කෙළේ ඔහු. ඨකුර ඒ දිනවල ආර්ය හමුදාවේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. ආර්ය හමුදා කියන හමුදා මෙරටට ඊට කලින් රාජස්ථානයේ සිට පැමිණි බව මගේ අදහසයි. ගේනම කියා අද සමහරුන් කියන වාසගමේ මුල ගෙදර වෙන්න ඇති. මගේ බිරියගේ පියා දරාඬකුඹුරේගෙදර රන්බණ්ඩාර. කුලය යන්නෙන් ගෙදර යන තේරුමත් දෙනවා. පතිකුලයට යනවා කියා අදත් අප කියනවා. සම්මත කුලය කියන්නේ ගෙවල් (ගෙදර) කිහිපයක එකතුව කියා  හිතන්න පුළුවන්. මේ කුලවලට රැකියා එකතුකර කුලභේදයක් නිර්මාණය කෙළේ බටහිරයන්. විශේෂයෙන් ම ඉංගිරිසින්. ඔවුන් අපට හින්දු ක්‍රමයේ වෛදික කුලභේදයක් දීමට උත්සාහ කළා. බටහිරයන් අනුව හිතන තුප්පහි ජඩමාධ්‍යවේදීන් කියන කතාවලින්  අපට වැඩක් නැහැ.   

ඇතැම් මුස්ලිමුන් සිංහල පවුල් නම් යොදා ගන්නවා. එහෙත් එපමණකින් ඔවුන් සිංහල වන්නේ නැහැ. ඔවුන් සිංහලත්වයට ගරු කළ යුතුයි. ඔවුන්ගෙන් විමසන්න පුළුවන් කරුණක් තියෙනවා. ඔවුන්ගේ පියවරුන්ගේ වාසගම කුමක් ද යන්න. ඊබ්‍රාහිම් කුලතිලක වූ පමණින් යමකු කුලයට (පවුලට) තිලකයක් වන්නේ නැහැ. ඔහුගේ වාසගම කුමක් දැයි කිව යුතුයි. කෙසේ වෙතත් කවුරුන් කවදා මෙහි පැමිණියත් ඔවුන් සිංහල සංස්කෘතියට හා සිංහල ජාතියට ඇතුල් වීමෙන් පසු ඔවුන් සිංහලයන්. ඉන් පසු ඔවුන් සිංහල සංස්කෘතියේ උරුමක්කාරයන්. දහහතර වැනි සියවසේ මලබාරයෙන් මෙහි පැමිණි මුස්ලිමුන් (මා මේ සම්බන්ධයෙන් කලින් ලියා ඇති ලිපි පහත සඳහන් සබැඳියෙන් ලබාගන්න පුළුවන්) සමස්තයක් ලෙස සිංහල සංස්කෘතියට අවශෝෂණය වුනේ නැහැ. එකකු දෙදෙනකු සිංහල සංස්කෘතියට ඇතුල් වන්න ඇති. මහාමරක්කලගේ (ගෙදර)  වාසගම එක්කෝ සිංහල බෞද්ධයන්් වූ මුසිලිමුන්ට දුන් වාසගමක්, නැත්නම් ලී ඔරුවලින් ලංකාවට පැමිණ සිංහල බෞද්ධ වූ අයට දුන් වාසගමක්.

මෙරට මුස්ලිමුන් මලබාරයෙන් පැමිණියේ ම දෙමළ කතාකරන්නන් ලෙස. ඔවුන් මෙරටට පැමිණෙන විට යාපනයේත් බහුතරය සිංහල. පෘතුගීසීන් පැමිණෙන විටත් එහි බහුතරය සිංහල. ක්වේරෝස් ඒ බව කියනවා.  මුස්ලිමුන්් මෙරට සංස්කෘතිය උකහා ගත්තේ නම් කතා කළ යුතුව තිබුණේ සිංහල. ඔවුන් දෙමළ කතාකරන්නේ එකල  දෙමළ ජනයා රටේ විසිරී සිටි බැවින් නොව ඔවුන් මලබාරයේ දී මලයාලම් වචන මිශ්‍ර දෙමළ භාෂාවක් කතා කළ නිසා. බේරුවල මුස්ලිම් ජනයා දෙමළ කතාකරන්නේ එකල එහි දෙමළ වැසියන් සිටි නිසා ද? ඔවුන් මෙරට සිටි බව පැවසෙන දෙමළ ජනයාගෙන් දෙමළ කතාකරන්න පුරුදු වී නම් ඔවුන්ගේ මලයාලම් වචන මිශ්‍ර දෙමළ භාෂාව සුළු වශයෙන් වුවත් දෙමළ ජනයාගේ දෙමළ බසින් වෙනස් වන්න බැහැ. අරාබියෙන් මෙහි පැමිණි වෙළෙන්දන් සේද මාවත දිගේ පැමිණි චීනුන් මෙන් ම ආපහු යන්න ඇති. ඉඳ හිට එකකු දෙදෙනකු සිංහල ස්ත්‍රීන් සමග විවාහ වී  බින්න බහින්න ඇති. ඔවුන්ගේ දරුවන් සිංහල හැරෙන්න වෙන බසක් කතාකරන්න විධියක් නැහැ. සේද මාවත මුහුදු මාවතක් ද වූවා. කලක් චීන වරායවලට ගොස් තිබෙන හොඳම හා විශාලම නැවු සිංහල නැවු! (මතු සම්බන්ධයි)

https://www.facebook.com/nalinkalaya/posts/320121078367291




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 27